“ 2018 ආසියානු ක්‍රීඩා උළෙලෙදි පදක්කමක් ගෙන එන කණ්ඩායමක් මම බිහි කරනවා ”

237

අවස්ථා 2 කදිම ඔලිම්පික් තරගාවලිය නියෝජනය කල ශ්‍රී ලාංකා 400m ධාවන ශූර සුගත් තිලකරත්න මහත්මා පසුගියදා පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයට පත්වූවා.

ජාතික මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට නව ජීවයක් එක් කිරිමෙහිලා ඇති සැලසුම් පිළිබද www.ThePapare.comවෙබ් අඩවිය සමග ඔහු මෙසේ අදහස් බෙදාහදා ගත්තා.

  1. මේ වසරේ නිලවරණයට පෙනී සිටිමට ඔබට කිසියම් විශේෂ හේතුවක් තිබුණද?

ඇත්තටම මම හිතන්නේ විශේෂම හේතුවක් තිබුණේ නැහැ, මොකද මම කාලයක් බලාගෙන හිටියා මම ක්‍රීඩාවෙන් ඉවත් වුණාට පස්සේ මම කරපු ක්‍රීඩාවට සේවයක් කරන්න ඕනෙ කියලා. ඉතින් මම පිටස්තරව ඉදන් සේවයක් කළා නමුත් මම හිතනවා පරිපාලනයට ආවොත් ඒ තුලිනුත් කිසියම් සේවයක් කරන්නට පුළුවන් කියලා. ඒ නිසා තමයි මම පරිපාලනයට එන්න හිතුවේ.

 

  1. සභාපතිවරයා විදිහට ඔබතුමා විශේෂ අවධානයක් යොමුකරන අංශයන් තිබෙනවද?

ඇත්තටම මෙහෙමයි, මෙතෙක් කල් හිටපු සභාපතිවරැන් අපේ මලල ක්‍රීඩාව ඉදිරියට ගෙන ගියා. මම හිතන්නේ ඒ ඔවුන් කරගෙන ආපු මග ඔස්සේ තමයි මටත් ඉදිරියට යන්න තියෙන්නේ, ඉතින් විශේෂයෙන් වෙනස් කළ යුතු තැන් බොහෝමයක් නෑ. ඔවුන් කරගෙන ආපු කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාම තමයි මගේ වගකීම විදිහට මම දකින්නේ.

 

  1. අද වන විට ශ්‍රී ලංකාවේ මලල  ක්‍රීඩා ක්ෂේත්‍රය කුමන තත්ත්වයකද පවතින්නේ? එය දියුණු කරන්න ඔබේ සැලසුම් මොනවාද?

ඇත්තටම මෙහෙමයි, පසුගිය කාලේ අපේ මලල ක්‍රීඩාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවලට ඒමේ අඩුවක් මම දැක්කා. මං හිතන්නේ ඒක සාමාන්‍යයෙන් එක්තරා අවස්ථාවක ඕනෑම රටක සිදුවන්නට පුළුවන් දෙයක්, ඒ වාගේ දෙයක් තමා අපිට පසුගිය කාලෙ සිද්ධ වුනේ. ක්‍රීඩකයන්ගේ දක්ෂතාවල අඩුවිමක් වෙලා නැහැ. අපිට හොද දෙවැනි පෙලකුත් ඉන්නවා. මංහිතන්නේ එවුන් සම්බන්ධ කරගෙන, ඉදිරියේදි ඔවුන්ව ඉස්සරහට ගේන්නෙ කොහොමද? ඔවුන් ආරක්ෂා කරගන්නෙ කොහොමද? ඔවුගේ පුහුණු කරැවන් ආරක්ෂා කරගන්නේ කොහොමද? මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් මොනවාද? යන අවශ්‍යතා හොයලා ඒවාට පිළීයම් සපයන්න බලාපොරොත්තු වෙනවා.

 

  1. මේ දිනවල සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පතය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවි තිබෙනවා, එය යතා තත්වයට පත් කරන්නට ඔබේ සැලසුම් මොනවාද?

මම හිතන්නේ සුගතදාස ක්‍රීඩාංගනය යථා තත්වයට පත් කිරීම මලල ක්‍රීඩා සංගමයට අයිති දෙයක් නෙමේ, විශේෂයෙන් ක්‍රීඩා අමාත්‍යංශය සතු දෙයක්. අපිට ඒ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නෑ. ගරැ ක්‍රීඩා ඇමතිතුමාගෙන් අපේ රටේ සම්පතක් වන මේ ක්‍රීඩාංගනය සාදා දෙන්න කියන ඉල්ලීම පමණයි අපිට කරන්න පුළුවන්.

 

  1. වර්තමානයේදි ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව පසුබැසීමට ලක්ව තිබෙනවා. එය යතාතත්වයට පත් කිරීමට ඉදිරියේදි ඔබේ සැලසුම් මොනවාද?

මම කලිනුත් සදහන් කළා වගේ මේ වැඩ පිළිවෙළ ලොකු වෙනසක් කිරීමක් නැහැ. දැනට සිටින කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ටික රැකබලා ගැනීම තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. ඒ වාගේම ඔවුන්ගේ පුහුණුකරැවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම තමයි අප කළ යුත්තේ. මේ දිනවල අලි ඒ පිළිබද අධ්‍යනයක් කරමින් සිටින්නේ. ඉදිරියේදි එම පහසුකම් අපි ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

 

  1. ටොරින්ටන් ධාවන පථයේ ක්‍රීඩකයන් නගන ගැටලු සම්බන්ධයෙන් ඔබතුමාට කළ හැකි යමක් තිබෙනවාද?

සංගමය විදිහට ක්‍රීඩා පිටි නිර්මාණය කිරිමේ අවස්ථාවක් අපිට නැහැ. මොකද විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා පිටි ඉදිකිරීම ක්‍රීඩා අමාත්‍යංශය සතු වගකීමක්. ලෝක මලල ක්‍රීඩා සංගමයත් එක්ක සාකච්ඡා කරලා හෝ විදේශ රටක අධාරයක් මත ලංකාවේ ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට අවථාවක් ලැබුණත් මිස මලල ක්‍රීඩා සංගමයට හැකියාවක් නැහැ ක්‍රීඩාංගන නඩත්තුවක් හෝ අලුත්වැඩියාවක් කරන්න.

  1. බොහෝමයක් මලල ක්‍රීඩකයන් බිහිවන්නේ අඩු පහසුකම් සහිත දුෂ්කර පළාත්වලින්, ඔවුන්ට අතදී ඔවුන් නගාසිටවන්න ඔබ දරන සැලසුම් මොනවාද?

අපි ඒ ගැනත් සාකච්ඡා කරලා තියෙනවා, බොහෝ විට එම ක්‍රීඩක  ක්‍රීඩිකාවන් සිටින පළාත් තුළින්ම ඔවුන්ට අනුග්‍රහකයෙක් ලබා දීම ඔවුන් බලා ගැනීමේ අදහසක් තමයි මට තිබෙන්නෙ. අපි ඉතාම ඉකමනින් ඒ වැඩපිළිවෙල ක්‍රීයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

 

  1. ඔනෑම ක්‍රීඩාවකට අරමුදලක් කියන දේ විශේෂයෙන් අවශ්‍යයි ඒ සදහා අනුග්‍රහකයින් ලබා ගැනීමේදි සංගමයක් ලෙස ඔබ කටයුතු කරන්නේ කෙසේද?

අපි ඉදිරියේදි ඒ පිළිබදව කටයුතු කරනවා. අපිට අවශ්‍ය අනුග්‍රහක භවතුන් සොයාගැනීම ගැන සාකච්ඡා කරලා ඉක්මනින්ම එය සිදුකිරිමට බලාපොරොත්තු වෙනවා.

 

  1. අවසන් වශයෙන් තව වසර 2 කින් මේ ධුරයෙන් සමුගන්නා විට ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව කුමන තත්ත්වයකට ගෙනවිත් තබන්නට ඔබතුමා අදහස් කරනවාද?

2017 වර්ෂය කියන්නේ ගොඩක් පොඩි කාලයක් තියෙන්නේ, ඒ වගේම 2018 වර්ෂයේ තමයි ආසියානු ක්‍රීඩා උළෙල තිබෙන්නේ. එහිදි රට වෙනුවෙන් පදක්කමක් ගෙන ඒමට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහි කිරීමයි මගේ අරමුණ වෙන්නේ. ඉතින් මගෙන් පසුව එන සභාපතිතුමාට වගකීමක් තිබෙනවා මේ වැඩපිළිවෙළ හොදනම් එය දිගටම ක්‍රීයාත්මක කරලා මව්බිමට කිර්තියක් ගෙන එන ක්‍රීඩකයන් පිරිසක් බිහිකරීමට.

www.ThePapare.comවෙබ් අඩවිය වෙනුවෙන් තමාගේ වටිනා කාලය කැපකරමින් අප සමග එක් වු සුගත් තිලකරත්න මහත්මාට අපි බෙහෙවින් ඉස්තූතිවන්ත වන අතරම ඔහුගේ කටයුතු සාර්ථක වේවා යි අප ප්‍රර්ථනා කරනවා.