සංගා-මහේල නැති එක පාඩුවක් ඒත් හරි වෙලාවට සමුගත්තා කියලා හිතෙනවා – අසංග ගුරුසිංහ

114

මේ දිනවල පැවැත්වෙන එකොළොස්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් තරගය ඉදිරියට යමින් සිටිනා මොහොතේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට ළැදි කාහටත් සිහියට නැඟෙන්නේ 1996 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාවට දිනා දුන් ආකාරයයි.

ඒ නිසා වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්‍ෂතා ගැනත් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙන්ම කණ්ඩායමද අනුගමනය කළ යුතු කරුණු ඇතුළු බොහෝ දේ කතාබහ කිරීමට එදා ලෝක කුසලානය රටට දිනා දුන් කණ්ඩායමේ ක්‍රීඩකයකු හමුවීම වඩාත් කාලෝචිත යැයි අදහස් කළෙමි. ඒ අනුව වර්තමානයේ මෙරටෙහි මෙල්බර්න් නුවර පදිංචිව සිටින 96 ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ සුපිරි වමත් පිතිකරුවකු වූ අසංග ගුරුසිංහ හමුවීමට අවස්ථාව සලසා ගත්තෙමි.

ප්‍ර – ඔබ දැන් මොනවද කරන්නෙ?

මම දැන් බවර් මීඩියා කියල සමාගමක අලෙවි කළමනාකරුවකු ලෙස සේවය කරනවා.

ප්‍ර – වර්තමානයේදී ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධයක් නැද්ද?

දැන් ක්‍රිකට්වලට කිසිම සම්බන්ධයක් නැහැ. අවසන් වරට 2001-2002 අවුරුද්දෙ මෙහි ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කළා. පසුගිය වසරෙ ශ්‍රී ලාංකිකයන් සහභාගි වූ 40ට වැඩි තරගයකට ක්‍රීඩා කළා. ඉන් පසු ක්‍රීඩා කළේ නැහැ.

ප්‍ර – එදා සහ අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට්වල වෙනස කොහොමද දැනෙන්නෙ?

එදා 96දී ලෝක කුසලානය දිනපු විදියයි ඒකට ලෑස්ති වෙච්ච විදියයි බලපුවාම ඒ ටීම් එකේ එක දිගට අවුරුදු 3-4ක් එකට ක්‍රීඩා කරපු කට්ටිය හිටිය. අපිට ගොඩාක් අත්දැකීම් තිබුණ. ඉස්සරට වැඩිය දැන් එක් දින තරග වැඩියි. එදා අපේ ආරම්භක පිතිකරුවන් වූ සනත්ටයි කලූටයි කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. අපි ඒ දෙන්නට ඕන දෙයක් කරන්න දීල තිබුණෙ. එදා අපේ මැද පෙළ පිතිකරණය හරිම ශක්තිමත්. අත්දැකීම් ඇති පිතිකරුවන් පස්දනෙක්ම හිටියා. ඉන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් හොඳට ක්‍රීඩා කරනව කියල අපි දැනගෙන හිටියා. දැන් ටීම් එකේ නැත්තෙ ඒකයි. ඇන්ජිලෝගෙන් පස්සෙ අපි අමාරුවෙ වැටෙනවා. එදා 96දී අවසන් මහා තරගයේදී මමත් අරවින්දත් කතාකර ගෙන මම වේගෙන් ගැහැව්ව. හැබැයි එදා අරවින්ද හිටපු රිදම් එකේ හැටියට එයා ඕවර 50ම බැට් කළොත් අපි දිනනවා කියල මම දැනගෙන හිටියා.

ප්‍ර – එම ජයග්‍රාහී ලෝක කුසලානයෙන් පසුව එක් වරම සමුගත්තේ ඇයි?

නැහැ. ඊට පසුව මාස 6ක් මම ක්‍රීඩා කළා. ඒ අවුරුද්දෙම නොවැම්බර් මාසෙ මෙහි ආවෙ. එවකට ක්‍රිකට් බෝඩ් එකත් එක්ක ගොඩක් ප්‍රශ්න තිබුණ එකත් එන්න හේතුවක් වුණා.

ප්‍ර – ඒවා පෞද්ගලික ප්‍රශ්නද?

නැහැ. ඒ ක්‍රිකට් දේශපාලනය තවම ක්‍රිකට් බෝඩ් එක ඇතුළෙ තියනවා. හේතුව තමයි මම මාධ්‍යයට ප්‍රකාශයක් කළා කියල මට දඩ මුදලක් නියම කළා. ඒ ගැන කිසිම විභාගයක් නොකර මට කතාකරන්න අවස්ථාවක් නොදී එහෙම දඬුවමක් දුන්නේ. මට කෝල් කරලා කිව්වා “ඔයාගේ සංචාරයේ ආදායමෙන් 50%ක මුදලක් කැපුවා” කියලා. දැන් ක්‍රිකටර්ස්ලා පත්තරවලට කියන දේවල්වල විදියට ඒගොල්ලො ක්‍රිකට් ගහන එක නවත්වන්න ඕන. සෙලෙක්ටර්ස්ලා ජෝකර්ස්ලා කියලා එදා මාවන් කිව්වා. ඒත් මොනවත් දඬුවමක් දුන්නේ නැහැ.

ප්‍ර – ඔබ කියන්නේ සංගක්කාර මෑත කාලයේදී කළ ප්‍රකාශත් ඇතුළුවද?

මම ඒ ගැන සංගක්කාරට උදවු කරනවා. මට එයා සිඩ්නිවලදී හමුවෙච්ච වෙලාවෙදී ඒ විදියට කතා කරපු එක ගැන අගය කළා. එයා එහෙම බෝඩ් එකේ අයට විරුද්ධව හිටගෙන ඉන්න එක ගැන අගය කරන්න ඕන. මොකද එයා විවෘතව බය නැතිව කතා කරන එක හරි. මම මෙහෙට ආවට පස්සේ දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩා කරමින් හිටියේ. නිව්සීලන්ඩ් ක්‍රිකට් ටුවර් එකට තෝරලා එයාලා මට කිව්ව දවසකට හරි ලංකාවට ඇවිත් යන්න කියලා. මම කිව්වා “මෙහෙ ඉඳලා නිව්සීලන්ඩ්වලට පැය තුනයි යන්නෙ පැය 24කට ඇවිල්ලා යන්නේ මොකටද කියලා” ඒත් මට එන්න කිව්වා. මටත් ඇතිවෙලයි හිටියේ. මගේ පෞද්ගලික හේතු කියලා මම විශ්‍රාම යෑම ප්‍රකාශ කළා. අවුරුදු 12ක් රට වෙනුවෙන් ක්‍රීඩා කළා. දැන් බැලුවහම කිසිම දුකක් නැහැ.

ප්‍ර – එදයි අදයි ලෝක කුසලානයට ආපු ලංකාවේ කණ්ඩායම්වල වෙනස මොකක්ද?

අද කාලේ කණ්ඩායම සමඟ තවත් 25ක් විතර යනවා. එදා එහෙම නැහැ. අපිට භෞත චිකිත්සකයන් හිටියේ නැහැ. අපිමයි ෆිට්නස් කරන්නේ. ඒවා අද හොඳ පැත්තට වෙනස් වෙලා. ක්‍රීඩකයන්ගේ නිපුණත්වය බැලුවහම 96දී පිතිකරණය ඉතා ශක්තිමත්. එදා හත්දෙනාට තිබුණ නිපුණත්වය හා ශක්තිය අද කණ්ඩායමේ හත් දෙනකුට නැහැ. හැබැයි දැන් කණ්ඩායමේ ඉන්න තුන්දෙනෙක් ලෝකෙ ඉහළින්ම ඉන්නවා. ඒ කුමාර, මහේල හා ඩිල්ෂාන්. ඒ තුන්දෙනාට උදවු කරන්න පහළ මට්ටමේ ශක්තිය මදි. එදා පිතිකරුවන් හත්දෙනා අතර තුන් ඉරියව් ක්‍රීඩකයෝ දෙන්නෙක් හිටියා. අද පන්දු යැවීම ගත්තොත් මාලිංගගේ උදව්වට ඉන්න වේගපන්දු යවන්නන් මදි කියලා හිතෙනවා. පසුගිය ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී දඟ පන්දු යවන්නන් යොදාගත්තා වැඩියි. ඒත් දුෂ්මන්ත චමීර වගේ පන්දු යවන්නෙක් ලංකාවට අවශ්‍යයි කියලා මා හිතනවා.

ප්‍ර – නායකයකු විදියට ඇන්ජිලෝ මැතිව්ස්ගේ භූමිකාව දකින්නේ කොහොමද?

මම හිතන්නේ නායකයකු හැටියටත්, ක්‍රීඩකයකු හැටියටත් ඇන්ජිලෝ සාර්ථකයි. ඔහු ක්‍රීඩකයකු හැටියට පසුගිය අවුරුද්දේ හොඳට කළා. ඔහු වැඩියත්ම පන්දු යවන්නේ නැතිව ආරක්‍ෂා කරගෙන පාවිච්චි කළොත් තුන් ඉරියව් දක්‍ෂතාවලින් අපට ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. කොහොම වුණත් ඇන්ජිලෝ ගැන ටෙස්ට් කරන්න හැකි වෙන්නේ කුමා හා මහේල විශ්‍රාම යෑමෙන් පසුවයි.

ප්‍ර – අද කණ්ඩායමේ සහායට ඉන්න පුහුණුකරුවෝ ප්‍රමාණය ගැන ඔබ කතා කළා නේද?

ඔව්. අද කාලේ තරග තිබෙන විදියට එහෙම සහායක පිරිසක් අවශ්‍යයි. ඒත් මෙච්චරම ගොඩක් ඕනද කියලා මටත් ප්‍රශ්නයක්. කෙටි කාලයක් සඳහා දඟ පන්දු යැවීමට පුහුණු උපදේශකයෙක් ගත්තාට කමක් නැහැ. ෆාස්ට් බෝලින් කෝච් කෙනෙක් හිටියට කමක් නැහැ. බැටින් කෝච් කෙනෙක් ඉන්න ඕන. ෆීල්ඩින් කෝච් කෙනෙක් ඇතුළුව ඒ තුනක් හිටියම ඇති කියලා මම හිතනවා.

ප්‍ර – චමින්ද වාස් හිටියදීම වේගපන්දු යැවීමේ පුහුණු උපදේශකයෙක් ගෙනාව. ඒක සෑහෙන ප්‍රශ්න ඇතිකිරීමට හේතුවක් වෙලා තියෙනවා නේද?

ඔව් ඒක ලොකු ප්‍රශ්නයක්. එතැනදී චමින්ද වාස්ට සලකපු විදිය හරිම කැතයි. ලෝක කුසලානයට පෙර අපි නවසීලන්ත තරගාවලියේදී පැරදිච්ච හැම එකම වාස්ගේ වැරදි විදියට පටවන්නයි උත්සාහ කළේ. මම හිතන්නේ ඒක හරිම වැරදි වැඩක්. අපේ ක්‍රීඩකයෝ නවසීලන්තයේදී ගොඩක් උඩපන්දු අත්හැරියා. අපි මේ වර්ල්ඩ් කප් එකේදීත් මෙවැනි වැරදි දැක්කා.

ප්‍ර – සංගා හා මහේල සමුගත්තේ හරි කාලෙදී කියලා හිතෙනවද?

ඒගොල්ලො තමයි ඒක දන්නේ. විශ්‍රාම යැම ගැන කාටවත් දිනයක් කියන්න බැහැ. දෙන්නගේම පවුලේ කටයුතු වැඩි කාලේ නිසා එහෙම තීරණයක් ගන්න ඇති. දෙන්නගෙම වයස 38ක් වෙනවා. තව අවුරුද්දක් ගහලා ෆේල් වුණොත් අර ඉස්සර කරපු ඔක්කොම කාටත් අමතක වෙනවා. මට පේන විදියට කුමායි, මහේලයි හරි වෙලාවට යන්නෙ.

ප්‍ර – එදා ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෙච්ච දේවල් අදත් වෙනවා කියලද ඔබ කියන්නේ?

මම හිතන්නේ නැහැ වෙනස් වෙලා කියලා. වාස්ගෙ ප්‍රශ්නෙට වුණත් බෝඩ් එක මැදිහත් වෙලා කටයුතු කරන්න තිබ්බා. අපේ තීරණ අනුව ක්‍රීඩා කරන්න බැරි නම් ක්‍රීඩකයන්ට යන්න කියලා කියන්න තිබුණා. මේ වගේ රටවල ඔහොම දේවල් වෙන්නෙ නැහැ. අද බලන්න ෆීල්ඩින් කෝච්ට විදේශිකයෙක් ගෙනාවත් ඒ අංශය දියුණුවෙලා නැහැ. කල්පගේ තවම හිටියා නම් ඔහු හොඳ නැහැ කියලා මෙලහකටත් එළියට යවලා. දැන් බලන්න අපේ ක්‍රීඩකයන් ආබාධ වුණාම මැද පෙළට ගෙනාපු ඔක්කොම ආරම්භක පිතිකරුවෝ. ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. ඒකෙන් පේන්නෙ කුමායි, මහේලයි ගියාම මැදපෙළ ප්‍රශ්නය උග්‍රවන බවයි.

ප්‍ර – ක්‍රිකට් නිලවරණය ළඟයි. ඒ ගැන ඔබ දැනුවත්ද?

මම හිතන්නේ ඒ අයට ඔය ඡන්දෙ නිසා වර්ල්ඩ් කප් එකත් අමතක වෙලා හිටියා වගෙයි. දැනටම කණ්ඩායම් දෙක තුනකට බෙදිලලු. මම හිතන්නේ ක්‍රීඩා පනත වෙනස් කරලා ක්‍රිකට් පරිපාලනය වෙනස් කරන්න ඕන. කිසිම දේශපාලනඥයකුට ක්‍රිකට් සභාපති තනතුර දෙන්න හොඳ නැහැ.

ප්‍ර – අනාගතයේදී ලංකාවට ඇවිල්ලා ක්‍රිකට්වලට සේවයක් කරන්න ආරාධනාවක් ලැබුණොත්?

කවුද දන්නේ? එහෙම කවදාවත් මම නැහැ කියන්නේ නැහැ. කොහොම වුණත් මගේ පවුලටත් ගෙදර ලංකාවයි. පුතාට අවුරුදු 26යි දුවට 22යි. පුතා නම් ක්‍රිකට් ගහන්නෙ නැහැ. අප්‍රේල් 30 ඡන්දයෙන් පසුව දිනන කට්ටිය බලලා මම මොනවා කරනවද කියලා තීරණයක් ගන්නවා.

ප්‍ර – ඒක මොනවගේ සේවයක් වෙයිද?

ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය පැත්ත භාර අරගෙන වැඩ කරන්න මම කැමැතියි. පාසල් මට්ටමේ සිට ක්‍රිකට් සංවර්ධන කටයුතු කළ යුතුයි කියන තැන මම ඉන්නවා.