අවසන් පන්දු වාරයේ ප්‍රහාරයෙන් ඉන්දියාව සටනට පා තබයි

447

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඇඩිලේඩ් ක්‍රිකට් පිටියේ දී පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජය ගත් විරාත් කෝලී ප්‍රමුඛ ඉන්දියාව තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට අද (15) සමත් විය.

>>ඉන්දීය කණ්ඩායමේ වෙහෙස වතුරේ යයි

ඇඩිලේඩ් ක්‍රිකට් පිටියේ පැවැත්වුණු මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ ෆින්ච් හා ඇලෙක්ස් කේරි යුගලයම ඔවුන්ගේ ලකුණු සටහන ලකුණු 26ක් ලෙස දැක්වෙද්දී පිටියෙන් ඉවත් කිරීමට ඉන්දියානු වේගපන්දු යවන්නන් සමත් විය.

ඉන්පසුව පිටියේ එක්වූ වමතින් පිත්ත හසුරුවන උස්මාන් කවාජා හා ශෝන් මාෂ් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවන ලදි. එම සබඳතාවය නිමා වූයේ 4 ප‍හර 3ක් සමඟ ලකුණු 21ක් ලබා සිටි කවාජාගේ දැවී යාමත් සමඟයි. ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් හට ඔල්වරසන් දීමට හැකි ආකාරයෙන් පන්දුවට පහර දුන් මැදපෙළ වමත් පිතිකරුවෙක් වන ශෝන් මාෂ් සිය එක්දින ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 6වන ශතකය වාර්තා කර ගත්තේ ඉතාමත් දක්ෂ පිතිකරණයක නිරත වෙමිනි.

පන්දු 123ක් තුල මාෂ් ලබාගත් ලකුණු 131ක ඉනිම සඳහා 4 පහර 11ක් හා 6 පහර 3ක් අන්තර්ගත වූ අතර පීටර් හෑන්ඩ්ස්කොම්බ්, මාර්කස් ස්ටෝනිස් පිළිවෙළින් ලකුණු 20කට හා ලකුණු 29කට දැවී යාම නිසා ඕස්ට්‍රේලියානු මැදපෙළ තරමක් දුරට බිඳ වැටුණු නමුත් මාෂ් හා එක්වූ මැක්ස්වෙල් එම බිඳ වැටීමේ පාඩුව තරමක් දුරට අවම කළේය. මැක්ස්වෙල් හා මාෂ් තරගයේ 47 වැනි පන්දු වාරය තුල දවා ගැනීමට බුවනේශ්වර් කුමාර් සමත් විය. අවසානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 298ක් ලබා ගත්තේය.

>>අකිල යළිත් දස්කම් අතරට

පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා බවට පත්වූ බුවනේශ්වර් කුමාර් හා මොහොමඩ් ශමි යන වේගපන්දු යවන්නන් පිළිවෙළින් කඩුලු 4ක් හා කඩුලු 3ක් දවා ගන්නා ලදි.

ලකුණු 299ක ඉතාමත් හොඳ තරගාකාරී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ ශිකර් ධවාන් හා රෝහිත් ශර්මා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක ඉතාමත් හොඳ සබඳතාවයක් ගොඩනැංවිය. ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 32ක් ලබා සිටි ධවාන් දැවී ගියේය.

ඉන්දීය කණ්ඩායම මේ තරගය ජය ගත යුතුම තරගයක් බවට පත්වූයේ යම් හෙයකින් මේ තරගය පරාජය වුවහොත් තරගාවලි පරාජයකට මුහුණ දීමට ඉන්දීය කණ්ඩායමට සිදු වන නිසාවෙනි. ඒ නිසා නායකත්වයේ වගකීම නැවත වතාවක් පිතිකරණයෙන් ලබා ගත් කෝලී 4 පහර 5ක් හා 6 පහර 2ක් සමඟ සිය එක්දින ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 38 වැනි ශතකය වාර්තා කරගත්තේය. ඉන්දීය ඉනිමේ සෑම කඩුල්ලකට පාහේම ඉතාමත් හොඳ ලකුණු සබඳතාවයන් වාර්තා වූ නිසා ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් ලැබුණු මේ ඉලක්කය සාර්ථක ලෙස හඹා යන ලදි.

>>අශාන් සහ ඇන්ජෙලෝගෙන් ශ්‍රී ලංකාවට පොඩි සහනයක්

පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ලකුණු 47 සබඳතාවයට අමතරව වාර්තා වූ ඉතිරි සබඳතාවයන් 4ම ලකුණු 50 සීමාව පසුකොට යාම මඟින් ඉන්දීය කණ්ඩායමේ පිතිකරණ බල ඇණියේ සවිය පිළිබඳව දල අවබෝධයක් ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත. තරගයේ අවසන් පන්දු වාරයේ දී ලකුණු 7ක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායමට නියමිතව තිබූ අතර මහේන්ද්‍ර සිං දෝනි හා දිනේෂ් කාර්තික් එම ඉලක්කය සාර්ථකව හඹා යන ලදි. ඉනිමේ මැදපෙළ සවිමත් කිරීමේ  තවත් ප්‍රධාන පුරුකක් වූ දෝනි සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබාගත් 69 වැනි අර්ධ ශතකය සපුරා ගත්තේ 6 පහර දෙකක් පමණක් එල්ල කරමින් වීම සුවිශේෂී වේ.

පන්දු යැවීමේ දී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් කිහිප දෙනෙක් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඕස්ට්‍රේලියාව – 298/9 (50): ශෝන් මාෂ් 131, ග්ලෙන් මැක්ස්වෙල් 48, මාර්කස් ස්ටෝනිස් 29, බුවනේශ්වර් කුමාර් 4/45, මොහොමඩ් ශමි 3/58.

ඉන්දියාව – 299/4 (49.2): විරාත් කෝලී 104, මහේන්ද්‍ර සිං දෝනි 55*, රෝහිත් ශර්මා 43, ශිකර් ධවාන් 32,

තරගයේ වීරයා – විරාත් කෝලී (ඉන්දියාව)

දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක හා අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ මස 18 වැනිදා මෙල්බර්න් හිදී පැවැත්වේ. එහි තරග තොරතුරු ද ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<