පළමු දිනයේ ආසියානු ක්‍රීඩා බිමේ තතුවිත්ති

427

ඊයේ (18) පැවති වර්ණවත් සමාරම්භක උළෙලකින් පසුව මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ තරග ආරම්භය අද (19) උදෑසන සිදු විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට අද උදෑසනම සිදු වුනේ දුක සහ සතුට මුසු ඉසව්වකට මුහුණ දීමටයි. පිරිමි මීටර් 200 නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ තරග අද උදෑසන පැවති අතර එහි මූලික වටයේ දෙවන තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක කවීන්ද්‍ර නුගවෙල එම තරගය ජය ගන්නට සමත් වීම සතුටට කරුණක් වුවත් ඉතා මන්දගාමී තරගයක් වූ එහි දී ඔහු වාර්තා කළ කාලය අවසන් තරගයට  සඳහා සලකා බැලූ සමස්ත කාල ගණන සටහනේ ලියවුනේ 26 වන ස්ථානය ලෙසයි.

මැතිව් අබේසිංහ සහභාගී වූ මූලික වටයේ තුන් වන තරගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගන්නා ලදි. මැතිව් සහභාගී වන ඉසව් අතුරින් ඔහුගේ දුර්වලම ඉසව්ව ලෙස සැලකෙන මෙම මීටර් 200 නිදහස් ආර ඉසව්ව අවසන් කරන්නට ඔහු ගත කළ කාලය මිනිත්තු 1යි තත්පර 50යි දශම 97ක්. එය අදාළ මූලික තරගයේ 6 වන ස්ථානයට ස්ථාන ගත වුනා. සමස්ත කාල ගණනයේ 12 වන දක්ෂතාව ලෙස ස්ථාන ගත වූ මෙම කාලය සමඟ මැතිව් හට අවසන් තරගයේ ස්ථානයක් වෙන්කර ගැනීමට හැකි වුණේ නැහැ. එය කනගාටුවට කරුණක් වුවත් සතුටට කරුණ වුණේ, මැතිව්ගේ මෙම දක්ෂතාව නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සනිටුහන් වීමයි. ඔහු අද බිඳ දැමුවේ මීට පෙර ඔහු විසින්ම පිහිටුවා තිබූ වාර්තාවක්.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න: පළමු දිනයේ දී ම මැතිව්ගෙන් වාර්තාවක්

මේ අතර අද උදෑසන පිරිමි සමනල ආර මීටර් 200 ඉසව්වේ මූලික තරගයකට සහභාගී වූ චෙරන්ත ද සිල්වා තරගය අවසන් කළේ 4 වන්නා ලෙසයි. ඔහුගේ තරග නිමි කාලය මිනිත්තු 2යි තත්පර 05යි දශම 9ක්. ඔහුට ද අවසන් තරගයේ ස්ථානයක් වෙන් වුණේ නැහැ.


ශ්‍රී ලංකාවට අද දිනයේ දී ජයග්‍රහණයක් හෝ ඉදිරි වටයකට පිවිසීමක් පිළිබඳ සතුටු වීමේ අවස්ථාව හිමි වුණේ ටෙනිස් තරග බිමේ දී පමණයි. පලෙම්බන් හීදී පැවැත්වෙන ටෙනිස් තරග සඳහා අද ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් දෙකක් සහ කේවල තරගකරුවන් තිදෙනෙක් එක් විය.  එහි දී කාන්තා කේවල ඉසව්වේ පළමු වටයට තරග කළ අනිකා සෙනෙවිරත්න මොන්ගෝලියානු ක්‍රීඩිකාවක් තරග වට 2-0ක් ලෙස පරදවමින් අවසන් ක්‍රීඩිකාවන් 32 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර ශාමාල් දිසානායක පිරිමි කේවල ඉසව්වේ දෙවන වටයට සුදුසුකම් ලබා ගත්තේ පළමු වටයේ මුහුණ දුන් තරගයේ දී මාලදිවයින නියෝජනය කළ ක්‍රීඩකයෙක් පරාජය කරමින්.

ඒ හැරුණු විට මිශ්‍ර යුගල තරග සඳහා සහභාගී වූ කණ්ඩායම් දෙක මෙන්ම පිරිමි කේවල මූලික වටයේ තරගයකට සහභාගී වූ යසිත ද සිල්වා හට ද සිදු වුණේ අදාළ ඉසව්වල ඉදිරි ගමන පිළිබඳ බලාපොරොත්තු අත්හැර දැමීමටයි.


ඒ කාණ්ඩය යටතේ කබඩි ක්‍රීඩාවේ මූලික වටය සඳහා තරග වදින ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම අද පස්වරුවේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවිය. කෙසේ වෙතත් ඔවුන් එහි දී ඉන්දියාවට හොඳ අභියෝගයක් එල්ල කරන අයුරු දැක ගත හැකි විය. අවසානයේ ඔවුන් ලකුණු 44-28ක් ලෙස පරාජය වුවත් ඉන්දියාවට එල්ල කළ අභියෝගය පැසසුම් සහගතය.

කාන්තා කබඩි කණ්ඩායමේ පළමු අභියෝගය වූයේ තායිලන්ත කණ්ඩායමයි. ඔවුන් එම තරගය ලකුණු 15-41ක් ලෙස පරාජය විය.


මීට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මල්ලව පොර ක්‍රීඩකයෙක් සහ වූෂූ ක්‍රීඩිකාවක් පළමු දිනයේ තරග බිමට පිවිසියත් ඔවුන්ට ද ජයග්‍රහණයක් හිමිකර ගැනීමට හැකි නොවීය.


ආසියානු ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන දෙවන දිනය තුල දීත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉසව් රැසකට සහභාගී වීමට නියමිතයි. ඉන්දුනීසියාවේ දී ආසියානු ක්‍රීඩා උළෙලට මෙන්ම උසස් පෙළ විභාගයට ද මුහුණ දෙන අකලංක පීරිස් සිය පළමු ඉසව්ව වන මීටර් 50 පසුපස ආර ඉසව්වේ මූලික වටයේ තරගයක් සඳහා සහභාගී වන අතර ඉන් අනතුරුව සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සඳහා ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණීමට ද නියමිතයි. එමෙන්ම සමාරම්භක උත්සවයේ දී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ ගෞරවය දිනා ගත් දිනූෂා ගෝමස් සහභාගී වන කිලෝග්‍රෑම් 48 බර පන්තියේ බර එසවීමේ තරගය ද, හෙට (20) පැවැත්වෙන ශ්‍රී ලංකාවට වැදගත් තරග ඉසව්වක්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<