“අඩුම තරමේ පදක්කම් පහක්වත් දිනා ගන්න තිබ්බා.” – ක්‍රීඩා ඇමති

17

පසුගිය සතියේ නිමාව දුටු 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය පුරා දින 4ක් පුරාවට කටාර් හී බර්ජ් අල් කලීෆා ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණු අතර තරගාවලිය පිළිබඳ ඉහළ බලාපොරොත්තු රැසක් තබා ගනිමින් එහි ගිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට එක් ලෝකඩ පදක්කමකින් පමණක් සෑහීමට පත්වීමට සිදුවීම කැපී පෙණුනි.

දිවයිනට පැමිණි අප කණ්ඩායම ඊයේ දිනයේ දී (2) ගරු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මුණගැසී ශූරතාවලිය තුල තමන් ලද අත්දැකීම් සහ ඉදිරියේ දී අපේක්ෂිත ජයග්‍රහණයන් සාක්ෂාත් කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ සුහද සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකා පදක්කම් සිහිනය විදූෂා යථාර්ථයක් කරයි

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ තුන්වැනි දිනය ………

මෙවර ශූරතාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15දෙනෙකුගෙන් සමන්විත වූ අතර ඉන් තරගකරුවන් 11දෙනෙකු කේවල ඉසව් සඳහාත්, ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු මීටර් 400 සහය දිවීමේ ඉසව්ව සඳහාත් තරග වැදුණි.

මේ අතරින් තමන් සහභාගී වූ කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් මීටර් 13.53ක දක්ෂතාවක් සටහන් කරගනිමින් ආසියානු තලයේ දක්ෂ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම අභිබවා ගිය යොවුන් ක්‍රීඩිකා විදූෂා ලක්ෂානි එම ඉසව්වේ ලෝකඩ පදක්කම් අප මාතෘ භූමියට හිමිකරදීමට සමත් වීම තරගාවලියේ සුවිශේෂීතම සිදුවීම ලෙස හැඳින්විය හැක.

තවද බාධක දිවීමේ ඉසව්වෙහි අපගේ පදක්කම් බලාපොරොත්තුව වූ නිලානි රත්නායක මෙන්ම කාන්තා මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම ද ජයග්‍රහණයේ අභියසටම පැමිණිය ද එදින වාසනාව ඔවුන් සතු නොවූ නිසාවෙන් එම අවස්ථාවන් ඔවුන්ගේ දෑතින් ගිලිහී ගිය නමුත් සහය දිවීමේ කණ්ඩායම හට වසර 20ක් ඉපැරණි ජාතික වාර්තාව බිඳ හෙළීමට හැකි වීම පැසසිය යුතු ජයග්‍රහණයකි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ පැවති සාකච්ඡාවන්ගෙන් අනතුරුව මාධ්‍ය වෙත සිය අදහස් දැක්වූ ගරු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මෙසේ ඒ පිළිබඳ සඳහන් කර සිටියේය.

“ආසියානු ශූරතාවලිය සඳහා සහභාගී වුන අපේ කණ්ඩායමත් එක්ක මම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එතැන දී අපි හැමෝම වැඩි බරක් දුන්නේ වගේම ඉහළ අවධානයක් ලබා දුන්නේ ඉදිරියේ දී ජයග්‍රහණ සංඛ්‍යාව වැඩිකරගන්න අපි කටයුතු කරන්න ඕන ආකාරය පිළිබඳවයි. මේ තරගාවලියේ කාල ඝණනයන් වගේම තරගකරුවන් බොහෝ දෙනෙක් පෙන්වා තිබෙන දක්ෂතා සමාලෝචනය කරොත් පැහැදිලිව පෙනෙන්න තියෙන දෙයක් තමයි අපිට පදක්කම් පහක්වත් අඩුම තරමේ දිනා ගන්න තිබ්බා කියන එක. නමුත් ඉතින් බලාපොරොත්තු වුන ආකාරයේ අවසානයක් කරා යන්න අපිට බැරි වුනා.”

පසුගිය තරගාවලියේ දී එනම් 2017 වර්ෂයේ දී කාන්තා මීටර් 800 ඉසව්වේ ජයග්‍රාහී ක්‍රීඩිකාවන් දෙදෙනා වන ගයන්තිකා අබේරත්න සහ නිමාලි ලියනගේ නැවත වතාවක් ආසියානු ධාවන පථයේ ශ්‍රී ලංකා නාමය ඉහළටම ගෙන යනු ඇතැයි ඉහළ බලාපොරොත්තු ගොන්නක් තබා තිබුනත් අවාසනාවකට මෙන් ඔවුන් දෙදෙනාටම අවසන් තරගයේ දී හිමිකර ගැනීමට හැකි වූයේ 4 සහ 7 වැනි ස්ථානයන් ද්විත්වයයි.

එකක් අරගෙන ගෙදර ආවේ ඇයි ?

23 Photos: 23rd Asian Athletics Championship Day 4 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න ………

වැඩිදුරටත් අදහස් දක්වමින් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳ සිය සැලසුම් ඉදිරිපත් කළ සිටි ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තර තරගාවලීන් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කිරීමට මත්තෙන් ඔවුන්ව සුපිරි සංචිතයකට වර්ගීකරණය කොට පුහුණු කඳවුරු කිහිපයකට සහභාගී කරවීමට අපේක්ෂා කරන බව පවසා සිටියේය.

“දැනට අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව හැරුණු කොට අනෙකුත් ක්‍රීඩාවල ඉහළ මට්ටමේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් ත්‍රිවිධ හමුදාව නැත්තන් ආරක්ෂක අංශ නියෝජනය කරන පිරිස්. ඒ නිසා ඉදිරියේ දී ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ එකතු වෙලා ඔවුන්ගේ ද සහය ඇතිව අපේ රටේ ජාතික මට්ටමේ සෑම ක්‍රීඩා සංචිතයකටම නේවාසික පුහුණු කඳවුරු සංවිධානය කිරීමට අමාත්‍යංශය විදියට අපි බලාපොරොත්තු වෙනවා. දැනට ක්ෂේත්‍රයේ ඉහළ තලයේ ඉන්න තරගකරුවන් සියලු දෙනා එකතු කරලා සුපිරි සංචිතය නමින් හැඳින්වෙන කණ්ඩායමක් නිර්මාණය කරන්නත් ඒ එක්කම අපි අපේක්ෂා කරනවා. ඔවුන්ට දේශීය සහ විදේශීය වශයෙන් පැවැත්වෙන පුහුණු වීම් කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යමය ආධාර ලබා දීම මේකෙන් මූලිකවම සිදු කෙරෙනවා.”

දැනට මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට පුහුණුවීම් සහ තරග වැඳීම සඳහා නිර්මාණය කොට දී තිබෙන ක්‍රීඩාංගණවල පහසුකම් ජාත්‍යන්තරය සමඟ සසඳා බැලීමේ දී සැලකිය යුතු මට්ටමේ වෙනසක් පවතින බවත් එය හැකි ඉක්මනින් අවධානය යොමු කළ යුතු ගැටලුවක් බවත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා මාධ්‍ය සාකච්ඡාව අවසානයේ දී පවසා සිටියේය.

තවද මෙරට ක්‍රීඩාව පාලනය කරන නොයෙකුත් අංශයන්හී අභ්‍යන්තරික වශයෙන් පවත්නා ගැටුම් නිසාවෙන් අප රටේ ක්‍රීඩාව ජාත්යන්තර වශයෙන් විශාල පසුබෑමකට ලක්වී ඇති බව ඔහු සඳහන් කර සිටියේය.

ජාතික වාර්තා අලුත් කරමින් හිරුණි විජේරත්නට රිදී පදක්කම

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලක්මවට ජාත්‍යන්තර …………

“රාජ්‍ය අංශයේ නිලධාරියෙක් විදිහට මට කීයටවත් සතුටු වෙන්න බැහැ අපේ රටේ ක්‍රීඩාව පාලනය කරන්න තේරී පත්වෙලා ඉන්න නිලධාරීන් 90%කගේ ක්‍රියාකලාපය ගැන.”

“ක්‍රීඩා අමාත්‍යංශය විදියට අපි නව පහසුකම් සහිත අංගසම්පූර්ණ ක්‍රීඩාංගණ ඉදිකරමින් වගේම දැනට තිබෙන ක්‍රීඩාංගණවල ගුණාත්මකභාවය ඉහළ නංවන්නට ගන්න පුළුවන් සෑම ඉදිරි පියවරක්ම ගන්න බලාපොරොත්තු වෙනවා. ලබන මාසයේ දී අලුත් ක්‍රීඩාංගණ හයක් ජනසතු කරන්නත්, ඊට අමතරව දියගම ධාවන පථය නැවත අතුරලා වැඩිදියුණු කරන්නත් අපේක්ෂාවෙන් පසුවෙනවා.”

මෙම වසර අවසානයේ දී එනම් දෙසැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ පැවැත්වීමට නියමිත 10 වැනි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හමුවේ ඇති මීළඟ අභියෝගය වන අතර මෙරට තරගකරුවන් 700කට ආසන්න ප්‍රමාණයක් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කර සිටී.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<