පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකාවෝ විස්සත් දිනති

185
Pakistan Women's Cricket

සංචාරක පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවති අවසාන මහා තරගයේ දී ලකුණු 38 ජයක් ලබා ගත් පාකිස්තාන ක්‍රීඩිකාවෝ විස්සයි විස්ස ශූරතාව ද දිනා ගත්හ.

[rev_slider LOLC]

තරගාවලිය අවසානයේ තරග ජයග්‍රහණය කියැවුණේ 2-1ක් ලෙසිනි. මීට පෙර පැවති තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ දී 3-0ක ජයක් ලැබූ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා සංචාරයේ තරගාවලියම ජයග්‍රහණය කිරීමට සමත් වූහ.

පළමු තරගයේ දී ජය ලැබූ පාකිස්තාන ක්‍රීඩිකාවන්ට අභියෝග කරමින් දෙවැනි තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කරමින් තරගාවලිය දෙපිළටම විවෘත තරගයක් කළ ද, අද තරගයේ දී නැවත වතාවත් සුපුරුදු දක්ෂතා අමතක කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වූයේ අවාසනාවන්ත පරාජයක් වැළඳ ගැනීමටය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පාකිස්තාන ක්‍රීඩිකාවන්ට ආරාධනා කළේ පෙර තරගයේ දී පන්දු යවන්නියන් දැක්වූ දක්ෂතා හේතුවෙන් විය යුතු ය. එකී විශ්වාසය සඵත කරමින් පාකිස්තාන ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 113කට සීමා කිරීමට ඔවුන් සමත් වූහ.

එම ඉනිමේ වඩාත් වැඩකාරිය වූයේ එක්දින තරගාවලියේ දී පිතිකාරිනියක් සේ වැඩි අවධානයක් දිනා ගත් ජවේරියා කාන් ය. ඇය පන්දු 38ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා ය. ජවේරියාගේ ඉනිම ගොඩ නැගීමට පෙර ආරම්භක පිතිකාරිනි සිද්රා අමීන් පන්දු 34ක දී කිසිදු සීමා ලකුණු පහරක් නොමැතිව ලකුණු 23ක් ලබා ගත්තා ය.

දුවද්දී දැවී යෑම් කිහිපයක්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙතින් ගිලිහී යෑම හේතුවෙන්ම මේ ඉනිම ගොඩ නැගුණ අතර ඒ අතර පසුපෙළින් පන්දුවට පහර දීමට පැමිණි නිඩා දාර් පන්දු 16ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා ගනිමින් පාකිස්තාන ඉනිම ගෞරවනීය තත්ත්වයකට ගෙන ආවාය.

පාකිස්තාන ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී සුගන්ධිකා කුමාරි සහ ඕෂදී රණසිංහ කඩුලු 2 බැගින් දවා ගත්තාය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉතාම අවාසනාවන්ත ලෙසින් තම කඩුලු පූජා කරමින් තම ඉනිම ලකුණු 78කට සීමා කරගත්තේ තම තමන්ගේ දුර්වලතාවන් හේතුවෙනි. එම ඉනිමේ දුවද්දී දැවී යෑම් 4කි. ඒ අනුෂ්කා සංජීවනී (14), හසිනි පෙරේරා (08), රෙබේකා වැන්ඩොර්ට් (06) සහ ශෂිකලා සිරිවර්ධන (01) ය. මේ කඩුලු 4 දී යම් ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වෙත වැටුණි නම් මෙම තරගයේ සේ ම තරගාවලියේ ද තීරණය මීට වඩා වෙනස් වීමට බොහෝ සේ ඉඩ තිබුණි.

පාකිස්තාන ක්‍රීඩිකාවන් අනුෂ්කාගේ සහ නිලක්ෂිගේ උත්සාහය අපතේ යවයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවති…

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පිතිකාරිනියක සේ වැඩි සේවයක් සැලසුවේ ඉමල්කා මෙන්ඩිස් ය. ඇය පන්දු 49ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා ය. ඇයගේ ඉනිම නොදැවී වාර්තා වීම කැපී පෙණුනි. නමුත් කඩුලු අතර දිවීමේ දී ඇයගේ දුර්වලතාව ද ලකුණු ලබා ගැනීම හා සමඟම කැපී පෙණීම සාමාන්‍ය සිද්ධියක් විය.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු ලබා ගැනීමේ දී බිස්මා මාරූෆ් ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත්තා ය. කඩුලු නොමැති වූවත් නීඩා දාර් තම පන්දුවාර 4 ලකුණු 6කට දැමීමත්, නස්රා සන්ධු පන්දු වාර 4 ලකුණු 10කට සීමා කරමින් පන්දු යැවීමත් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව පහත හෙළීමට දායක විය.

තරගාවලියේ වඩාත්ම දක්ෂතම ක්‍රීඩිකාව වූයේ පාකිස්තාන ක්‍රීඩිකා ජවේරියා කාන් ය.

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 113 (20.0) සිදාර් අමීන් 23, නහිදා කාන් 19, ජවේරියා කාන් 38, නිඩා දාර් 22, සුගන්දිකා කුමාරි 2/20, ඕෂදී රණසිංහ 2/23

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 8ක් දැවී 75 (20.0) ඉමල්කා මෙන්ඩිස් නොදැවී 25, බිස්මා මාරූෆ් 2/14

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<