පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානයේ

240
2018 Commonwealth Games day 1 roundup
වමේ සිට දකුණට (ස්කොෂ් ක්‍රීඩක රවිඳු ලක්සිරි, බර එසවීමේ ක්‍රීඩක චතුරංග ලක්මාල් සහ දිනූෂා ගෝමස් සහ ස්කේෂ් ක්‍රීඩිකා මිහිලියා මෙත්සරණි

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නුවරට දකුණට වන්නට පිහිටි ගෝල්ඩ් කොස්ට් නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තරග ඉසව් ඇරැඹි පළමු දිනය වූ ඊයේ (05) පදක්කම් සඳහා පැවති තරග අවසන් වන විට ලෝකඩ පදක්කම් 2ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් සටහනේ 13 වැනි තැනට පත්වීමට ශ‍්‍රී ලංකාව සමත් විය.

රන් පදක්කම් 6ක් සහ රිදි, ලෝකඩ පදක්කම් 3 බැගින් දිනා ගනිමින් එංගලන්තය පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානයේ පසුවෙයි. දෙවැනි ස්ථානයේ සත්කාරක ඕස්ට්‍රේලියාව පසුවේ.

රන් පදක්කම් 275ක් සමඟින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සටන ඇරඹේ

එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ එම ආර්යාව ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගි…

ශ‍්‍රී ලංකාවට හිමි වූ ලෝකඩ පදක්කම් දෙකම බර එසවීමේ තරග අංශය යටතේ දිනා ගැනීමට සමත් වීම කැපී පෙනුණු නමුත් සෙසු ඉසව්වල ද අවසන් පූර්ව සහ දෙවැනි තරග වට සඳහා සුදුසුකම් ලබා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ ශ‍්‍රී ලංකාව ඉදිරියේ පළමු පදක්කම සටහන් කරනු ලැබුවේ කිලෝග‍්‍රෑම් 56 බර පන්තියේ පිරිමි ඉසව්ව නියෝජනය කරන ලද චතුරංග ලක්මාල් විසිනි.

දෙවැනි පදක්කම ශ‍්‍රී ලංකාවට දිනා දුන් දිනූෂා ගෝමස්ගේ ලෝකඩ පදක්කම තරමක විශේෂත්වයක් එක් කරවන්නක් විය. එ් මන්දයත් දිනූෂා ගෝමස් දිනා ගන්නා ලද ලෝකඩ පදක්කම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ කාන්තා අංශයෙන් ශ‍්‍රී ලංකාව දිනා ගන්නා ලද පළමු පදක්කම බවට ඉතිහාසගත වීමය.

මේ අතර ඊයේ දිනයේ පැවති සෙසු තරග ඉසව් අතරින්, ස්කොෂ් තරග අංශය යටතේ පැවති පිරිමි කේවල තරගයේ දී ෆීජි ක්‍රීඩක රෝමිත් පර්ෂෝටව් තරග වට 3/0ක පරාජයකට ඇද දමමින් පහසු ජයක් වාර්තා කිරීමට රවිඳු ලක්සිරි සමත් විය. අවසන් 32 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලද එම ජයග්‍රහණයෙන් පසු දෙවැනි වටය යටතේ ස්කොට්ලන්ත ක්‍රීඩක ග්‍රෙග්ග ලැබෝර්න් හමුවේ තරග වට 2/0ක පරාජයක් ලැබීය.

ඔහුට අමතරව නවසිලන්ත ක්‍රීඩිකා අමන්ඩැ ලැන්ඩර්ස් සමඟ කාන්තා ස්කොෂ් කේවල වටයේ දී තරග වැදුණු මිහිලියා මෙත්සරණී තරග වට 3/0කින් පරාජය ලැබීය.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ පළමු රන් පදක්කම දිනා ගැනීමට බර්මියුඩාවේ ෆ්ලෝරා ඩෆී ක‍්‍රීඩිකාව සමත් වූවාය. ඇය තුන් ප‍්‍රයාම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනිමින් එම වටිනා අවස්ථාව බර්මියුඩාව ඉදිරියෙන් ලියැව්වාය.

බලාපොරොත්තු තැබිය හැකි ඉසව්වක් ලෙසින් හැඳින්වෙන බැඩ්මින්ටන් තරග ඉසව්ව යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුගේ සහභාගිත්වයෙන් තරග වැදුණ ද, මිශ‍්‍ර තරග ඉසව්ව යටතේ අසල්වැසි ඉන්දියාව හමුවේ තරග වට 5/0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්වීම කණගාටුදායක සිදුවීමක් විය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<

පදක්කම් සටහන

Commonwealth Games day 1