පදක්කම්ලාභීන්ට ක්‍රීඩා අමාත්‍යාංශය බරටම සලකයි

112

ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් ඇගයීමේ උත්සවයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහිදී පසුගිය සතියේදී චීනයේදී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය 2014 වසරේ චීන තායිපේහිදී පැවැති 16 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සහ 2013 වසරේ මැලේසියාවේදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලිය යන තරගාවලියන්හිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් ලබාගත් ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ හත් දෙනකු හා ඔවුන්ගේ පුහුණුකරුවෝ ඇගයීමට ලක්වූහ.

මූල්‍යමය වශයෙන් හා වෙනත් ත්‍යාගද සමගින් එලෙස ඇගයීමට ලක්වූ අය අතර පසුගිය ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් නිමාලි ලියනාරච්චිට රුපියල් හත් ලක්‍ෂ පනස් දහසක (750,000) මුදල් ත්‍යාගයක් පිරිනැමුණු අතර, ඇයගේ පුහුණුකරු සුජිත් අබේසේකරට රුපියල් එක් ලක්‍ෂ අසූ හත් දහසක මුදල් ත්‍යාගයක් පිරිනැමුණි.

ඊට අමතරව 16වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවට සහභාගි වී මීටර් 100 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් හිමාෂ ඒෂාන්ට රුපියල් ලක්‍ෂ 4ක් ඔහුගේ පුහුණුකරු එම්.සී.කේ. පෙරේරාට රුපියල් ලක්‍ෂයක මුදලක් පිරිනැමීය. තවද එම ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වෙන් රිදී පදක්කම ලබාගත් කෞෂල්‍යයා මධුෂානිට රුපියල් ලක්‍ෂ 4ක මුදලක්ද තුන්පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කම ලැබූ විදූෂා ලක්‍ෂානිට රුපියල් ලක්‍ෂ 3ක මුදලක්ද ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිරිනමන ලදී.
එසේම මැලේසියාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී රිදී පදක්කම්ලාභී ඩී.එම්.අයි.සී. දිසානායකට ලක්‍ෂ 10ක මුදලක් පිරිනැමුණු අතර, (ඔහුගේ පුහුණුකරුට රු.250,000 පිරිනැමුණි) එම තරගාවලියට සහභාගි වී රිදී පදක්කම දිනාගත් වී.කේ. පළඟසිංහ (රුපියල් ලක්‍ෂ 3) හා ලෝකඩ පදක්කම දිනාගත් සංගීත් විජේසූරිය (රුපියල් 225,000) ඇගයීමට ලක්විය.