දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තවත් තරගයක් තිබිය දී ම තරගාවලිය ජය ගනී

292
@AFP PHOTO

ඩේල් ස්ටේන් පිතිකරුවෙක් ලෙසින් ගොඩ නැගූ ඉනිමට ඉම්රාන් තාහීර් පන්දු යවන්නෙක් ලෙසින් දැක්වූ දායකත්වය හේතුවෙන් දකුණු අප්‍රිකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඊයේ (03) මන්ගන්ග් ඕවල් හි දී පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 120කින් ජය ගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබිය දී 2-0ක් ලෙසින් තරගාවලිය ජය ගත්හ.

දකුණු අප්‍රිකාවට පහසු ජයග්‍රහණයක්

සිම්බාබ්වේ කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය ආරම්භ කරමින් කිම්බර්ලි ඩයමන් ඕවල් හි දී…

මෙම තරගයේ දී ඩේල් ස්ටේන් එක්දින ජාත්‍යන්තර පිටියට පිවිස 13 වසරක් ගත වූ පසුව තම මංගල එක්දින අර්ධ ශතකය රැස් කිරීමට සමත් වූ අතර ඉම්රාන් තාහීර් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 198ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 78ක් පමණි.

අද තරගයේ දී සිම්බාබ්වේ ක්‍රීඩකයෝ දැවී ගිය ලකුණු ප්‍රමාණය දකුණු අප්‍රිකාවට එරෙහිව ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව විය. ඔවුන් මීට පෙර ඔවුන් ඉදිරියේ ඔවුන් ඉදිරියේ දැවී ගොස් සිටියේ ලකුණු 117කට ය. ඒ මීට පෙර මෙම තරගාවලියේ දී ම පරාජය වූ තරගයේ දී ය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දී ම තෝරා ගනිමින් පිටියට පිවිසිය ද ඔවුන්ට සිතූ තරම් ඉනිමක් ගොඩ නැගීමට හැකි වූයේ නැත. ලකුණු 198කට සීමා වූ ඔවුන් ඉනිමේ තෙවැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දී කඩුලු 2ක් දැවී ලකුණු 9ක්ව තිබුණි. අනතුරුව ඔවුන්ගේ තෙවැනි කඩුල්ල ද ලකුණු 26ක් වෙද්දී දැවී ගිය හ.

ආරම්භක පිතිකරු එයිඩන් මක්‍රම් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දෙමින් සිව්වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වෙද්දී ලකුණු 35ක් ලබා සිටියේ ය. ඔහු පන්දු 49කට මුහුණ දී සිටි අතර හතරේ පහර 6ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේ ය.

අනතුරුව කාහ්යෝ ෂොන්ඩෝ (21) සහ ක්‍රිස්තියන් ජොන්කර් (25) ලකුණු අතරට පිවිසෙමින් දකුණු අප්‍රිකා ලකුණු පුවරුව තරමක් ඔසවා තැබූහ. ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වාර්තා කිරීමට අන්ඩිල් පෙහෙලුක්වායෝ (28) සහ ඩේල් ස්ටේන් සමත් වූහ. ඒ 8 වැනි කඩුල්ල වෙනුවෙන් එක් කළ ලකුණු 75යි.

අද තරගයේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරු වූයේ ඩේල් ස්ටේන් ය. 2005 වසරේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් ඔහු අද තරගයේ දී පන්දු 85කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 60ක් ලබා ගත්තේ තමන්ගේ මංගල එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකයයි. ඔහුගේ පිතිකරණ ලැයිස්තුවේ වැඩිම ලකුණු ලෙසින් මීට පෙර සටහන් ව තිබුණේ ඉන්දියාවට එරෙහිව 2010 වසරේ ජායිපූර් හි දී රැස් කළ ලකුණු 35යි.

පන්දු යැවීමේ දී ටෙන්ඩායි චටාරා ලකුණු 42කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව කයිල් ජාවිස්, ඩොනල්ඩ් තිරිපානෝ සහ බ්‍රැන්ඩන් මවුටා කඩුලු දෙක බැගින් බෙදා ගත්හ.

පහසු ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි සංචාරක සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙමින් තමන්ගේ ඉනිම ලකුණු 78කට නිමා කර ගත්හ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක හැමිල්ටන් මසකඩ්ෂා ය. ඔහු ලකුණු 27ක් ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිම පන්දු 40කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 2ක් සහ හයේ පහරක් ද ඇතුලත් විය.

ඊට අමතරව ඉනිම වැඩිම ලකුණු ලාභියා වූයේ ඩොනල්ඩ් තිරිපානෝ ය. ඔහු පන්දු 16කට මුහුණ දී නොදැවී ලකුණු 12ක් ලබා ගත්තේ ය. බ්‍රෙන්ඩන් ටේලර් ද ලකුණු 10ක් ලබා ගත් අතර අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාව පසු කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ඉඩ ලබා දුන්නේ නැත.

සිම්බාබ්වේ කණ්ඩායමේ මැද පෙළින් කඩුලු 5ක් පන්දු වාර 5ක් තුළ පිට පිට දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. එහි දී කඩුලු 4ක්ම දවා ගැනීමේ ගෞරවය හිම වූයේ ඉම්රාන් තාහීර් ට ය.

චාමර සිල්වාගෙන් මතකය අවදි කරන ඉනිමක්

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ…

ඔහු තමන් විසින් යැවුණ ඉනිමේ 17 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී සීන් විලියම් දවා ගන්නා අතර ඊට පසුව ඔහු විසින් යවනු ලැබූ ඊළඟ පන්දු වාරයේ පළමු පන්දුවේ දී පීටර් මූර් ද ඊළඟ පන්දුවේ දී බ්‍රැන්ඩන් මවුටා ද දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන්නේ ය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගයක දී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ සිව්වැනි පන්දු යවන්නා වූයේ ඉම්රාන් තාහීර් ය. ඔහු තරගය අවසාන වන විට ලකුණු 24කට කඩුලු 6ක් දවා ගෙන සිටියේ ය. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීම අතර දෙවැනි තැන ගත්තේ ය. එහි පළමු තැන හිමිව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2006 වසරේ දී ලකුණු 45කට ලබා ගත් කඩුලු 7යි.

ඊට අමතරව ඩේල් ස්ටේන් ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත් අතර ලුනිග් නිගිඩි සහ අන්ඩිල් පෙහෙලුක්වායෝ කඩුල්ල බැගින් බෙදා ගත්හ.

දකුණු අප්‍රිකාව; සියලුම දෙනා දැවි 198 (47.3) එයිඩන් මක්‍රම් 35, කාහ්යෝ ෂොන්ඩෝ 21, ක්‍රිස්තියන් ජොන්කර් 25, අන්ඩිල් පෙහෙලුක්වායෝ 28, ඩේල් ස්ටේන් 60, ටෙන්ඩායි චටාරා 3/42, කයිල් ජාවිස් 2/26, ඩොනල්ඩ් තිරිපානෝ 2/37, බ්‍රැන්ඩන් මවුටා 2/48

සිම්බාබ්වේ සියලුම දෙනා දැවී 78 (24.0) හැමිල්ටන් මසකඩ්ෂා 27, ඩේල් ස්ටේන් 2/19, ඉම්රාන් තාහීර් 6/24

තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය මේ මස 06 වැනි දින පර්ල් හි දි පැවැත්වීමට නියමිත අතර මෙම තරගයේ සේ ම තරගාවලියේ ද උණුසුම් පුවත් සමඟින් යාවත්කාලීන වීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<