ඉන්දීය තරඟ සංචාරයට නවක මුහුණු

118

මෙවර ඉන්දීය සංචාරයේ පළමු එක්දින තරඟ 3 සඳහා නම්කළ 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට නවක ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් කිරීමට ජාතික තේරීම් කමිටුව කටයුතු යොදා තිබේ. ඒ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල යි.

මුදල් ගෙවීම් සම්බන්ධව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය හා ඔවුන්ගේ ක්‍රිකට් පරිපාලනය අතර හටගත් අර්බුදයක් හේතුවෙන් අතරමග නවතා දැමූ ඉන්දීය තරඟ සංචාරයේ අඩුව පිරවීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ඔක්තෝබර් මස අගදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ හා නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ කැපීපෙනෙන ක්‍රීඩකයින් වූ අතර දික්වැල්ල දකුණු අප්‍රිකානු හා පාකිස්ථානු කණ්ඩායම් වලට එරෙහිව ටෙස්ට් වරම් දිනාගන්නා ලදී. ඔහු මේ දක්වා ටෙස්ට් තරඟ 3 කට සහභාගී වී තිබේ.

26 හැවිරිදි ළහිරු ගමගේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දේශීය පළමු පෙළ තරඟාවලියට සහභාගී වන අතර ශ්‍රී ලංකා ඒ සංචිතය වසර ගණනාවක් නියෝජනය කර තිබේ. එහිදී දැක්වූ දක්ෂතා මත පසුගිය පාකිස්ථානු ටෙස්ට් තරඟාවලියේදී ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කඳවීම් ලබූව ද අවසන් 11 දෙන අතරට එක්වීමේ වරම් නොලැබීය.

දකුනතින් වේග පන්දු යවන ගමගේ සිය උස ප්‍රයෝජනයට ගෙන තණතිල්ලේ සහයද ඇතිව ඉතා හොඳ ඉල්පීමක් ලබාගත හැකි ක්‍රීඩකයෙක් බැවින් ලබන වසර මුල ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ඉලක්ක කර හොඳින් දස්කම් දැක්වීමට ඔහුට මෙය කදිම අවස්ථාවකි.

මෙම එක්දින තරඟාවලිය සඳහා නම්කළ සංචිතයට ළහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල් ඇතුලත් නොවීම කැපී පෙනේ. ආබාධයකට ලක්ව සිටින ලසිත් මාලිංග වෙනුවට ළහිරු ගමගේ සංචිතයට එක්වන අතර රංගන හේරත් විවේක ගැන්වීම හේතුවෙන් චතුරංග ද සිල්වා කැඳවා තිබේ. ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය කළවයේ ඇතිවූ ආබධය සුවවීමෙන් අනතුරුව නැවතත් ශ්‍රී ලංකා සංචිතයට එක්වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා සංචිතය:

 

ඇන්ජලෝ මැතිව්ස් (නායක )
කුසල් ජනිත් පෙරේරා
ටී.එම්.ඩිල්ෂාන්
උපුල් තරංග
කුමාර් සංගක්කාර
මහේල ජයවර්ධන
අශාන් ප්‍රියන්ජන්
නිරෝෂන් දික්වැල්ල
තිසර පෙරේරා
නුවන් කුලසේකර
ධම්මික ප්‍රසාද්
ළහිරු ගමගේ
චතුරංග ද සිල්වා
සීක්කුගේ ප්‍රසන්න
සුරාජ් රන්දිව්