ඕස්ට්‍රේලියාව සමග පැවති තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය එක් ජයග්‍රහණයක් පමණක් සහිතව අවසන් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ දෙරට අතර අද පැවති 5 වන සහ අවසන් තරගය කඩුලු 5කින් පරාජය වීමත් සමගයි. මේ තරගය පැවතියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

  පසුගිය ලිපි: සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාව පරාජයවේ

නොකඩවා 4 වන වරටත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිවෙද්දී, 5වන වරටත් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඔවුන්ට හිමි විය. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක් වුනේ වෙනස්කම් 4ක් සමගයි. ඒ අනුව මැතිව්ස්, තිසර, අවිශ්ක ප්‍රනාන්දු සහ ඇන්ජලෝ පෙරේරා කණ්ඩායමෙන් ඉවත් වෙද්දී ධනුෂ්ක, උපුල්, දසුන් සහ සුරංග කණ්ඩායමට එක්වුණේ එක්දින තරගාවලිය තුල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයන් සංඛ්‍යාව 19 දක්වා ඉහල දමමින්.

තරග 5ක් තුළ ශ්‍රී ලංකාව භාවිත කළ සිවුවන ආරම්භක පිතිකරුවන් යුගලය පළමු වරට පළමු පන්දු වාරය තුල කඩුල්ලක් ලබා නොදීමට වග බලා ගත්තා පමණක් නොව මෙම සංචාරයේ හොඳම ආරම්භක සබඳතාව ගොඩනගන්නටත් සමත් විය. එම පිතිකරුවන් වූයේ ධනංජය ද සිල්වා සහ ධනුෂ්ක ගුණතිලකයි.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 73ක් එක් කල අතර ඕස්ට්‍රේලියා සංචාරයේ මෙතෙක් පැවති ටෙස්ට් සහ එක්දින තරග සියල්ලේම ආරම්භක සබඳතාවල ලකුණු එකතුව වූයේද ලකුණු 49ක් පමණයි.

ධනුෂ්ක ලකුණු 39ක් සහ ධනංජය ලකුණු 34ක් ලබාගත් අතර ඔවුන් දෙදෙනාවම ලකුණු 4ක් තුළ නැවත ක්‍රීඩාගාරයට හරවා යැවූ ඕස්ට්‍රේලියානුවන් තවත් පන්දු 2ක් තුල නායක දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ලත් දවා ගන්නට සමත් විය. මේ අනුව ශ්‍රී ලංකා ලකුණ පුවරුව 73/0 සිට 78/3ක් දක්වා කඩා වැටුණි.

කුසල් මෙන්ඩිස් උපුල් තරංග සමග එක්ව යලි ඉනිම පිලිසකර කිරීම ආරම්භ කළද, මෙන්ඩිස් දර්ශනීය ලකුණු 33ක ඉනිමක් ගොඩනැගීමෙන් පසු ජෝන් හේස්ටින්ග්ස්ට ගොදුරු විය. ඒ සමගින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වූයේ 121/4ක් ලෙසයි.

යලිත් වරක් ශ්‍රී ලංකා ඉනිමේ සම්පූර්ණ කඩා වැටීමක පෙර නිමිති පෙන්වමින් ලකුණු 15ක් ලබා සිටි උපුල් තරංග දැවී ගියේ ට්‍රැවිස් හෙඩ් යැවූ පන්දුවකට ඉතා දුර්වල පහරක් එල්ල කරමිනුයි.

ට්‍රැවිස් හෙඩ් යැවූ පන්දුවකට කුසල් පෙරේරා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස විනිසුරු රුචිර පල්ලියගුරුගේ සටහන් කරන ලදී. කුසල් එම තීරණය වහාම තෙවන විනිසුරු වෙත යොමු කළ අතර රූපවාහිනී පුනරූපන මගින් පැහැදිලිව පෙනී ගියේ පන්දුව පළමුව පිත්තේ වැදීමෙන් පසු පා ආවරණයේ වදින බවයි. කෙසේ වෙතත් තෙවන විනිසුරු මයිකල් ගොෆ් ඉතා මතබේදාත්මක තීරණයක් ලබා දීම නිසා කුසල්ගේ ඉනිම ලකුණු 14කට අවසන් විය.

දසුන් ශානකද ලකුණු 13ක් සමගින් හොඳ ආරම්භයක් ලබා ගත්තද ඇඩම් සම්පාගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ 7වන කඩුල්ල ලෙස දැවී යන ලදී.

දිල්රුවන් පෙරේරා පිටියට පැමිණි පසු මිචෙල් ස්ටාක් සුපුරුදු පරිදි කඩුල්ල වටෙන් පැමිණ එවූ පන්දුවක් සුපුරුදු පරිදිම ඔහුගේ කඩුල්ල බිඳ දමන්නට සමත් වූ අතර ඊළඟ පන්දුවෙන්ම සුරංග ලක්මාල් වෙත යෝකර් පන්දුවක් යොමු කළ ස්ටාක් යලිත් වරක් කඩුල්ල සොයා ගන්නට සමත් විය.

අවසන් පිතිකරුවන් සමග ලකුණු පුවරුව ඉහල දැමීමට දැඩි උත්සාහයක නිරත වූ සචිත් පතිරණ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ ස්කොට් බෝලන්ඩ් ද කඩුලු ලාභියෙක් බවට පත් කරමිනුයි. සචිත් ලකුණු 32ක් ලබා ගත්තේ හතරේ පහර 4ක් සමගයි.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් කඩුලු 3ක් බිඳ හෙලන ලදී.

නිත්‍ය ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවද නව ආරම්භක සංයෝගයක් යොදාගෙන තිබුණි. ඒ අනුව නායක වෝනර් ඉනිම ආරම්භ කලේ මැතිව් වේඩ් සමගිනි. දිල්රුවන් පෙරේරා ලකුණු 3ක් ලබා සිටි වේඩ්ගේ ඉනිම අවසන් කළේ කඩුල්ල පසුපස සිට කුසල් ජනිත් රැකගත් උඩපන්දුවක් පිලිබඳ තීරණය තෙවන විනිසුරුට යොමු කිරීමෙන් අනතුරුවයි.

ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 25ක් වෙද්දී උස්මාන් කවාජාගේ ඉනිමටත් නැවතීමේ තිත තබන්නට දිල්රුවන් පෙරේරා සමත් විය. කෙසේ වෙතත් ජෝජ් බෙයිලි ඒ සමගින් පිටියට පිවිසුනේ පෙර තරග වලදී මෙන්ම ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයේ රහස් වට්ටෝරුවද සමගිනි. මෙවර බෙයිලිගේ දායකත්වය ලැබුණු අර්ධ ශතක සබඳතාව ගොඩනැගුනේ නායක වෝනර් සමග එක්වයි.

එක්දින තරගාවලිය තුල පළමු වරට පිත්තේ රිද්මය සොයාගත් ඩේවිඩ් වෝනර් තම කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ආවේ T20 තරගාවලියේ දී ඔහුගෙන් එල්ලවිය හැකි අභියෝගය පිලිබඳ භීතියක්ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තුළ මතු කරමිනුයි.

තුන්වන කඩුල්ලේ සබඳතාව ශතකයක් ඉක්මවා යද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු බිඳ වැටීම ආරම්භ විය.

බෙයිලි සහ වෝනර් 3 වන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 132ක්. තම 3 වන කඩුල්ල ලෙස ජෝජ් බෙයිලි  ලකුණු 44කට දවා ගන්නට දිල්රුවන් පෙරේරා සමත් වුවත් ඒ වන විට ස්ට්‍රේලියාව ජයග්‍රහණය වෙත ආපසු හැරවිය නොහැකි පියවරක් තබා අවසන්ය.

නායක වෝනර් ඕස්ට්‍රේලියානු පිතිකරුවෙක් ශ්‍රී ලංකාවේදී රැස්කළ ඉහලම ලකුණු සංඛ්‍යාවේ මෙන්ම පළමු ශතකයේ ද වාර්තාවට හිමිකම් කියන්නට සමත් විය. වෝනර් ලකුණු 106ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සමගිනුයි. ධනංජය ද සිල්වා අවසන් මොහොතේ කඩුලු 2ක් දවා ගත්තද ජේම්ස් ෆෝල්ක්නර් සහ ජෝන් හේස්ටින්ග්ස් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සුරැකිව ජයග්‍රාහී සීමාව වෙත ගෙන යන ලදී.

ඩේවිඩ් වෝනර් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගනිද්දී තරග 5 තුලම අර්ධ ශතක හෝ ශතක සබඳතා වල කොටස්කරුවෙක් වූ ජෝජ් බෙයිලි තරගාවලියේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටවුට