පොලිසියේ ජයග්‍රහණ පිපාසාව සංසිඳේ

471

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන අදියර යටතේ පොලිස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර අද (27) කොළඹ පොලිස් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 18-12ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

ප්‍රතිවාදීන් අවසන් මොහොතේත් තරගයේ රැඳවූ පොලිස් සහ CH මෙහෙයුම

ඩයලොග් රග්බි ලීගයේ අවසන් මහා තරගයට සති තුනකට පෙර සතියේදී මහනුවරට වැඩිම …

පසුගිය සතියේ පැවති තරගවල දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ප්‍රබල යුද හමුදා ක්‍රීඩා සමාජය පරාජයට පත්කිරීමට සමත් වූ අතර අනෙක් පසින් පොලිස් ක්‍රීඩා සමාජය සහ ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර පැවති තරගය ජයග්‍රහණය කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය ඉතා ආසන්නයට පැමිණියත්, මතභේදාත්මක තීරණයක් හේතුවෙන් එම තරගය ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය. ඒ අනුව මෙම කණ්ඩායම් දෙකම දක්ෂතා අතරට පැමිණීම හේතුවෙන් මෙම තරගය ඉතා උණුසුම් තරගයක් වනු ඇති බවට අනුමාන කෙරිණ.

තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයකින් අනතුරුව පොලිස් ක්‍රීඩා සමාජයට දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර එය ලබාගත් සංදේශ් ජයවික්‍රම පන්දුව පහසුවෙන් ගෝල රාමුව තුළින් යොමු කරමින් තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය. (PSC 03 – 00 AFSC)

ඉන් අනතුරුව පොලිස් ක්‍රීඩා සමාජය අවස්ථාවන් කිහිපයක දී ම උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට ඉතා ආසන්නයට පැමිණියත්, උත්සාහක දිනුම් කලාපය ආසන්නයේ ඔවුන් අතින් සිදු වූ අත්වැරදීම් සහ ගුවන් හමුදා ක්‍රීඩකයින්ගේ දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය නිසා එම අවස්ථාවන් සාර්ථක කර ගන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැත.

පසුව ක්‍රියාත්මක වූ ගුවන් හමුදා ක්‍රීඩකයින් පන්දුව උත්සාහක දිනුම් කලාපය ආසන්නයට රැගෙන ගිය අතර එහි දී පන්දුව ලබාගත් ගයන්ත ඉද්දමල්ගොඩ එය ඉතා උපක්‍රමශීලීව රුමේෂ් රාම්දාස් වෙත බාර කරන ලදි. ඒ අනුව රුමේෂ් විසින් පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට සමත් විය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට එය ලබාගත් චරිත් සෙනෙවිරත්න සමත් වූයේ නැත. (PSC 03 – 05 AFSC)

වසරේ රග්බි ක්‍රීඩකයා ඉසිපතනයේ චමෝද් ප්‍රනාන්දු

පාසල් රග්බි සම්මේලනයත්, අධ්‍යාපන අමාත්‍යංශයත්, සිංගර් ශ්‍රී ලංකා ආයතනයත් එක්ව සංවිධානය කරන …

අනතුරුව පොලිස් ක්‍රීඩා සමාජය පිට පිට උත්සාහක දිනුම් 2ක් වාර්තා කර ගනිමින් තරගයට අවතීර්ණ වන්නට සමත් විය. එහි දී පළමු අවස්ථාවේ දී සංදේශ් ජයවික්‍රම විසින් සුරංග කසුන් වෙත පිටියේ මැද භාගයේ දී පන්දුව බාර කළ අතර ගුවන් හමුදා ක්‍රීඩකයින් අතර තිබූ හිඩැස් හරහා ඉතා මැනවින් පන්දුව රැගෙන ගිය ඔහු ඉතා විශිෂ්ට උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය.

අනතුරුව ඊළඟ අවස්ථාවේ දී පන්දුව හොඳින් හුවමාරු කර ගනිමින් ඉදිරියට රැගෙන ගිය ඔවුන් අවසානයේ එය වජීඩ් ෆවුමි වෙත බාර කළ අතර ඔහු පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යාමට සමත් විය. එහි දී ලැබුණු පළමු ප්‍රවර්තන අවස්ථාව සංදේශ් විසින් සාර්ථක කර ගනිද්දී දෙවන අවස්ථාව අසාර්ථක විය.

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 15 – 05 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබාගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් එය ප්‍රවර්තනය කර ගැනීමට සමත් විය. එහි දී ඉෂාර මදුෂාන් විසින් පොලිස් ක්‍රීඩකයින් අතර තිබූ හිඩැස් හරහා පන්දුව ඉදිරියට රැගෙන යමින් එය නුවන් පෙරේරා වෙත බාර කළ අතර ඔහු උත්සාහක දිනුම වාර්තා කර ගන්නා ලදි. අනතුරුව එය ප්‍රවර්තනය කර ගනු ලැබුවේ චරිත් පෙරේරා විසිනි. (PSC 15 – 12 AFSC)

අනතුරුව පොලිස් ක්‍රීඩා සමාජයට දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර එය පහසුවෙන් සාර්ථක කර ගැනීමට සංදේශ් සමත් විය. (PSC 18 – 12 AFSC)

පසුව ගුවන් හමුදා ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක් දැරුවත් එය සාර්ථක වූයේ නැත. එහි දී ගුවන් හමුදා ක්‍රීඩකයින් උත්සාහක දිනුම් කලාපය ආසන්නයේ පන්දුව හැකි තරම් හුවමාරු කරමින් පොලිස් ක්‍රීඩකයින් අතර හිඩැසක් සොයා ගැනීමට උත්සාහ දැරුවත්, එහි දී පොලිස් ක්‍රීඩකයින් අනුගමනය කළ දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය හමුවේ ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැත.

‘Center’ ස්ථානයෙන් ‘Number 8’ වලට මාරු වුන බුවනෙක උඩන්ගමුව

මධ්‍යම කඳුකරයේ අගනගරය වන මහනුවරින් රග්බි ක්‍රීඩාවට පිවිසෙන බුවනෙක ‘බුවා’ උඩන්ගමුව …

අනතුරුව තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ පොලිස් ක්‍රීඩකයින් පන්දුව තමන් සතුව රඳවා ගනිමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට තරගය ජයග්‍රහණය කිරීම සඳහා තිබූ අවස්ථාවන් අවහිර කරන්නට සමත් විය. ඒ අනුව ඉතා උණුසුම් තරගයකින් අනතුරුව මෙම තරගය ජයග්‍රහණය කළ පොලිස් ක්‍රීඩා සමාජය තරගාවලියේ සිය පළමු ජයග්‍රහණයට හිමිකම් කියන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: පොලිස් ක්‍රීඩා සමාජය 18 (2T 2P 1C) – 12 (2T 1C) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare තරගයේ වීරයා – සංදේශ් ජයවික්‍රම (පොලිස් ක්‍රීඩා සමාජය)

ලකුණු ලබා ගැනීම

  • පොලිස්  ක්‍රීඩා සමාජය – සුරංග කසුන් 1T, වජීඩ් ෆවුමි 1T, සංදේශ් ජයවික්‍රම 1C 2P
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – රුමේෂ් රාම්දාස් 1T, නුවන් පෙරේරා 1T, චරිත් සෙනෙවිරත්න 1C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<