මලියදේව, නාලන්ද හා වේල්ස් කුමරුවන්ට අභිමානවත් දිනක්

714

වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (20) නිමා වූ  තරගවල දී  පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට මලියදේව, නාලන්ද හා වේල්ස් කුමර විද්‍යාලවලට හැකි විය. ඒ අතුරෙන් වේල්ස් කුමර විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය ලබා ගත්තේ ඉනිමක ජයග්‍රහණයි.

අද පැවති මෙම තරගවල දී සවිඳු පීරිස්, මොහොමඩ් අමීන්, අවිශ්ක සේනාධීර, පසිඳු සූරියබණ්ඩාර, කමිල් මිශාර හා ගයාන් දිසානායක යන ක්‍රීඩකයින් වැඩි දස්කම් දක්වමින් ලකුණු අතරට පිවිසියහ.

විශ්වගේ ශතකයෙන් මොරටුව කැලඹේ

වේල්ස් කුමර විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වූ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගයේ දී වමතින් පිත්ත හසුරුවන විශ්ව ප්‍රනාන්දු ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

වේල්ස් කුමර විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය

ඊයේ (19) දිනය අවසන් වන විට සිය පළමු ඉනිම දියත් කරන සත්කාරක වේල්ස් කුමර විද්‍යාලය සාන්ත පීතර පළමු ඉනිමට වඩා ලකුණු 158ක් ඉදිරියෙන් පසුවිය.

වේල්ස් කුමර විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 299ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවන ලදි. දක්ෂ ලෙස පන්දු යැවූ සාන්ත පීතර විද්‍යාලයේ වැඩ බලන නායකයා කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් අතරට පිවිසියේය.

සිය පිළිතුරු ඉනිම ආරම්භ කළ සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් රන්මිත් ජයසේන අර්ධ ශතකයක් ලබා ගත්ත ද ඔවුන්ට ඉනිමක පරාජයෙන් බේරීමට වේල්ස් කුමර විද්‍යාලයේ වමතින් දඟපන්දු යවන සවිඳු පීරිස් ඇතුළු සඟයින් අවසර ලබා දුන්නේ නැත.

සාන්ත පීතර පළමු ඉනිම – 124/10 (42.2): රන්මිත් ජයසේන 26, කෞමාල් නානායක්කාර 5/30.

වේල්ස් කුමාර විද්‍යාල පළමු ඉනිම – 299/8d (59.2): විශ්ව චතුරංග 125, සවිඳු පීරිස් 38, සඳුන් ප්‍රනාන්දු 27, මොහොමඩ් අමීන් 5/116.

සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම – 164/10 (64.1): රන්මිත් ජයසේන 51, ශිවාන් පෙරේරා 30*, නිපුන්ක ෆොන්සේකා 23, සවිඳු පීරිස් 6/63, කවුමාල් නානායක්කාර 3/62.

තරග ප්‍රතිඵලය – වේල්ස් කුමර විද්‍යාලයට ඉනිමක හා ලකුණු 11ක ජයක්


රාජකීය විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය

ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වූ මෙම තරගයේ දී සත්කාරක රාජකීය විද්‍යාල පළමු ඉනිමට පිළිතුරු ලෙස ආනන්ද විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 286ක් ලබාගෙන සිය ඉනිම අත්හිට වූයේ ලකුණු 74ක වාසියක් ලබා ගනිමිනි. එහි දී කමේශ් නිර්මාල්, කවිඳු ගිම්හාන හා ලහිරු හිරන්‍ය ආනන්ද විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කරන ලදි.

රාජකීය විද්‍යාල දෙවන ඉනිම වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර හා කමිල් මිශාර පිළිවෙළින් ලකුණු 104ක් හා 62ක් ලබා ගත්හ. මීට අමතරව පන්දුවෙන් දස්කම් දැක්වූ ගයාන් දිසානායක ලකුණු 60යි. අවසන් මොහොතේ පිටියට පැමිණි කවිඳු මදරසිංහ ද දිනය අවසානයේ අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය.

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 212/10 (53.3): පසිඳු සූරියබණ්ඩාර 69, තෙවිඳු සේනාරත්න 45, ගයාන් දිසානායක 33, දමින්දු රිෂාන් 4/27.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – 286/9d (69.2): කමේශ් නිර්මාල් 59, කවිඳු ගිම්හාන 56, ලහිරු හිරන්‍ය 50, දුශාන් හෙට්ටිගේ  36, ගයාන් දිසානායක 3/27.

රාජකීය විද්‍යාල දෙවන ඉනිම -300/5 (64.3): පසිඳු සූරියබණ්ඩාර 104, කමිල් මිශාර 62, ගයාන් දිසානායක 60, කවිඳු මදරසිංහ 50*.

සචිත්‍ර සහ අශේන් ශතක රැස් කරමින් යෝධ ලකුණු සබඳතාවයක!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පළමු පෙළ තරගාවලිය වන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ තරග 6ක් ඊයේ දිනයේ (19) ආරම්භ විය.

සාන්ත ජෝසප් විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය

සාන්ත ජෝසප් පළමු ඉනිම යම් අසීරුතාවයකට පත්වුන මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 8ක් දැවී ලකුණු 122ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. කෙසේ වෙතත් දෙවන දිනය වූ අද දිනය තුළ සාන්ත ජෝසප් පළමු ඉනිම ලකුණු 165කට සීමා විය.

ලකුණු 30ක පළමු ඉනිමේ වාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කළ ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් අවිශ්ක සේනාධීර හා ට්‍රෙවෝන් පර්සිවෙල් වර්ණවත් පිතිකරණයක නිරත වෙමින් අර්ධ ශතක ලබා ගත්හ. අශේන් ඩැනියල් කඩුලු 4යි. රෙවාන් කෙලී සාන්ත ජෝසප් විද්‍යාල දෙවන ඉනිමට ලකුණු 63ක් එක් කළේය. අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් එහි පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සත්කාරක ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 195/10 (61.4): හසින්ත ජයසූරිය 88, ට්‍රෙවොන් පර්සිවෙල් 28, අශේන් ඩැනියල් 7/44.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 165/10 (44.3): ලක්ෂාන් ගමගේ 68, ට්‍රෙවොන් පර්සිවෙල් 3/35, රුවින් පීරිස් 3/46, විමුක්ති නෙතුමල් 3/53.

ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම – 211/8d (51.3): අවිශ්ක සේනාධීර 64, ට්‍රෙවෝන් පර්සිවෙල් 54, අභිශේක් ආනන්ද කුමාර් 37, අශේන් ඩැනියල් 4/66.

සාන්ත ජෝශප් විද්‍යාල දෙවන ඉනිම – 131/4 (37): රෙවාන් කෙලී 63.

සහිරා විද්‍යාලය හා මලියදේව විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස අවසන් වූ මෙම තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට මලියදේව විද්‍යාලය සමත් විය.

දෙවන දිනය වූ අද දිනය තුළ සහිරා විද්‍යාල දෙවන ඉනිම ලකුණු 183කට සීමා කිරීමට පසිඳු තෙන්නකෝන් ප්‍රමුඛ මලියදේව විද්‍යාල පන්දු යවන්නන් සමත් විය. එහි දී පිත්තෙන් යම් කාර්යයක් ඉටු කළ යසිත් නිර්මාල් ලකුණු 40යි.

කවීන් බණ්ඩාර නොදැවී ලකුණු 38*ක් ලබාගෙන මලියදේව විද්‍යාල දෙවන ඉනිම වර්ණවත් කළේ සිය විද්‍යාලයට පූර්ණ ජයග්‍රහණයක් අත්කර දෙමිනි. එම ජයග්‍රහණය වාර්තා පොත් අතරට ගියේ මෙවර පාසල් ක්‍රිකට් තරගාවලිය තුළ මලියදේව විද්‍යාලය ලබාගත් පළමු පූර්ණ ජයග්‍රහණය ලෙසිනි.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – 84/10 (27.5): දිල්සර සමින්ද 33, මදුරංග නවීන් 3/30.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 152/10 (38.2): සංජීවන් ප්‍රියදර්ශන 48, අරවින්ත් රාජේන්ද්‍ර 3/03, රිද්මික නිමේෂ් 3/24.

සහිරා විද්‍යාල දෙවන ඉනිම – 183/10 (54.1): යසිත් නිර්මාල් 40, අරවින්ත් රාජේන්ද්‍රන් 38, පසිඳු තෙන්නකෝන් 3/26.

මලියදේව විද්‍යාල දෙවන ඉනිම – 116/5 (23.5): කවීන් බණ්ඩාර 38*, රිද්මික නිමේෂ් 3/42.  

රසල් – අනේ අපිව බේරගන්න

මී හරක් රංචුවක් මැදට සිංහයෙක් මැදි වූ විට සිදුවන දෙය නුඹ දැක තිබේද? දැක නොමැති නම් ඉන්දීය ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියක විචාරක අට්ටාලයට මොහොතකට ගොඩවෙන්නැයි මම ඔබට ආරාධනා කරමි.

ධර්මපාල විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස නාලන්ද විදුහල් පිටියේ ඊයේ (19) ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය තුළ කඩුලු 20ක් බිඳ වැටෙන ලදි.

නාලන්ද විද්‍යාලය ඊයේ දිනය තුළ සිය පළමු ඉනිම අත්හිටුවන විට ධර්මපාල විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 169ක් පෙරමුණේ පසු විය. ඒ නිසාවෙන් ධර්මපාල විද්‍යාලයට ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 169ක් ලබා ගැනීමට අවශ්‍යව තිබුණ ද, චමින්ද විජේසිංහ ඇතුළු නාලන්ද පන්දු යවන්නන් එය පහසුවෙන්ම ලබා ගැනීමට ඉඩ නොදුන්නේ නැත. කෙසේ නමුත් ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් දැකුම්කළු පිතිකරණයක නිරත වූ මලිත් සඳකැළුම් ලකුණු 53යි.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 70/10 (29.1): අමිල දයානායක 37, කවීෂ තරුෂ 5/09.

නාලන්ද විද්‍යාල පළමු ඉනිම – 239/9d (57): අවිශ්ක පෙරේරා 89, ලක්ෂිත රසාංජන 39, කවීෂ තරුෂ 35, චේතිය විතාන 3/66.

ධර්මපාල විද්‍යාලය දෙවන ඉනිම – 164/10 (64): මලිත් සඳකැළුම් 53, චමින්ද විජේසිංහ 3/27.

තරග ප්‍රතිඵලය – නාලන්ද විද්‍යාලයට ඉනිමක හා ලකුණු 5ක ජයක්


වෙස්ලි විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය

තිසුරක අක්මීමන, ශෙනාල් දංගල්ල හා තෙනුක පෙරේරාගේ අර්ධ ශතකවලින් වර්ණවත් වූ මෙම තරගය වෙස්ලි විද්‍යාලයේ අනුග්‍රාහකත්වය ඇතිව පැවැත්විය.

මලීශ රූපසිංහ හා නායක ඩෙලොන් පීරිස් පිළිවෙළින් ලකුණු 47ක් හා ලකුණු 35ක් ලබාගෙන සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් සවියක් වුවත්, ඔවුන්ගේ මුල්පෙළ කඩුලු කිහිපයක් ඉක්මනින්ම දැවී ගිය නිසා ඔවුන්ට පළමු ඉනිමේ ජයක් වෙත යාමට නොහැකි විය. එසේම පන්දු යැවීමේ දී සාරින්ද බක්මීවැව හා මොහොමඩ් උබයදුල්ලා කඩුලු 3 බැගින් දවා ගත්හ.

පිළිතුරු දෙවන ඉනිම දියත් කළ වෙස්ලි විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 117ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 167ක අභියෝගයක් ලබා දෙමිනි. නමුත් තරගය අවසානයේ සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 2ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 88ක් පමණි. ඒ නිසාවෙන් මෙහි පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සත්කාරක වෙස්ලි විද්‍යාලයට හැකි විය.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම – 276/10 (80): තිසුරක අක්මීමන 91, ශෙනාල් දංගල්ල  61, සකුන්ත ලියනගේ 34, ශැනොන් ප්‍රනාන්දු 7/66.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම –  227/10 (64): මලීශ රූපසිංහ 47, ඩෙලොන් පීරිස් 35, දුලිත් ගුණරත්න 25, සාරින්ද බක්මීවැව 3/48, මොහොමඩ් උබයදුල්ලා 3/52.

වෙස්ලි විද්‍යාල දෙවන ඉනිම – 117/7 d (40): තෙනුක පෙරේරා 50*, ඩෙලොන් පීරිස් 3/45.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම – 88/2 (10): සිතාර හපුහින්න 38.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<