පොරවෙන් කපනවා ද? නියපොත්තෙන් කඩනවා ද?

1933
Sinhala Column

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එදා සිටම වාර්තා තියන්නට සූරයෝ ය. හොඳ නරක කෙසේ වෙතත් ක්‍රිකට් වාර්තා පොත් බොහෝමයක ‘ශ්‍රී ලංකාව’ යන නාමය උඩින්ම ලියවී ඇත.

2016 වසරේ මැද භාගය වන තෙක්ම ටෙස්ට්, එක්දින මෙන්ම පන්දු වාර 20 තරග සියල්ලේම ඉනිමක වැඩිම ලකුණු වාර්තාව හිමිව තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට ය. එනම් ටෙස්ට් ඉනිමක දී ලකුණු 952ක්, එක්දින ඉනිමක දී ලකුණු 443ක් සහ පන්දු වාර 20 ඉනිමක දී ලකුණු 260ක් වශයෙනි.

පසුගිය වසරේ දී මෙයින් සීමිත පන්දු වාර වාර්තා දෙකම බිඳ වැටුනත්, ජාත්‍යන්තර පන්දු වාර 20 ඉනිමක වැඩිම ලකුණු වාර්තාවේ අනෙක් අන්තය ශ්‍රී ලංකාවට හිමි වීම (ඕස්ට්‍රේලියාව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී මෙම වාර්තාව ලකුණු 263ක් ලෙස අලුත් කළේ ශ්‍රී ලංකාවට එරෙහිවයි) කැපී පෙනේ. වර්තමානයේ ටෙස්ට් තරග ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලීමේ දී ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු වාර්තාව නම් තවත් බොහෝ කල් නිරුපද්‍රිතව පවතින වාර්තාවක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

ජුබිලි සැමරුම් අපට අකැපද?

1982න් ඇරඹි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ මේ ගෙවී යන්නේ 35 වැනි වසරයි. තරුණ ජවයෙන්..

ශ්‍රී ලංකාව අලුත් කළ අලුත්ම වාර්තාව වන්නේ මෙරට ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ටෙස්ට් තරග පරාජයේ වාර්තාවයි. ඒ නාග්පූර් හී දී ඉන්දියාව සමඟ පැවති දෙවන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 239කින් පරාජය වෙමින්. එමෙන්ම මෙය ඉන්දියාවේ දැවැන්තම ටෙස්ට් ජයග්‍රහණය සම කිරීම ලෙස ද ඉතිහාසයට එක්විය. දෛවයේ සරදමකට මෙන් 2008 වසරේ දී ශ්‍රී ලංකාව තමන්ට වඩා පැරණි ටෙස්ට් රටකට එරෙහිව ලැබූ දැවැන්තම ජයග්‍රහණය ලෙස ඉන්දියාව කොළඹ එස්. එස්. සී ක්‍රීඩාංගණයේ දී පරාජය කර තිබුණේ ද ඉනිමකින් සහ ලකුණු 239කිනි.

ඒ 2008 සොඳුරු මතක දෙස හැරී බලන කල එක වරම සිහි වන්නේ එම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් අජන්ත මෙන්ඩිස්වයි. මුරලි කඩුලු 11ක් දවා ගත්  එම තරගයේ දී අජන්ත අමතක නොවන මතක සටහනක් තැබුවේ රාහුල් ඩ්‍රාවිඩ් සහ වී. වී. එස්. ලක්ෂ්මන් යන අග්‍රගණ්‍ය පිතිකරුවන් දෙදෙනාව ම ඉනිම දෙකේ දී ම දවා ගනිමිනුයි.

අදාළ තරගය තුළ කඩුලු 8ක් දවා ගනිමින් ඉන්දීය ඉනිම සුනුවිසුනු කළ අජන්ත මෙන්ඩිස් අද ජාත්‍යන්තර පිටියේ සොයා ගන්නටත් නැත. අනෙක් ක්‍රීඩකයන් සියල්ලන්ම පාහේ විශ්‍රාම ගොසිනි. කෙසේ වෙතත් එම දරුණු පරාජයට මුහුණ දුන් ක්‍රීඩකයන් අතුරින් අද වන විට තරග වදින එකම ඉන්දීය ක්‍රීඩකයා වන ඉෂාන්ත් ශර්මා වසර 9කට පසු එම පරාජයේ වාඩුව ගන්නට සමත් වීම කාලය සමඟ කණ්ඩායම් දෙකේ සිදු වූ වෙනසට මනා උදාහරණයක් සපයයි.

මෙරට සමාජ මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍ය ඇසුරු කරන ක්‍රීඩාලෝලීන් හට මේ පරාජයටත් වඩා දරා ගන්නට නොහැකි වී තිබෙන්නේ ඉන්දීය ක්‍රීඩාලෝලීන්ගේ සහ විචාරකයන්ගේ කියුම් බස් ය. කවදත් ඉන්දියාව හැරුණු විට අනෙකුත් කණ්ඩායම් දෙකේ කොලයට දමා කතා කරන ඉන්දීය හිටපු ක්‍රීඩක සහ විස්තර විචාරක සන්ජේ මන්ජේකාර් මෙම පරාජයෙන් පසු තම නිල ට්විටර් ගිණුම මගින් තැබුවේ මෙවන් සටහනක්.

“තමිල්නාඩුවෙන් හරි අඩක් පමණ ප්‍රමාණයේ ශ්‍රී ලංකාව තුළ පළමු පෙළ කණ්ඩායම් 23ක් තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන ප්‍රශ්නය ඔබට පෙනෙනවා ඇති. පිළිතුර තිබෙන්නේත් එතැන ය. “

සන්ජේ මන්ජේකාර්ගේ ඇතැම් ප්‍රකාශ අලුයම ලූ කෙල පිඬක් මෙන් ඉවත දමන්නට අප පුරුදු වී සිටිය ද ඔහු පවසන මෙම කාරණය නම් කලකට පසු ඔහුගේ මුවින් පිටවූ නුවණැ’ති ප්‍රකාශයක් ලෙස පිළිගත යුතුව ඇත. 2016/17 ශ්‍රී ලංකා අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තරගාවලිය (ඒ සහ බී කාණ්ඩ) සඳහා සහභාගී වූ කණ්ඩායම් සංඛ්‍යාව 24කි. ශ්‍රී ලංකාව මෙන් 50 ගුණයක පමණ විශාලත්වයකින් යුතු 55 ගුණයක ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ ද දේශීය පළමු පෙළ තරගාවලිය වන රංජි කුසලානය සඳහා සහභාගී වන්නේ කණ්ඩායම් 28ක් පමණි.

සරල ගණිත කර්මයකින් මෙම තත්ත්වය දෙස බැලීමට උත්සාහ කරමු.  

2016 ගණනය කිරීම් අනුව ඉන්දියාවේ ජනගහනය 1,266,883,598ක් (126 කෝටි 68 ලක්ෂ 83 දහස් 598) වන අතර සමස්ත ජන ගහනයෙන් හරි අඩක් පුරුෂයන් ලෙස සැලකුවහොත්, ඒ අනුව රංජි කුසලාන කණ්ඩායමක් සඳහා ඇතුළු වීමට දෙකෝටි විසි හය ලක්ෂයකට (22,600,000) අධික පිරිසකින් දක්ෂයන් 15 දෙනෙකු තෝරා ගැනීමට සිදු වේ. දෙකෝටි විසි හය ලක්ෂයක් කෙතරම් දැයි තේරුම් ගැනීමට ඇති සරලම උදාහරණය නම් එය ශ්‍රී ලංකාවේ 2016 සමස්ත ජනගහණ ඇස්තමේන්තුවට වඩා ලක්ෂ හතරක් පමණ වැඩි බව පැවසීමයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙබඳු ද? ශ්‍රී ලංකාවේ 2016 ජන ගහනයෙන් හරි අඩක් පුරුෂයන් ලෙස සලකා ගණනය කර බැලූ කළ මෙරට ප්‍රිමියර් ලීග් ක්‍රිකට් කණ්ඩායමක් සඳහා ඇතුලත් වීමට තරග වදින්නේ පුද්ගලයන් 450,000කට මදක් වැඩි ප්‍රමාණයකි. තවත් සරල කරන්නේ නම් ශ්‍රී ලංකාවේ ප්‍රිමියර් ලීග් කණ්ඩායමකට ඇතුලත් වීමට වඩා ඉන්දියාවේ රංජි කුසලාන කණ්ඩායමකට ඇතුලත් වීම සඳහා 48 ගුණයක් වැඩි තරගකාරීත්වයක් පවතියි.

කළ හැක්කේ කුමක්ද ?

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය වැඩි කිරීම හෝ ඉන්දියාවට සමාන ජනගහනයක් ඇති කිරීම ප්‍රයෝගිකව කළ හැක්කක් නොවේ. එසේ නම් තරගකාරීත්වය වැඩි කිරීම සඳහා කළ හැකි එකම පිළියම කණ්ඩායමකට ඇතුලත් වීම සඳහා සටන් වදින ක්‍රීඩකයන් සංඛ්‍යාව වැඩි කිරීමයි.  ප්‍රායෝගිකව එම කර්තව්‍යය සපුරා ගත හැකි එකම ක්‍රමය වන්නේ පළමු පෙළ තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව අඩු කිරීම පමණකි. ඕනෑම නිෂ්පාදනයක සංඛ්‍යාත්මක අගය අඩු වන විට එහි ගුණාත්මක භාවය ඉහල යන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින් පසුගිය කාලයේ දිගින් දිගටම කරළියට පැමිණි පළමු පෙළ කණ්ඩායම් සීමා කිරීමේ කතිකාවත ක්‍රියාත්මක තත්ත්වයට පත් කරන්නට හොඳම කාලය දැන් එළඹ තිබේ.

තරංගගේ ඔටුන්න වෙනත් අයෙක්ට

දෙසැම්බර් මස 10 වනදා ආරම්භ වන ඉන්දු ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා..

කණ්ඩායම් අඩු කරන්නට ඇති බාධා මොනවාද?

මිනිසා ස්වභාවයෙන්ම බලයට ආශා කරයි. එදා මෙදා තුර ක්‍රිකට් පරිපාලනයට පැමිණෙන කවරෙකු වුවද අඩු වැඩි වශයෙන් සිය බලය ආරක්ෂා කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු කළ බව නොරහසකි. ක්‍රිකට් පරිපාලකයන් පත් වන්නේ ක්‍රීඩා සමාජ නියෝජිතයන්ගේ ඡන්ද බලයෙනි. එබැවින් ක්‍රීඩා සමාජ සමග යහපත් සබඳතාවක් පවත්වා ගැනීම ක්‍රිකට් පරිපාලනයට පැමිණෙන කවරෙකුට වුවත් අතිශයින් වැදගත් වන්නේ, ඔහුගේ හෝ ඇයගේ ක්‍රිකට් පරිපාලන අනාගතය රඳා පවතින්නේ ක්‍රීඩා සමාජවල ඡන්දය මත වීම හේතුවෙනි.

ක්‍රීඩා සමාජ සඳහා ප්‍රතිපාදන සැපයීමේ දී වැඩිම මුදලක් වෙන් වන්නේ පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් සඳහා ය. එබැවින් කිසිදු ක්‍රීඩා සමාජයක් තම කණ්ඩායම පළමු පෙළ තරගාවලියෙන් ඉවතට යාම පිළිබඳ සිතන්නට හෝ කැමති නැත. පසුගිය දා පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර කාය වර්ධන කවය අතර පැවති තරගයේ දී සිදු වූ අක්‍රමිකතාවලට ප්‍රධාන හේතුව ද ඉහළ තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආශාවයි.

මේ කරුණු සියල්ල දෙස නුවනින් බැලීමේ දී පෙනී යන්නේ හොඳින් හෝ නරකින් වෙනසක් කිරීමට කාලය එළඹ ඇති බවයි. තරග පරාජය වීමට හේතු සොයමින් දැවැන්ත ප්‍රශ්න කපා දැමීමට පොරව සෙවීමට පෙර නියපොත්තෙන් කඩා දැමිය හැකි ප්‍රශ්නය විසඳීම වඩාත් පහසු සහ ප්‍රතිඵලදායක බව මෙරට ක්‍රීඩාවේ ඉහල පුටුවල වැජඹෙන බලධාරීන් තේරුම් ගන්නා තුරු ක්‍රීඩාලෝලීන් බලා සිටී.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<