පහෙන් තුනක බලය ගැනීමේ සටන හෙට දඹුල්ලෙන් ඇරැඹේ – ශ්‍රී ලංකා-පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය

150

ලොව එක්දින ශේ්‍රණිගත කිරීම්හි පස්වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව හා නවවන ස්ථානයේ පසුවන පාකිස්තානය අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය දිවා තරගයක් වශයෙන් හෙට (11දා) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩාංගණයේදී තරග 35කට සහභාගි වී ජයග්‍රහණ 25ක් ලබා පරාජ 9ක් උරුම කරගනිද්දී එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

හෙටින් ඇරැඹෙන එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවට වඩා පාකිස්තානයට වැදගත් වී තිබෙන්නේ යම් හෙයකින් මෙම තරගාවලිය ඔවුන් පරාජයට පත්වුවහොත් ලබන වසරේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔවුන්ට අහිමිවී යන බැවිනි.

පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගාවලියට ඇතුළත් නොවූ ටී.එම්.ඩිල්ෂාන්, ලසිත් මාලිංග, තිසර පෙරේරා, සික්කුගේ ප්‍රසන්න, සචිත්‍ර සේනානායක, අෂාන් ප්‍රියන්ජන් මෙන්ම මේ දක්වා එක්දින වරම් දිනා නොමැති මිලින්ද සිරිවර්ධන හා සචිත් පතිරණගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට වඩා තරමක් ඉදිරියෙන් සිටින බව පෙනේ. ඔවුන් මෙම වසරේ අප්‍රේල් මාසයේදී බංග්ලාදේශය සමගින් පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වී ඇති බැවින් එම අවමානය මෙම තරගාවලියේදී තුරන් කර ගැනීම ඔවුන්ට ඇති ප්‍රධාන අභියෝගයයි.

කෙසේ වෙතත් පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙස යසීර් ෂා කටයුතු කරන නමුත් එක්දින කණ්ඩායමට නම්කර ඇති නවක ක්‍රීඩක මුක්තාර් අහමඩ් හා බාබර් අසාම් පාකිස්තානයේ දඟ පන්දු යැවීමේ අංශය තවත් ශක්තිමත් කරනු ඇත. ශ්‍රී ලංකාවේ දඟ පන්දු යැවීම් අංශය ගෙන බැලුවහොත් රංගන හේරත් නොමැති වුවද සචිත්‍ර සේනානායක, සික්කුගේ ප්‍රසන්න එම අංශයේ ප්‍රධාන නියමුවන් ලෙස ක්‍රියා කරන අතර, ඔවුන්ට සහයෝගය ලබාදීම සඳහා එක්දින කෝඩුකාරයන් වන සචිත් පතිරණ හා මිලින්ද සිරිවර්ධන කණ්ඩායමට නම් කර තිබීම විශේෂත්වයකි.