වෙළඳසේවා මලල ක්‍රීඩා ශූරතාවය ‘MAS’ට

170

වෙළඳසේවා මලල ක්‍රීඩා සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ 35 වැනි “SLT වෙළඳසේවා මලල ක්‍රීඩා ශූරතාවලිය” පසුගිය 18 සහ 19 දෙදින කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

පසුගිය වසරේ සමස්ත ශූරතාවය දිනා ගත් ‘MAS Holding PLC’ සමාගම මෙවර ද සමස්ත ශූරතාවයට හිමිකම් කියන්නට සමත් වූ අතර ඊට අමතරව ඔවුන් කාන්තා හා පිරිමි අංශවල ශූරතා ද්විත්වය ද දිනා ගනු ලැබුවේ තරගාවලිය තුළ සිය ආධිපත්‍යය පතුරුවා ගනිමිනි. ‘MAS Holding PLC’ සමාගම නියෝජනය කරමින් මෙවර තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 600කට අධික ය. ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම සහ සම්පත් බැංකු කණ්ඩායම පිළිවෙළින් සමස්ත දෙවන හා තෙවන ස්ථාන දිනා ගන්නට සමත් වූහ.

පළමු දිනයේ ආසියානු ක්‍රීඩා බිමේ තතුවිත්ති

ඊයේ (18) පැවති වර්ණවත් සමාරම්භක උළෙලකින් පසුව මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ තරග …

දින දෙකක් පුරාවට පැවති තරගාවලිය තුළ නව තරග වාර්තා 31ක් බිහිවනු දැකගත හැකි විය. ‘Noratel International (Pvt) Ltd’ ආයතනය නියෝජනය කරමින් ආධුනික කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ජී. එච්. පී. කල්පනී ගිනිමැල්ල තරගාවලියේ කාන්තා අංශයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ අතර ඇය දුර පැනීම ඉසව්වේ දී මීටර 5.14ක දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක් සහ තුන් පිම්ම ඉසව්වේ දී ද නව තරග වාර්තාවක් පිහිටුවන්නට සමත් විය.

පිරිමි අංශයේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ NDB බැංකු කණ්ඩායම නියෝජනය කරමින් ශූරතා කාණ්ඩයෙන් තරගාවලියට එක්වූ සචිත් නිලක්‍ෂ පෙරේරා යි. ඔහු මීටර 200 ඉසව්ව තත්පර 21.6ක කාලයක් වාර්තා කරමින් තරගය අවසන් කරමින් නව තරග වාර්තාවක් පිහිටුවමින් විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් වූ අතර තවදුරටත් ඔහු මීටර 100 ඉසව්වේ ද රන් පදක්කම දිනා ගන්නට සමත් විය.

>> ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

මෙවර තරගාවලිය සඳහා ආයතන 56ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2500කට ආසන්න සංඛ්‍යාවක් එක්වූ අතර ඉන්දියාව නියෝජනය කරමින් ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තරගාවලිය සඳහා එක්වීම නිසා තරගාවලියේ තරගකාරීත්වය ඉතා ඉහළ මට්ටමක පැවතිණි. ඒ අනුව ඉන්දියාවේ දක්‍ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට හිමි සම්මාන පිළිවෙළින් ආර්. එම්. රෙජීතා හට සහ සන්තෝෂ් කුමාර් පදන් හට ඔවුන් දෙදෙනා තුන් පිම්ම ඉසව්වල දී දැක්වූ දක්‍ෂතා වෙනුවෙන් පිරිනමන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<