යුද හමුදාව සහ රිනවුන් අර්ධ අවසන් පූර්ව වටයට

491

යුද හමුදා කණ්ඩායම ගෝල 4-1ක් ලෙස නාවික හමුදා කණ්ඩායම ද, රිනවුන් SC කණ්ඩායම ගෝල 8-0ක් ලෙස බ්‍රිලියන්ට් SC කණ්ඩායම පරාජයට කරමින් ද 2016/17 FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

B කාණ්ඩයේ ශූරයෝ සෙලින්කෝ ඉන්ෂුවරන්ස්

වෙළඳසේවා පාපන්දු තරගාවලියේ “B” කාණ්ඩයේ තරග දෙකක් සිටි ලීග් පාපන්දු සංකීර්ණයේදී අද (27) පැවැත්විය. එහි දී “B” කාණ්ඩයේ ශූරයින් බවට පත් වීමට සෙලින්කෝ ඉන්ෂුවරන්ස් කණ්ඩායම…

යුද හමුදා කණ්ඩායම – නාවික හමුදා කණ්ඩායම

යුද හමුදා කණ්ඩායම මෙම තරගයට පිවිසියේ ඔවුන්ගේ ඉහළ ගෝල ලබා ගැනීමේ වාර්තාවත්, අපරාජිත වාර්තාවත් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙනි.

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු ගෝලය තම කණ්ඩායමට හිමිකර දෙමින් තරගය ආරම්භ වී මිනිත්තු 9ක් ගෙවී යද්දී ගෝලයක් රැස්කර ගැනීමට යුද හමුදා කණ්ඩායමේ තිවංක චන්ද්‍රසේකර සමත් විය.

මින් අනතුරුව නැවතත් තරගයට අවතීර්ණ වෙමින් පළමු අර්ධය පුරාවට නාවික හමුදා ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩා කිරීමට සමත් විය.

පළමු අර්ධය: යුද හමුදාව 1 – 0 නාවික හමුදාව

දෙවන අර්ධයේ ආරම්භක මිනිත්තු කිහිපයේ දී නාවික හමුදා කණ්ඩායම ගෝල ලබා ගැනීමට අවස්ථා කිහිපයක්ම නිර්මාණය කරගන්නට සමත් වුවත්, ඒවා ගෝල බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් අපොහොසත් විය. තරගයේ 68 වන මිනිත්තුවේ දී නාවික හමුදා කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක අජිත් කුමාර අතින් සිදු වූ අත් වැරදීම ප්‍රයෝජනයට ගනිමින් තරගයේ දෙවන ගෝලය වාර්තා කරන්නට යුද හමුදා කණ්ඩායමේ සජිත් කුමාර සමත් විය.

නැවතත් මිනිත්තු 8කට පසුව නාලක රොෂාන් ගෝලයක් රැස්කර ගනිමින් නාවිකයින්ගේ ලකුණු පුවරුව ගෝල 1ක් දක්වා ඉහළ නංවන්නට සමත් විය.

තරගය සම තත්වයට ගෙන ඒම සඳහා ගෝලයක් ලබා ගැනීමට අත්‍යාවශ්‍ය වීම නිසා නාවික හමුදා ක්‍රීඩකයින්ට මීළඟ මිනිත්තු කිහිපයේ දී දැඩි පීඩනයක් එල්ල විය. එම පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස තරගයේ 82 වැනි මිනිත්තුවේ දී නාවික හමුදා කණ්ඩායමේ මධුරංග පෙරේරා හට දෙවන කහ කාඩ්පත සමඟ රතු කාඩ්පතක් හිමි වූ අතර ඒ අනුව ඔහුට පිටියෙන් ඉවත්ව යාමට සිදුවිය. ඒත් සමග තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය ක්‍රීඩකයින් දසදෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට ඔවුන්ට සිදුවිය. මිනිත්තු 2කට පසුව නාවික හමුදා කණ්ඩායමේ සුභාෂ් මධුෂාන් අතින් යුද හමුදා කණ්ඩායමට ගෝලයක් හිමිවීමත් සමඟ ඔවුන්ගේ 3 වන ගෝලය වාර්තා විය.

ඉන් තවත් මිනිත්තු 3කට පසුව යුද හමුදා කණ්ඩායමේ මොහොමඩ් ඉසදීන් තම කණ්ඩායමේ 4 වැනි ගෝලය රැස්කරගනු ලැබුවේ තරගයේ ජයග්‍රහණය ද තහවුරු කර ගනිමිනි.

දෙවන අර්ධය: යුද හමුදාව 4 – 1 නාවික හමුදාව

ThePapare.com තරගයේ වීරයා – මොහොමඩ් ඉසදීන්

ගෝල ලාභීන්

  • නාවික හමුදා කණ්ඩායම – නාලක රොෂාන් 76’
  • යුද හමුදා කණ්ඩායම – තිවංක චන්ද්‍රසේකර 9’, සජිත් කුමාර 68’, සුභාෂ් මධුෂාන් (OG) 84’, මොහොමඩ් ඉසදීන් 87’

කහ කාඩ්පත් ලාභීන්

  • නාවික හමුදා කණ්ඩායම – ධම්මික රත්නායක 45+6’, මධුරංග පෙරේරා 51’ හා 82’, අජිත් කුමාර 89’
  • යුද හමුදා කණ්ඩායම – රොෂාන් අප්පුහාමි 20’, මොහොමඩ් රිම්සාන් 55’, මොහොමඩ් ඉසදීන් 89’

රතු කාඩ්පත් ලාභීන්

  • නාවික හමුදා කණ්ඩායම – මධුරංග පෙරේරා 82’

රිනවුන් SC – බ්‍රිලියන්ට් SC

කැලණිය පාපන්දු සංකීර්ණයේ දී බ්‍රිලියන්ට් SC කණ්ඩායම ගෝල 8-0ක් ලෙස පරාජයට පත්කරමින් අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබූ මීළඟ කණ්ඩායම වූයේ රිනවුන් SC කණ්ඩායමයි. මෙහි දී රිනවුන් කණ්ඩායමේ නායක මොහොමඩ් රිෆ්නාස් ගෝල ත්‍රිත්වයක් ද, මොහොමඩ් ෆාසාල් ගෝල ද්විත්වයක් ද රැස්කර ගැනීමට සමත් විය.

තරගයේ ප්‍රථම ගෝලය වාර්තා කිරීමට රිනවුන් ක්‍රීඩකයින්ට සිතුවාට වඩා කාලයක් ගත විය. කෙසේ වුවත් තරගයේ 17 වැනි මිනිත්තුවේ දී නායක මොහොමඩ් රිෆ්නාස් රිනවුන් කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ අතර තවත් මිනිත්තු 2කට පසුව ඔවුන් විසින්ම තරගයේ 2 වන ගෝලය ද රැස්කර ගන්නා ලදි.

තරගයේ 29’ වැනි මිනිත්තුවේ දී මොහොමඩ් ෆසාල් තම කණ්ඩායමේ 3 වන ගෝලය රැස්කරගත් අතර ඉන් අනතුරුව පළමු අර්ධයේ දී රිනවුන් කණ්ඩායමේ ගෝල ලබා ගැනීම අඩපණ කරන්නට බ්‍රිලියන්ට් SC කණ්ඩායමේ ක්‍රීඩකයින් සමත් විය.     

පළමු අර්ධය: රිනවුන් SC 3 – 0 බ්‍රිලියන්ට් SC

දෙවන අර්ධය ආරම්භයේදීත් රිනවුන් කණ්ඩායමට ගෝලයක් රැස්කර ගන්නට බ්‍රිලියන්ට් SC ක්‍රීඩකයින් අවස්ථාවක් ලබා දුන්නේ නැත. තරගය තුළ දිගු වේලාවක් පැවති ගෝල නිහැඬියාව බිඳ දමමින් තරගයේ 65 වන මිනිත්තුවේ දී මොහොමඩ් අසාත් රිනවුන් කණ්ඩායමේ 4 වන ගෝලය රැස්කර ගැනීමට සමත් විය.

තරගයේ අවසාන මිනිත්තු කිහිපයේ දී රිනවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින් එල්ල කළ දැඩි පීඩනය හේතුවෙන් බ්‍රිලියන්ට් SC ක්‍රීඩකයින්ගේ පසුපෙළ බිඳවැටුණු අතර එහි දී තවත් ගෝල 4ක් රිනවුන් ක්‍රීඩකයින් විසින් රැස්කර ගන්නා ලදි.

මොහොමඩ් අසාත් එල්ල කළ පහර ද්විත්වයක් ගෝල රාමුවේ වැදී ඉවතට ඇදී යාමෙන් අනතුරුව පන්දුව දිමුතු ප්‍රියදර්ශන වෙත යොමු වූ අතර එය ගෝලයක් බවට පරිවර්තනය කරගනිමින් තම කණ්ඩායමට 05 වන ගෝලය හිමි කර දෙන්නට ඔහු සමත් විය. අනතුරුව තරගයේ 83’ වන මිනිත්තුවේ දී හකීම් කමිල් 6 වන ගෝලයට හිමිකම් කීමට සමත් වූ අතර 89’ හා 90’ මිනිත්තුවල දී පිළිවෙළින් ෆසාල් සහ රිෆ්නාස් රිනවුන් කණ්ඩායමේ 7 වැනි සහ 8 වැනි ගෝල රැස්කරගනු ලැබුවේ බ්‍රිලියන්ට් SC කණ්ඩායම හමුවේ ගෝල 8-0ක අති දැවැන්ත ජයග්‍රහණයක් රිනවුන් SC ක්‍රීඩකයින්ට හිමිකර දෙමිනි.

දෙවන අර්ධය – රිනවුන් SC 8 – 0 බ්‍රිලියන්ට් SC

ThePapare.com තරගයේ වීරයා – මොහොමඩ් රිෆ්නාස්

ගෝල ලාභීන්

  • රිනවුන් SC – මොහොමඩ් රිෆ්නාස් 17’, 19’ හා 90’, මොහොමඩ් ෆාසාල් 29’ හා 89’, මොහොමඩ් අසාත් 65’, දිමුතු ප්‍රියදර්ශන 80’, හකීම් කමිල් 83’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට