වැඩි වාසිය දඹුල්ල හා ගාල්ල කණ්ඩායම්වලට

664

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ කාන්තා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය ඊයේ (2) කණ්ඩායම් හතරක සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර පළමු දිනයේ පැවති තරග අතරින් දඹුල්ල හා ගාල්ල කණ්ඩායම් වැඩි වාසි ලබා ගැනීමට සමත් විය.

කාන්තා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ කාන්තා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය අද (02) හොරණ දී හා බණ්ඩාරගම දී ඇරඹීමට නියමිතයි…

දඹුල්ල හා කොළඹ

හොරණ ආරෝන් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට කොළඹ කණ්ඩායමට ඇරයුම් කළේය.

එක් දිනක් තුළ ඉනිම් හතරක් ක්‍රීඩා කරන මෙම තරගාවලියේ ආරම්භකම තරගය ලෙස පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම වෙනුවෙන් කොළඹ කණ්ඩායම් නායිකාව වන වමතින් පිත්ත හසුරුවන හසිනි පෙරේරා ලකුණු 41ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිම ලකුණු 81ක් දක්වා රැගෙන යාමට සහය විය. ඊට අමතරව දක්ෂ ලෙස පන්දු යැවූ දඹුලු කණ්ඩායමේ ජිනාන්ජලි විජේනායක  ලකුණු 13ක් තුළ කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දැක්වූවාය.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ දඹුලු කණ්ඩායමේ නායිකාව වන වමතින් පිත්ත හසුරුවන හර්ෂිතා මාධවී 4 පහර 4ක් සමඟ සිය අර්ධ ශතකය සම්පුර්ණ කර ගත්තාය. ඇය නොදැවී ලබාගත් ලකුණු 51* නිසාවෙන් මෙම තරගයෙන්  දඹුල්ල කණ්ඩායමට පළමු ඉනිමේ ජයක් හිමි විය. අංජලී ජනිතා ලකුණු 21*යි. පන්දු යැවීමේ දී සඳනි තිවංකා කඩුලු 3ක් දවා ගන්නා ලදි.

කොළඹ පළමු ඉනිම – 81 (38) : හසිනි පෙරේරා 41, ජිනාන්ජලි විජේනායක 5/13, පුර්ණිමා සෙව්වන්දි 2/13.

දඹුල්ල පළමු ඉනිම – 102/5 (40) : හර්ෂිතා මාධවී 51*, අංජලී ජනිතා 21*, සඳනි තිවංකා 3/40.

තරග ප්‍රතිඵලය – දඹුල්ල කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්

මහනුවර හා ගාල්ල

ගාල්ල කණ්ඩායමට පළමු ඉනිමේ ජයක් හිමි වූ මේ තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩා පිටියේ දී ඊයේ (02) පැවැත්විය.

කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 183ක් වැනි ඉතාමත් හොඳ ලකුණු මට්ටමකට ගෙන යාමට ගාලු කණ්ඩායම් නායිකාව වන  සත්‍යා සංදීපනීට හැකි විය. ඇය ලබාගත් ලකුණු 60ට අමතරව දකුණතින් පිත්ත හසුරුවන නිලක්ශනා සඳමිණි ලකුණු 49ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස ක්‍රීඩාගාරයට හැරී ගියාය. පන්දු යැවීමේ දී මල්ෂා ශෙහානි කඩුලු 6ක් දවාලු අතර සයනි ඕෂදී කඩුලු 4ක් දවා ගන්නා ලදි.

මහනුවර කණ්ඩායම ද සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 112ක් ලකුණු පුවරුවක් ගොඩනැංවූයේ කරට කර තරගයක් දෙමිනි. එහි දී පන්දුවෙන් දස්කම් දැක්වූ මල්ෂා ෂෙහානි ලකුණු 44ක් රැස්කර ගන්නා විට, සයනි ලකුණු 28ක් සිය ලකුණු පුවරුවට එකතු කරන ලදි. රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ කවීෂා දිල්හාරි කඩුලු 3යි. නැවත වතාවක් ලකුණු අතරට පිවිසි සත්‍යා සංදීපනී ගාලු දෙවන ඉනිම වෙනුවෙන් ද ලකුණු 26ක් රැස්කර ගන්නා ලදි.

ගාල්ල පළමු ඉනිම – 183 (33): සත්‍යා සංදීපනී 60, නිලක්ශනා සඳමිණි 49, මල්ෂා ශෙහානි 6/33, සයනි ඕෂදී 4/44.

මහනුවර පළමු ඉනිම – 112 (28.1): මල්ෂා ශෙහානි 44, සයනි ඕෂදී 28, කවීෂා දිල්හාරි 3/26, සත්‍යා සංදීපනී 2/14.

ගාල්ල දෙවන ඉනිම – 90/6 (24): සත්‍යා සංදීපනී 26, ඉරේෂා දයානන්ද 2/16.

තරග ප්‍රතිඵලය – ගාල්ල කණ්ඩායමට පළමු ඉනිමේ ජය

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකාවෝ විස්සත් දිනති

සංචාරක පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ…

කොළඹ හා ගාල්ල

අද (3) ක්‍රියාත්මක වූ මේ තරගයේ දී කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායම් නායිකාව වන සත්‍යා සංදීපනීගේ ඇරයුමින් පළමුව පිටියට පිවිසි කොළඹ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 53ක් රැස්කර ගන්නා ලදි. එහි දී සචිනි නිසංසලා හා නායිකා සත්‍යා අතරේ පිළිවෙළින් කඩුලු 3ක් හා කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ ගාල්ල කණ්ඩායමට ද කොළඹ කණ්ඩායමට එතරම් පීඩනයක් ලබා දීමට නොහැකි විය. එහි දී දෙපිලේම පිතිකාරිණියන් අවම ලකුණු මට්ටම්වලට සීමා වීම කැපීපෙණින. අවසානයේ හොරණ ආරෝන් ක්‍රීඩා සමාජ පිටියේ දී  පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමාව දිටීය.

කොළඹ පළමු ඉනිම – 53 (42.3) : සචිනි නිසංසලා 3/06, සත්‍යා සංදීපනී 2/09.

ගාල්ල පළමු ඉනිම – 52/9 (34.2) : තාරිකා සෙව්වන්දි 4/14, නිමාෂා මධුෂානි 2/05.

තරග ප්‍රතිඵලය – මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ලීග් ක්‍රමයට අනුව එක් කණ්ඩායමක්‌ තරග තුනකට සහභාගි වීමට නියමිත අතර අවසානයේ දී ලකුණු සටහනේ වැඩිම ලකුණු ලබා ගන්නා කණ්ඩායම තරගාවලියේ ජයග්‍රාහකයින් ලෙස නම් කරනු ඇත.

මෙම තරගාවලියේ තවත් තරගයක් දඹුලු කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර හොරණ ආරෝන් ක්‍රීඩා සමාජ පිටියේ දී හෙට (4) පැවැත්වීමට නියමිත අතර එහි තරග වාර්තා, නවතම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<