ඉසිපතනය, විද්‍යා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක් අවසන් වටයට

673

පාසල් රග්බි සංගමය, මයිලෝ ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 16න් පහළ එක පිළකට ක්‍රීඩකයින් 15ක් වන අන්තර් පාසල් පළමු පෙළ රග්බි තරඟාවලියේ අවසන් පූර්ව තරඟ අද (25) කොළඹ තුරඟ තරඟ පිටියේ දී පැවැත්විණි. එහිදී විද්‍යා විද්‍යාලය , ඉසිපතන, ඩී. එස් සේනානායක, තර්ස්ටන්, මලියදේව, පිළියන්දල මධ්‍ය විද්‍යාලය , සහිරා හා ලලිත් ඇතුළත්මුදලි යන විද්‍යාලයන් ජයග්‍රහණ ලබාගෙන අවසන් වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි.

ලුම්බිණි – ධර්මරාජ උණුසුම් සටනේ ජය ධර්මරාජයට

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය, මයිලෝ ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව සංවිධානය කරනු ලබන, එක් පිලකට ක්‍රීඩකයන් පහළොස් දෙනා…

  • ශුරතා කුසලාන අවසන් පූර්ව තරඟ

විද්‍යා විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය

මෙම තරඟ වටය සඳහා පාසල් 4ක් සුදුසුකම් ලබාගෙන තිබූ අතර, එහිදී ගල්කිස්ස විද්‍යා විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය පළමු අවසන් පූර්ව තරඟය සඳහා සහභාගි විය. එම තරඟයේ පළමු අර්ධය තුළ දෙපිළම කරට කර සටනක නිරත වූ අතර, දෙවන හා අවසන් අදියරේ දී විද්‍යා විදුහල් ක්‍රීඩකයින් දක්ෂ ලෙස ක්‍රීඩා කරන ලදි.

අවසන් තරඟ ප්‍රතිඵලය : විද්‍යා විද්‍යාලය 20 – 05 කිංග්ස්වුඩ්


ඉසිපතනය හා ධර්මරාජ විද්‍යාලය

ඉසිපතන කණ්ඩායම තරඟයේ පළමු අර්ධයේ සිටම ප්‍රතිවාදී ධර්මරාජ ක්‍රීඩකයින් හට ප්‍රබල අභියෝගයක් වෙමින් සුපුරුදු පරිදි ක්‍රීඩා කරන ලදි. එහිදී ඔවුන් දඩුවම් ප්‍රහාරයක් සාර්ථක කරගෙන ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර, ධර්මරාජ විද්‍යාලයට පළමු අර්ධය තුළ කිසිඳු ලකුණක් ලබාගැනීමට ඉසිපතන ක්‍රීඩකයින් ඉඩ ලබාදුන්නේ නැත. තරඟයේ දෙවන හා අවසන් අර්ධය නිමා වීමට මොහොතකට පෙරාතුව ලකුණු පුවරුව 35 – 00ක් ලෙස දිස්විය. අවසන් මොහොතේ දී ධර්මරාජ විද්‍යාලය උත්සාහක දිනුමක් හා එහි ප්‍රවර්තන සාර්ථක කරගෙන තරඟය අවසන් කරන ලදි.

අවසන් තරග ප්‍රතිඵලය : ඉසිපතන විද්‍යාලය 35 – 07 ධර්මරාජ විද්‍යාලය  


  • පළඟ කුසලාන අවසන් පූර්ව වටය

ඩී. එස්. සේනානායක විද්‍යාලය හා සාන්ත ජෝන් විද්‍යාලය නුගේගොඩ

මෙම තරඟය අද දිනය තුළ පැවැත්වූ තරඟ අතරින් ඉතා උණුසුම්කාරී ස්වරූපයක් ඉසිලීය. තරඟයේ පළමු අර්ධය දෙපිළම සම ලකුණු මට්ටමක් ලබාගෙන සිටියදී අවසන් වූ නමුත්, තරඟයේ අවසාන අර්ධය තුළ තම ජවය තරකරගත් ඩී. එස්. සේනානායක විද්‍යාලය තරඟයේ ජයග්‍රහණය හිමිකරගෙන ලුම්බිණි විද්‍යාලය සමඟින් එළඹෙන සතියේ පැවැත්වීමට නියමිත අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් සපුරාගත්තේය. මෙහිදී ගාල්ල රිච්මන්ඩ් පිළ පිටියට නොපැමිණීම නිසා ලුම්බිණි විද්‍යාලය නිතරඟයෙන්ම අවසන් තරඟයට පිවිසීම සඳහා  අවස්ථාව උදාකරගත්තේය.

අවසන් තරඟ ප්‍රතිඵලය : ඩී. එස්.සේනානායක විද්‍යාලය 12 – 10 සාන්ත ජෝන් විද්‍යාලය

  • බඳුන කුසලාන අවසන් පූර්ව වටය

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වූ මෙම තරඟය ලකුණු 8 – 10ක් ලෙස ජයග්‍රහණය කිරීමට තර්ස්ටන් විද්‍යාලයට හැකිවිණි. වෙස්ලි විද්‍යාලය නිතරගයෙන්ම අවසන් මහා තරඟයට පිවිසියේය.

  • පලිහ කුසලාන අවසන් පූර්ව වටය

කුරුණෑගල මලියදේව විද්‍යාලය ලකුණු 20 – 00ක් ලෙස කොළඹ නාලන්දා විද්‍යාලය පරාජය කරමින් මෙම තරඟයේ ජය තහවුරු කරගත්තේය. ඊට කොළඹ මහානාම විද්‍යාලය හා පිළියන්දල මධ්‍ය විද්‍යාලය අතර පැවැත්වූ තරඟය ලකුණු 19 – 07ක් ලෙස ජයග්‍රහණය කළ පිළියන්දල මධ්‍ය විද්‍යාලය, මලියදේව විද්‍යාලය සමඟින් පලිහ කුසලාන අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

  • පීරිසි (SAUCER) කුසලාන අවසන් පූර්ව වටය

ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම ලකුණු 41 – 00ක් ලෙස පරාජය කළ මරදාන සහිරා විද්‍යාලයට දැවැන්ත ජයග්‍රහණයක් හිමිවිය. මෙම කුසලානයට සමගාමීව පැවැත්වූ අනෙක් තරඟය වන ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විද්‍යාලය හා කොළඹ අශෝක විද්‍යාලය අතර පැවැත්වූ තරඟයේදී ලකුණු 15 – 10ක් ලෙස තරඟයේ පෙරමුණ ගත් ලලිත් ඇතුළත්මුදලි විද්‍යාලය සහිරා විද්‍යාලය සමඟින් මෙහි අවසන් මහා තරඟයේ තමාට හිමි ස්ථානය වෙන් කරගත්තේය.

මෙම එක් එක් කුසලාන වල අවසන් මහා තරඟ ලබන ඔක්තෝබර් මස පළමු වැනිදා පැවැත්වීමට නියමිත අතර, තරඟ පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් නිශ්චිතව මේ වන තෙක් තහවුරු කර නැත.

ශුරතා කුසලානය අවසන් තරඟය

  • ඉසිපතන විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය (සවස 5.30)

පළඟ කුසලාන අවසන් තරඟය

  • ලුම්බිණි විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය (සවස 4.30)

බඳුන කුසලාන අවසන් තරඟය

  • තර්ස්ටන් විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය (සවස 3.30)

පලිහ කුසලාන අවසන් තරඟය

  • මලියදේව හා පිළියන්දල මධ්‍ය විද්‍යාලය (සවස 2.30)

පීරිසි (SAUCER) කුසලාන අවසන් තරඟය

  • සහිරා විද්‍යාලය හා ලලිත් ඇතුළත්මුදලි විද්‍යාලය (සවස 1.30)