ක්‍රිකට් පිටියේ හොර-බොරු අල්ලන සෙල්ලම

896

ක්‍රිකට් කියන්නේ ඉතින් අපේ රටේ බහුතරයකගේ ළමා කාලය වර්ණවත් කරපු සුන්දර ක්‍රීඩාවක්. සෙල්ලම් කරන කොට අපි අපේ පහසුවට විවිධාකාර තරග කොන්දේසි පනවා ගත්තා. ඒ අතර අල්ලපු වත්තට බෝලෙ ගියොත් අවුට්, ගස් කැච් අවුට්, බිත්ති කැච් අවුට් වගේ අමුතු අමුතු කොන්දේසි කිහිපයක්ම පනවා ගත්තා. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නම් ඕවා මොන්ටිසෝරි වැඩ.

ක්‍රිකට් පිටියේ උන්මාදනීය සුදු හමුදාව – The Barmy Army

මිචෙල් ජොන්සන් රැන්ඩ්වික් අන්තයේ යාර 30 සීමාව අසල පන්දුව අතැතිව පිතිකරු මයිකල් කාබෙරි දෙස එක එල්ලේ බලා සිටියි. ඔහු මේ සූදානම් වන්නේ අළු බඳුන තරගාවලියේ සිව්වන තරගයේ තම පළමු පන්දු වාරය ආරම්භ කිරීමටයි…

අපි ඔය වතු පිටි වල කොල්ලො කුරුට්ටෝ සෙට් එකක් එක්ක ගහන ක්‍රිකට්වල දී කොච්චර අවුට් වුනත් අවුට් නොදෙන අයියලත් ඒ අතර නැතුවාම නෙමෙයි නේ ඉතින්. නමුත් ජාත්‍යන්තර පිටියේ නම් ඒ වගේ වැඩ කරන්න අමාරුයි. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා ප්‍රචලිත වෙන්න කලින් තිබ්බ තරගවල දී අපි ඔය ගමේ ගොඩේ කරනවා වගේ වැඩ කරපු අයත් ඉඳලා තියෙනවා.

විලියම් ගිල්බට් ග්‍රේස්ගේ අමුතු වැඩ

තරග විනිසුරු (Umpire) කොච්චර අවුට් දුන්නත් මෙයා නෙමෙයි ලු අවුට් එක පිළිගන්නෙ. එහෙව් මහත්තයෙක් වෙච්ච විලියම් ගිල්බට් ග්‍රේස් සිය ජීවිතයේ මුල් වතාවට සාධාරණව අවුට් එක් පිළි අරගෙන තියනවා එක් අවස්ථාවක දී. ඒ 1891 දී අපේ රටේ සිංහ කොල්ලො එක්ක ගහපු මැච් එකක දී කියලයි ක්‍රිකට් ඉතිහාසයෙන් වාර්තා වෙන්නෙ. ඒකත් හැබැයි අපේ සිංහයන්ට බයේ නම් නෙමෙයි ලු. ඒ වෙනකොට ක්‍රීඩා පිටිය අවට තිබ්බ උෂ්ණත්වය වැඩි නිසා ලු අවුට් එක දීලා හැරිලා ගිහින් තියෙන්නෙ.

ග්‍රේස් වගේ හිතුවක්කාර අයියලා ඇරෙන්න ඒ කාලේ ඉඳන් කවුරුත් තරග විනිසුරු (Umpire) තීරණේට ගරු කරලා තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව නැත්නම් මහත්වරුන්ගේ ක්‍රීඩාව කෙරුවේ. නමුත් ඉතින් කාලය ගතවෙද්දී මේ තීරණේට උනත් එකපාර ගරු කරලා හිස නමලා ඉන්න බැරි තත්ත්වයක් උදා වුනා. විශේෂයෙන්ම කඩුල්ල මුවාකිරීම්, දුවද්දී දැවී යාම් වගේ දේවල්වල දී තරග විනිසුරු (Umpire) අතින් වෙච්ච වැරදි නිසා සමහර තීරණාත්මක තරගවල ප්‍රතිඵල පවා වෙනස් වෙලා තියෙනවා. සමහර විනිසුරුවරුන්ගේ වැරදි තීරණ නිසා ක්‍රීඩාවේ ගෞරවය කෙළසුණු අවස්ථාත් නැතුවාම නෙමේ.

මේ වගේ වැඩ සිද්ධ වෙද්දි සමහරු කතා වෙන්න ගත්තා අලුත් තාක්ෂණික ක්‍රමවල සහය ඇතිව අපිට බැරි ද මේ වැරදි අඩුකරගන්න මොනාවා හරි පිළියමක් යොදන්න කියලා. එහෙම ඇති වෙච්ච උනන්දුව නිසා තමයි අනිත් ක්‍රීඩාවන්ට සාපේක්ෂව ක්‍රිකට් ක්‍රීඩාව අද වෙනකොට දියුණු තාක්ෂණයන් භාවිතා කරන ක්‍රීඩාවක් වෙලා තියෙන්නේ.

අළු බඳුන මෙතරම් වටින්නේ ඇයි?

ලොව ශ්‍රේෂ්ඨතම ටෙස්ට් ක්‍රිකට් සටන ලෙස හැඳින්වෙන අළු බඳුන පුරාවෘත්තය වර්ෂ 1882 සිට පැවතෙන්නකි. ..

ශ්‍රී ලාංකික පුරවැසියෙක් වන මහින්ද විජේසිංහ මහතාගේ ආගමනය

මහින්ද විජේසිංහ මහතා

දැන් කා‍ලේ අය නම් වැඩිය දන්නේ නැතුව ඇති. නමුත් මේ මහත්තයා තමයි තෙවැනි විනිසුරු සංකල්පය ලෝකෙට හඳුන්වා දීපු පුද්ගලයා. එතුමා අපේ ලංකාව තුල හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ඒ වගේම තමයි ක්‍රිකට් ලේඛකයෙක් ලෙසත් සිය දායකත්වය දක්වලා තියෙනවා.

මහින්ද විජේසිංහ මහත්මයා විසින් ඉදිරිපත් කරන ලද අදහසකට අනුව තෙවැනි විනිසුරු (Third Upmpire) තාක්ෂණය මුලින්ම භාවිතයට ගන්නෙ 1992 දී ඩර්බන් නුවර කිංග්ස්මීඩ් පිටියේ ඉන්දියාවත් දකුණු අප්‍රිකාවත් අතර පවත්වපු ටෙස්ට් තරගයක දීයි. දකුණු අප්‍රිකානු ජාතික විනිසුරු සිරිල් මිචිලි මහතා ලෝකෙ පළවෙනි තෙවැනි විනිසුරු හැටියට වාර්තා අතරට යද්දි, ශ්‍රී ලංකාවේ පළමු විනිසුරු වන්නේ හර්බි ෆෙලෙසින්ගර් මහතායි. ඒ තරගයේ දී ලෝකේ එතෙක් මෙතෙක් බිහිවුණු හොඳම පන්දු රකින්නා වූ ජොන්ටි රෝඩ්ස් සිටි ස්ථානයට පන්දුව ගහලා දුවද්දි දැවී ගියේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර්. අනතුරුව ඔහු තෙවැනි විනිසුරු මගින් දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙස ද වාර්තා පොත් අතරට ගියා.

අපි ඒ ඉතිහාසයේ සොඳුරු මතකයෙන් මෙහොතකට මිදී වර්තමානයේ භාවිතා වන සුපිරි හා නව තාක්ෂණය දෙසට හැරෙමු.

  1. HAWKS EYE

2001 මැයි 21 දින ලෝඩ්ස් පිටියේ පැවැත්වූ එංගලන්ත පාකිස්තාන තරගයේ දී පළමු වරට භාවිතා කළ මෙම තාක්ෂණය, තුන්වැනි විනිසුරුට කඩුල්ල මුවාකිරීමේ තීරණ ලබා දීමේ දී අනගි සහයක් ලබා දෙනවා.

මෙහි නිර්මාතෘවරයා වන්නෙ එංගලන්ත ජාතික පෝල් හෝකින්ස් මහතායි. මෙය ක්‍රීඩාවට යොදා ගැනීමට කලින් මොලයේ ශල්‍යකර්ම සඳහාත්, හමුදා ක්‍රියාන්විතවල දී මිසයිල්වල ගමන් පථය හඳුනා ගන්නටත්, යුද්ධයක දී සතුරු ප්‍රහාර කල්තියාම හඳුනා ගැනීම වගේ දේවල්වලටත් මේක භාවිතා කරලා තියෙනවා. ක්‍රිකට්වල දී පන්දුවේ ගමන්මාර්ගය ගැන තීරණය කරන එක තමා මෙහි මූලික අරමුණ.

පොරවෙන් කපනවා ද? නියපොත්තෙන් කඩනවා ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එදා සිටම වාර්තා තියන්නට සූරයෝ ය. හොඳ නරක කෙසේ වෙතත් ක්‍රිකට් වාර්තා පොත් බොහෝමයක ‘ශ්‍රී ලංකාව’ යන නාමය උඩින්ම ලියවී ඇත…

මුලින්ම කරන්නේ පිටියේ විවිධ තැන්වලින් රඳවලා තියෙන විශේෂ කැමරා කිහිපයක් මඟින් පන්දුවේ ගමන් මාර්ගය වීඩියෝ කරනවා. පසුව මේ කැමරා සියල්ලම තවත් විශේෂ පරිගණකයකට සම්බන්ධ කරලා ඒ මගින් එවනු ලබන පන්දුවේ ගමන් මාර්ගයේ දර්ශන ඇසුරින් පන්දුවේ ඉදිරි ගමන් මාර්ගය ගැන ත්‍රිමාන දර්ශනයක් නිර්මාණය කරනවා. පන්දුවේ දෝලනය, දඟ කැවීම සහ වේගය වගේ කාරණාත් සැලකිල්ලට අරන් පන්දුවේ අපේක්ෂිත ගමන් මාර්ගය දක්වන්න මේ තාක්ෂණේට හැකියාව තියෙනවා. ඒ වගේම ටෙනිස්, ස්නූකර්, බැඩ්මින්ටන් වගේ ක්‍රීඩාවලදීත් මේ තාක්ෂණය භාවිතා වෙනවා.

  1. කැමරා තාක්ෂණය

ක්‍රිකට්වලට යොදා ගන්න කැමරා තාක්ෂණයත් දවසින් දවස දියුණු වෙමිනුයි පවතින්නෙ. විවිධ කැමරා කෝණ රැසකින් යුතු දර්ශන රාශියක් අපිට සජීවී තරගයක් නරඹද්දී දකින්න ලැබෙනවා.

  • විනිසුරු කැමරා (Umpire cam)
විනිසුරු කැමරා

ක්‍රිකට් තරගයක් නරඹන විට  ප්‍රේක්ෂකයින්ට ලබා දෙන සජීවී අත්දැකීම තවදුරටත් වැඩි කිරීමේ අරමුණින් පිටිය මැද සිටින විනිසුරුවරුන් දෙදෙනාටත් කැමරාවක් සවි කර අතර එවිට ඔවුන්ට තරගය පෙනෙන විදිහට අපිට තරගය පෙනෙනවා. විනිසුරුගේ හිස් වැසුමට තමයි මේ කැමරාව හයි කරල තියෙන්නෙ.

  • Ultra-Motion Camera

මැච් එකක් යන අතරතුර හරිම ලස්සන මියුසික් එකක් එක්ක ෆුල් ස්ලෝමෝෂන් රීප්ලේ එකක් පෙන්නන අවස්ථා ඔයාලට මතක ඇති. අන්න ඒ වගේ දර්ශන පටිගත කරන්න තමයි මේ අල්ට්රා මෝෂන් කැමරා කියන කැමරා භාවිතා කරන්නෙ.

  • Spidercam

ක්‍රිකට් තරගයක හැම පැත්තක්ම ආවරණය කරමින් අපිට හිතා ගන්නත් බැරි කෝණවලින් දර්ශන ලබා දෙන ස්පයිඩර් කැම් එක කියන්නෙ ක්‍රීඩාවට සුපිරිම වැඩ කෑල්ලක් තමයි. ක්‍රීඩාංගණයට ඉහළින් කේබල් මතින් ගමන් කරන අකාරයට සකසා තිබෙන මේ කැමරාවට ඉහළ පහළ වගේම හරස් අතටත් ක්‍රීඩාංගණය පුරාම ගමන් කරන්න හැකියාව තියෙනවා.

Hot Spot

2006 නොවැම්බර් 23 වන දා එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වූ අළු බඳුන ක්‍රිකට් තරගයක මේ තාක්ෂණය පළමු වරට භාවිතා කරල තියෙනවා. හොට් ස්පොට් තාක්ෂණයත් ක්‍රිකට් ක්‍රීඩාවට භාවිතා කරන්න කලින් යුධ තාක්ෂණයක් හැටියට පැවතුණු එකක්. මේ තාක්ෂණය යුධ කටයුතුවල දී යොදා ගෙන තියෙන්නෙ අඳුරු හෝ දුමින් වැසුණු පරිසරයක දී ප්‍රතිවාදී යුද්ධ ටැංකි සහ ගුවන් යානා ආදිය හඳුනා ගන්නටයි.

ක්‍රිකට් පිටියේ දී පිතිකරුගේ දළ රූපයක් තාපය ඇසුරින් නිර්මාණය කරනවා වගේම යුධ පිටියේදීත් අධෝරක්ත කැමරා මගින් තාපජ රූප ග්‍රහණය කරගෙන සතුරු ඉලක්ක හඳුනා ගන්නට මේ තාක්ෂණය ප්‍රයෝජනයට අරන් තියෙනවා.

ඉතාමත් මිල අධික හොට් ස්පොට් (Hot Spot) තාක්ෂණයෙන් මූලිකවම කරන්නේ පන්දුව පිතිකරුවාගේ පිත්තේ වැදුනා ද? නැද්ද? යන්න තීරණේ කරන එකයි. උඩපන්දු සහ කඩුල්ල මුවාකිරීමේ තීරණ සඳහා මේ තාක්ෂණයෙන් සෑහෙන සහයක් ලැබෙනවා. පිටියේ දෙපැත්තෙන් රඳවන අධෝරක්ත (Infrared) කැමරා දෙකක් මගින් තමයි මේ හොට් ස්පොට් රූප රාමු ලබා ගන්නේ.

පන්දුව පිතිකරුගේ පිත්තේ හරි වෙනත් ආවරණයක හරි වදිද්දී එම ස්ථානයේ ඇතිවන උෂ්ණත්වය සහ ඝර්ෂණය මේ කැමරාවල දීප්තිමත් ලපයක් හැටියට සටහන් වෙනවා. එය කළු සුදු රූපරාමුවක් හැටියට තිරයේ දිස්වෙනවා. කොහොම වෙතත් ඉතා සියුම් ලෙස පිත්තේ දැවටී යන උඩ පන්දු සම්බන්ධයෙන් මේ තාක්ෂණය යොදා ගැනීම අසාර්ථකයි කියලත් සමහරු මත පලකරනවා. ඒ නිසා ද දන්නෙත් නෑ මේ තාක්ෂණය අපේ රටේ නම් දැනට භාවිතා වෙන්නේ නෑ. නමුත් එංගලන්තය නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව වගේ රටවල්වල නම් භාවිතා වෙනවා.

කලින් නොදැකපු ක්‍රිකට්

සෑම ක්‍රීඩාවකටම ඉතිහාසයක් ඇතිවා සේම, ඒ අතීතයේ නොදුටු ඉසව් ස්පර්ශ කිරීමට බොහෝ ක්‍රීඩාලෝලීන් කැමැත්තක් දක්වයි. කාර්යබහුල ඔබට ඵලදායී මිනිත්තු කිහිපයක්…

  1. DRS/UDRS භාවිතය

ක්‍රිකට් ක්‍රීඩාවට ටිකෙන් ටික නවීන තාක්ෂණයේ සහය ලැබෙන්න පටන් ගනිද්දි සමහරු කියපු කාරණයක් තමයි මේ හැම දේකටම තාක්ෂණය ප්‍රයෝජනයට ගන්න එකේ LBW වලටත් මේක පාවිච්චි කරන්න බලමු කියන එක. හැබැයි ඒ වැඩෙන් විනිසුරුවරුන්ගේ තත්ත්වෙ බාල්දු වේවි කියල හිතලා මුල දී වැඩි දෙනෙක් ඒකට මනාපයක් දක්වපු පාටක් තිබිලා නෑ. හැබැයි ඉතින් 2009 අවුරුද්ද වෙද්දි විනිසුරුවරුන්ගේ තීරණේටත් අභියෝග කරන්න පුළුවන් තාක්ෂණයක් ආවා.

මේ ක්‍රමයෙන් සරළවම වෙන්නෙ විනිසුරු විසින් තමන්ට ලබා දීපු තීරණේ වැරදිය කියල හිතෙන අවස්ථාවක ඒ තීරණේ අභියෝගයට ලක් කරන්න පිතිකරණයේ හෝ පන්දු රැකීමේ යෙදෙන කණ්ඩායම්වලට අවස්ථාව ලැබෙන එකයි. මේ විදිහට පිටියේ විනිසුරුගේ තීරණයක් යම් කණ්ඩායමක් විසින් අභියෝගයකට ලක් කලාම ඒ තීරණයේ හරි වැරැද්ද විමසා බැලීම සඳහා යොමු වෙන්නෙ තුන්වැනි විනිසුරුටයි. පියවි ඇසින් බලල, කණින් අහල තීරණය ලබා දෙන පිටියේ විනිසුරුට වගේ නෙමෙයි තුන්වැනි විනිසුරුට තමන්ගේ තීරණේ ලබා දෙන්නට Hawks eye, Ultra Edge, Hot spot වගේ තාක්ෂණයන් රැසක සහය ලැබෙනවා. මේ නවීන තාක්ෂණික ක්‍රම මගින් අදාළ රූපරාමු සියුම් ලෙස පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව තමයි තුන්වැනි විනිසුරු විසින් තමන්ගේ තීරණය පිටියේ විනිසුරු වෙතට ලබා දෙන්නේ. මෑතක දී පටන් තුන්වැනි විනිසුරු මේ තීරණය ගන්නා ආකාරය සහ පිටියේ විනිසුරුට ඔහුගේ තීරණය ලබා දෙන ආකාරයත් ක්‍රීඩාලෝලීන්ට සජීව ලෙස පෙන්වනු ලබනවා.

  1. Speed Guns

පන්දු යවන්නාගේ හැම පන්දුවක්ම අවසානයේ වාගේ ලකුණු සටහනත් එක්ක සටහන් වෙන්නේ පන්දුවේ වේගය. මේ වේගය මනින්නෙ ස්පීඩ් ගන් නැමති උපකරණයක් මගින්. මේ උපකරණය සාමාන්‍යයෙන් ස්ථාන ගත කරල තියෙන්නෙ ක්‍රීඩාංගණයේ දර්ශන තිරය අසලයි. මේ උපකරණය විසින් ක්ෂුද්‍ර තරංග (Microwave) නිකුත් කරමින් තමයි පන්දුවේ ගමන් මාර්ගය ඇසුරින් වේගය තීරණය කරනු ලබන්නේ.

  1. ස්නිකෝමීටරය

 

ස්නිකෝමීටරය මගින් කරන්නේ පන්දුව පිත්තේ හෝ ශරීර ආවරණයක වදිද්දී ඇති වන ශබ්ද තරංග ග්‍රහණය කර පෙන්වීමයි. මෙහි දී පන්දුව, පිත්ත සහ පිතිකරුගේ පා ආවරණ ආදිය මගින් ඇති වන ශබ්ද අවට අනෙකුත් ශබ්දවලින් පෙරා වෙන්කර පන්දුව වදින ශබ්දය රේඛා සටහනක් මගින් පෙන්වීම සිදු කරනවා. මෙම ශබ්ද සහ වීඩියෝ දර්ශන සකස්වීමට ගතවෙන කාල වේලාව වැඩි නිසා ස්නිකෝමීටරය DRS වලට ඇතුළත් වෙන්නේ නැහැ. හැබැයි දැන් පරණ ස්නිකෝමීටරය වෙනුවට රියල් ටයිම් ස්නිකෝමීටරය සහිත තාක්ෂණය ඇවිල්ලා තියනවා. මේ මගින් කළින්ට වඩා සෑහෙන ඉක්මනින් ශබ්දය සහ දර්ශන එකවර දක්වන රූප රාමු ලබා ගන්නට පුළුවන් වෙලා තියනවා.

  1. Ultra-Edge (අල්ට්රා එජ්)

අල්ට්රා එජ් කියන්නෙත් ස්නිකෝ මීටර් වගේම මයික්‍රොෆෝන් මගින් ලබා ගන්නා ශබ්ද තරංග දක්වමින් උඩ පන්දු සම්බන්ධ තීරණ ගැනීමේ දී සහය වෙන තාක්ෂණයක්. හැබැයි මේ තාක්ෂණය ස්නිකෝමීටරයට වඩා ඉදිරියෙන් තමයි ඉන්නෙ. පන්දුව පිත්තේ, පා ආවරණයේ සහ ඇඳුම්වල ස්පර්ශ වෙද්දි නිකුත් වෙන ශබ්දය  ස්නිකෝමීටරයට වඩා සාර්ථක අයුරින් හඳුනා ගන්නට අල්ට්රා එජ් තාක්ෂණයට හැකියාව තිබෙනවා. ඒ වගේම මේ තාක්ෂණය මගින් විවිධ කෝණයන්ගෙන් යුතු රූප රාමු කිහිපයක්ම නිර්මාණය කරලා පන්දුව පිත්තේ වදින මොහොත සහ ශබ්දය නිකුත් වෙන මොහොත වඩාත් පැහැදිලිව හඳුනා ගන්න පහසුකම් සලසලා තියනවා.

 

  1. LED ස්ටම්ප්ස් සහ බේල්ස්

බේල්ස් ඉවත් වුන සැනින් රතු පාටින් ලයිට් පත්තු වෙන විකට් පොලු සහ බේල්ස් මේ වෙද්දි සීමිත පන්දුවාර ක්‍රිකට් තරගවලට නැතුවම බැරි අංගයක්. පිටියේ ඉන්න විනිසුරුට විතරක් නෙමෙයි තුන්වැනි විනිසුරුට උනත් තීරණයක් ගනිද්දි මේ තාක්ෂණය සෑහෙන උපකාරයක් වෙනවා. මොකද පිතිකරුවෙක් දුවද්දී දැවී යාමකට හෝ ස්ටම්ප් වීමකට ලක්වී දැවී යාමකට ලක් වෙන්න නම් බේල්ස් කඩුල්ලෙන් සම්පූර්ණයෙන්ම ඉවත්විය යුතු වනවා.

මේක රූපවාහිනී පුනරූපණ දර්ශන බැලීමෙන් උනත් අඳුන ගන්න අමාරුයි. නමුත් මේ අලුත්ම LED තාක්ෂණය නිසා ඒ වැඩේ දැන් හරිම ලේසි වෙලයි තියෙන්නෙ. ප්ලාස්ටික් මිශ්‍රව තනපු විකට් පොලු සහ බේල්වලට LED බල්බ යොදා සකස් කරල තියන මේ විකට් සිස්ටම් එකේ දී ඒ LED එළිය දැල්වෙන්නේ බේල්ස් සම්පූර්ණයෙන්ම කඩුල්ලෙන් ඉවත් වූවායින් පසුවයි. අඩු වෝල්ටීයතාවයකින් යුතු බැටරියකින් ක්‍රියාත්මක වෙන මේ බේල්ස්වල ඇති මයික්‍රො ප්‍රොසෙසරයක් මගින් විකට් පොලු සහ බේල්සය අතර සම්බන්ධතාවය හඳුනා ගෙන බේල්ස් ඉන් ඉවත්වූ සැනින් LED සංඥාව නිකුත් කරවනු ලබනවා.

ඉතින් දිනෙන් දින මෙහොතින් මොහොත අලුත් වන නව තාක්ෂණය ක්‍රීඩාවට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත්ම වැදගත් වන අතර එහි අනාගතය කෙබඳු ආකාරයෙන් වෙනස් වේ දැයි යන්න වර්තමානයට තවමත් රහසකි.

ඔයාට හිතෙන්නේ කොහොමද මේ ක්‍රිකට් තාක්ෂණය ගැන. මීට අමතරව ඔයා දන්න ක්‍රිකට් ක්‍රීඩාවේ පාවිච්චි වෙන තාක්ෂණයක් තියෙනවා නම් පහළින් comment කරන්න මතක ඇතුව.

 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<