දිනය – 2014 වසරේ ජනවාරි 4.
ස්ථානය – සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩා පිටිය, ඕස්ට්‍රේලියාව.
වේලාව – සවස 5ට පමණ 

මිචෙල් ජොන්සන් රැන්ඩ්වික් අන්තයේ යාර 30 සීමාව අසල පන්දුව අතැතිව පිතිකරු මයිකල් කාබෙරි දෙස එක එල්ලේ බලා සිටියි. ඔහු මේ සූදානම් වන්නේ අළු බඳුන තරගාවලියේ සිව්වන තරගයේ තම පළමු පන්දු වාරය ආරම්භ කිරීමටයි. කාබෙරි තම ඉන්න ලකුණු කරගෙන පිටිය සිසාරා තම දෙනෙත් යවමින් පන්දු රැකීමේ සැලැස්ම අවබෝධ කරගනියි.

ජොන්සන් පළමු තරග හතර තුළ කඩුලු 31ක් දවාගෙන එම තරග හතරෙහිම ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය වෙත මෙහෙයවමින් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ නමට ලියාගෙන පස්වැනි ටෙස්ට් තරගය ආරම්භ වීමටත් පෙරම තරගාවලියේ වීරයා සම්මානයේ නිල නොලත් හිමිකරුවා වී අවසානය. මේ සියල්ල මෙසේ සිදුවෙමින් පවතින විට ප්‍රේක්ෂකාගාරයේ එක් කොටසකින් ගැඹුරු එංගලන්ත උච්චාරණයෙන් ඇසෙන ගීත ඛණ්ඩයකි.

“He bowls to the left (ඔහු වමට පන්දු යවයි)
He bowls to the right (ඔහු දකුණට පන්දු යවයි)
That’s Mitchell Johnson (ඒ තමයි මිචෙල් ජොන්සන්)
His bowling is shit” (ඔහුගේ පන්දු නම් අන්තිමයි)

ඒ සමඟින්ම දැවැන්ත හූ හඬකින් ක්‍රීඩාංගනයම පිරී යයි..

නම්දැරූ එංගලන්ත පිතිකරුවන් සියල්ලම පාහේ තම අකුණු සැර වන් පන්දු ඉදිරියේ දණගස්වා මෙතරම් දස්කම් පෙන්වා තිබියදීත් ජොන්සන්ව විහිළුවට ලක් කරන මේ ප්‍රේක්ෂකයන් කවුරුන්ද?

espncricinfo.com

එකවරම රූපවාහිනී කැමරාව ප්‍රේක්ෂකාගාරයක් වෙත යොමුවේ. එය පිරී ඉතිරී ගොස් තිබුනේ එංගලන්ත කණ්ඩායමේ සුදු සහ රතු වර්ණයන්ගෙන් තම සිරුරු වර්ණවත් කරගෙන එංගලන්ත කොඩි ලෙළවමින් බීර වීදුරුවලින් සවුදිය පුරමින් විනෝද වෙන ප්‍රේක්ෂකයින් පිරිසකගෙනි. ඒ අතරින් තමාගේ නිරුවත් උඩුකය එංගලන්ත ධජයක් ලෙසින් වර්ණ ගන්වාගෙන, ප්‍රේක්ෂකාගාරයේ වැට මතට නැගී ගීත ගායනා කරන ප්‍රේක්ෂකයන් කිහිප දෙනෙකු කැපී පෙනේ.

තම කණ්ඩායම පිට පිටම ටෙස්ට් තරග හතරක් පරාජය වී පස්වැනි තරගයත් පරාජය වන බවට නියත විවරණ ලබා සිටියදීත් මෙසේ විනෝද වන මොවුන් කවුරුන්ද?

විටෙක තම කණ්ඩායම  දිරිගැන්වීමේ ජයඝෝෂා වලිනුත්, විටෙක තම ප්‍රතිවාදීන්ට ගයන උපහාසය පිරි ගීත ඛණ්ඩ වලිනුත් ක්‍රිකට් පිටිය වර්ණවත් කරන, ජය පැරදුම කුමක් වුවත් සතුටින් ගී ගයමින් තරගය අත්විඳින, වෙනස්ම තාලයේ උප සංස්කෘතියකට උරුමකම් කියන එංගලන්තයේ  The Barmy Army (ද බාර්මි ආර්මි) ප්‍රේක්ෂක කණ්ඩායම පිළිබඳවයි ThePapare.com අපේ අද විමසා බැලීම.

මෙතරම් විනෝදකාමී Barmy Army කණ්ඩායමේ ආරම්භය සිදුවන්නේද එංගලන්ත කණ්ඩායමේ අළු බඳුන තරගාවලි පරාජයක ප්‍රතිඵලයක් වශයෙන් වීම විශේෂත්වයකි. 1994/95 ඕස්ට්‍රේලියානු ගිම්හාන තරඟ සමය තුළ පැවැත්වුණු අළු බඳුන තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් වන ෂේන් වෝන් සහ ක්‍රෙග් මැක්ඩමට්ගේ පන්දු යැවීම හා මයිකල් ස්ලේටර් සහ මාක් වෝ ගේ පිතිකරණය ඉදිරියේ එංගලන්ත කණ්ඩායමට හිමි වූයේ තරග 3-1ක පරාජයකි. 

හාමිසන්ගේ ගිනිබෝල සහ පොන්ටින්ගේ රුධිරය

රසවත් අතීත මතකයන් රාශියක් සිහිගන්වන අළු බඳුන ක්‍රිකට් තරගාවලිය ලොව සම්භාවනීයම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියයි. ඕස්ට්‍රේලියාවත් එංගලන්තයත් අතර පැවැත්වෙන එහි 2017/18…

එකල පාපන්දු ක්‍රීඩාව තුළ ප්‍රේක්ෂක ගායනා සුලබ දසුනක් වුවද ක්‍රිකට් ක්‍රීඩාව තුළ එවැනි ගායනා දක්නට ලැබුනේ නැත. නමුත් මෙම අළු බඳුන සංචාරය සඳහා ප්‍රේක්ෂකයන් ලෙස එක්ව සිටි එංගලන්ත ජාතික තරුණයන් වූ පෝල් බර්න්හැම්, ඩේව් පීකොක් සහ ඉයන් ගෝල්ඩන් එක්ව අනෙකුත් එංගලන්ත ප්‍රේක්ෂකයන්ද රැස් කරවාගෙන තම කණ්ඩායමේ පරාජයන් පසෙක තබා ඕස්ට්‍රේලියානුවන්ට හිසරදයක් වෙමින් තරගාවලිය පුරාවටම වෙහෙසක් නොපෙන්වා  තම දිරිගැන්වීමේ ජයඝෝෂා මෙන්ම උපහාසාත්මක ගායනා ද නොනවත්වාම ගායනා කිරීම නිසා එය පුවත්පත් වල වාර්තා කළ ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඔවුන් හට මෙම Barmy Army යන සුවිශේෂී නාමය ද ලබා දී තිබුණි. එකල ඔවුන් Atherton’s Barmy Army ලෙසද හැඳින්වූ අවස්ථා සඳහන් වන අතර එයට හේතුව වන්නේ 94/95 තරග සමයේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූයේ මයික් ඇතර්ටන් වීම නිසාය. 

metro.co.uk

ආරම්භයේ දී එතරම් සංවිධානාත්මක බවක් නොතිබූ නමුත් වර්තමානය වන විට ඔවුන් ඉතා හොඳින් සංවිධානය වී ඇති කණ්ඩායමකි. ක්‍රිකට් මහ ගෙදර ලෙස හඳුන්වන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ දී හැරෙන්නට ලොව අන් සෑම ක්‍රීඩාංගණයක දී ම පාහේ මෙම Barmy Army කණ්ඩායමට ප්‍රේක්ෂකාගාරය තුළ විශේෂ ඉඩක් වෙන් කිරීමම ඔවුන්ගේ එම එම සංවිධානාත්මක බව මොනවට කියා පායි. 

ආරම්භයේ දී තම පුද්ගලික මුදලින් තරග නැරඹීම සිදු කළ ද පසුව ඔවුන් සංවිධානය වූ පසු 1997 දී පළමු වරට අනුග්‍රාහකයෙකුගේ අරමුදල් සම්පාදනයෙන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි තරග සංචාරයේ නිරත විය. එතැන් පටන් ඔවුන් කමිස මුද්‍රණය කොට අලෙවි කිරීම, කොඩි අලෙවි කිරීම, පාගමන් සංවිධානය කිරීම වැනි විවිධ අරමුදල්  සම්පාදන මාර්ග ඔස්සේ සංචාරවලට අවශ්‍ය මුදල් සොයා ගැනීමට පෙළඹුනි.

මෙම Barmy Army කණ්ඩායම හා සම්බන්ධ රසවත් කතා විශාල ප්‍රමාණයක් පවතින අතර බීර පානයෙන් හොඳහැටි මත්ව ඔවුන් සිදුකරන ඇතැම් ක්‍රියා ඉතා හාස්‍යජනකය. එසේම ඔවුන්ගේ ගායනා ඉතා නිර්මාණශීලීය.

වරෙක මිචෙල් ජොන්සන්ගේ මව ජොන්සන් ගැන පවසා තිබුණේ ජොන්සන් ඔහුගේ පෙම්වතිය මුණ ගැසෙන තෙක් ඇය හා ඉතා සමීපව සිටි බවයි. මෙම සිදුවීම නැන්දම්මාගේ සහ ලේලියගේ ආරවුලක් බවට පෙරලූ Barmy Army කණ්ඩායම “They hate each other, The Johnson family..” (ජොන්සන් පවුල එකිනෙකාට වෛර කරනවා) ලෙසට ගායනාවක් නිර්මාණය කරන ලදී. 

ඔවුන් ඕස්ට්‍රේලියානු හිටපු නායක රිකී පොන්ටින් හට සරදම් කළේ මෙලෙසින්ය.

I can’t read and I can’t write (මට ලියන්න බෑ කියවන්නත් බෑ)
I must be Australian (මං ඕස්ට්‍රේලියානුවෙක් විය යුතුයි)
I can’t bowl and I can’t bat (පන්දුකරණෙත් බෑ පිතිකරණෙත් බෑ)
My name is Ricky Ponting (මගෙ නම රිකි පොන්ටින්)
I can’t drink and I can’t fight (මට බොන්නත් බෑ ගහගන්නත් බෑ)
My name is Ricky Ponting (මගෙ නම රිකි පොන්ටින්)

2017 අළු බඳුන තරගාවලිය ආරම්භ වීමත් සමඟ නව උපහාසාත්මක ගායනා කීපයක්ම ඔවුන්ගේ ගීත ගොන්නට එකතු වී තිබුණ අතර ඉන් කාගේත් සිත් ගත්තක් වූයේ ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් වෙනුවෙන් නිර්මාණය කර තිබූ”Oh and I cheat with a little help from my friends” ගායනාවයි. පසුගිය ඉන්දීය සංචාරය අතරතුර දී ස්මිත් විසින් විනිසුරු තීරණ යළි විමසීමේ අවස්ථාවක දී ක්‍රීඩාගාරයෙන් සහය පැතීමේ සිදුවීමක් අලලා එම ගායනාව ඔවුන් නිර්මාණය කර තිබුණි.

ටෙස්ට් පිටියට උදා වන අළු බඳුන වසන්තය

පිටියේ සහ ඉන් පිටත කතා බහ, අදහස් උදහස් සහ උණුසුම් සිදුවීම් ගණනාවකට පසු හෙට (23) උදා වන්නේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ වඩාත්ම අවධානය යොමු වන ඉසව්වයි. 2017/18…

පෙර සඳහන් කළ Barmy Army උප සංස්කෘතිය ශ්‍රී ලාංකික අප හටත් දැක විඳගත හැකි අවස්ථාවක් ලෙස අළු බඳුන තරගාවලියත් වඩා ඉපැරණි ඉතිහාසයක් සහිත රාජකීය සාන්ත තෝමස් නිල් මහා සටන දැක්විය හැක. මෙම තරග දෙක අතරේ වුවද යම් සමාන ලක්ෂණ දැකිය හැකි අතර ප්‍රේක්ෂක ගායනා ද බොහෝ විට සමාන මුහුණුවරක් ගනී. රාජකීය සාන්ත තෝමස් මහා තරගය සහ ඒ වටා බැඳී ඇති සම්ප්‍රදායන් දෙස බැලීමේ දී මෙන්ම විශේෂයෙන් රාජකීය විදුහල තුළ පවත්නා සම්ප්‍රදායන් දෙස බැලීමේදීත්, එංගලන්ත ජාතිකයන්ගෙන් මෙම සම්ප්‍රදායන් ශ්‍රී ලාංකිකයන්ට උරුම වූ බව පැහැදිලි වන අතර පසු කාලීනව අනෙකුත් පාසල් මහා තරග අතර ද මෙම සම්ප්‍රදායන් ක්‍රමයෙන් පැතිර යනු දක්නට ලැබුණි.

cricket.com.au

2000 දශකය ආරම්භයත් සමඟ සීමිත පන්දුවාර තරග රටාව ආසියාතික රටවල් හරහා වේගයෙන් ජනප්‍රිය විය. ඒ සමඟින්ම 90 දශකයේ පටන් ටෙස්ට් පිටිය වර්ණවත් කළ  Barmy Army කණ්ඩායමේ ආභාෂය ලබමින් එක්දින පිටිය තුළ ද විවිධ ප්‍රේක්ෂක කණ්ඩායම් බිහිවීම ආරම්භ විය. තනි පුද්ගල දිරිගන්වන්නන් වශයෙන් ශ්‍රී ලංකාවේ පර්සි අබේසේකර වැන්නවුන් ඒ වන විටත් විශාල ජනප්‍රියත්වයක් ලබා තිබුණ ද එක්දින හා T20 තරග සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ කණ්ඩායම් වශයෙන් ප්‍රේක්ෂකයන් එක් රැස් වී තරග නැරඹීමට පැමිණීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබුණි.

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහය දක්වන Barmy Army වැනි සුවිශේෂී කණ්ඩායමක්ද සිටියි. ඔවුන් අප්පු ආමි (Appu Army) යන නාමයෙන් හඳුන්වයි. ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙන්ම ඕස්ට්‍රේලියානුවන් කිහිප දෙනෙකුගෙන් ද සැදුම්ලත් අප්පු Army ප්‍රේක්ෂක කණ්ඩායම එම නම භාවිතා කරන්නේ එංගලන්ත කණ්ඩායමට උපහාසයක් වශයෙන් දෝ යි වරෙක සිතෙන්නේ “අප්පු” යන පදය බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ඔවුන් විසින් ශ්‍රී ලාංකික මෙහෙකරුවන් හැඳින්වීමට යොදාගත් බැවිනි. ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් විසින් ආරම්භ කරන ලද මෙම රසික කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ දී මෙන්ම ඕස්ට්‍රේලියානු VB කුසලාන තුන්කොන් තරගාවලියේ දී ද සක්‍රීය ලෙස සහභාගී වනු දක්නට ලැබුණි. 

ලොව අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල්වල ද මෙවැනි ප්‍රේක්ෂක කණ්ඩායම් කීපයක්ම දැකිය හැකිය.

  • ඉන්දියාව – Swami Army එසේත් නැත්නම් Bharat Army,
  • පාකිස්තානය – Stani Army,
  • බංග්ලාදේශය – Cricketknor,
  • නවසීලන්තය – Beige Brigade,
  • දකුණු අප්‍රිකාව – Protea Fire,
  • ඕස්ට්‍රේලියාව – The Fanatics වැනි කණ්ඩායම් ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැක.

Hooliganism වැනි පහත් උප සංස්කෘතීන් බැහැර කරමින් ක්‍රීඩාවේ ජීවගුණය රැකගෙන ක්‍රීඩාව වර්ණවත් කරන මෙවැනි සාමකාමී ප්‍රේක්ෂක කණ්ඩායම් සැබැවින්ම ක්‍රීඩාවට ආලෝකයකි.  ඉතින් මෙවැනි ප්‍රේක්ෂක කණ්ඩායම් තව තවත් බිහි වේවා යන්න ThePapare.com අපගේ ප්‍රාර්ථනයයි.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<