ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දකුණු අප්‍රිකානුවන් මවිත කරති!

1592

වේගපන්දු යවන්නන් දැක්වූ සුපිරි දක්ෂතාත්, මුල්පෙළ පිතිකරුවන්ගේ විශ්වාසනීය පිතිහරඹයත් නිසා පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරවය දිනා ගැනීමට අද (13) ශ්‍රී ලංකා පිළට හැකි විය. දිනය අවසානයේ ඔවුන් කඩුලු 9ක් අතැතිව දකුණු අප්‍රිකානු ඉනිමට වඩා ලකුණු 186ක් පිටුපසින් සිටින්නේ හෙට දිනය පිළිබඳව සුබවාදී බලාපොරොත්තු ගොන්නක් කර පින්නාගෙනයි.

අලුත් තුරුම්පුවල වැඩ පෙන්වන පළමු තරගය

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පුරා….

අද තරගය සඳහා සූදානම් කර තිබූ ඩර්බන් නුවර කිංග්ස්මිඩ් ක්‍රීඩාංගණය දකුණු අප්‍රිකානුවන්ට මෑත කාලීනව වාසනාව ගෙන දුන් ක්‍රීඩාංගණයක් නොවේ. ඒ ඔවුන් අවසන් වරට මෙහි දී සහභාගි වී ඇති තරග 8න් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණක් වන බැවිනි. අද උදෑසන පැවති අඳුරු අහස් කුසත්, තණතිල්ලේ ස්වභාවයත් සැලකිල්ලට ගෙන ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරා ගැනීමට කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා වැඩ බලන නායක දිමුත් කරුණාරත්න තීරණය කළේය. අද තරගය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට ඕෂධ ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙනිය සමත් වීම විශේෂත්වයකි.

ඕෂධ යනු මෙවර පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පළමු වැන්නායි. ඔහු එහි දී තරග 9කට පමණක් මුහුණ දී ලකුණු 1181ක් රැස්කර ගන්නේ ශතක 6ක් සහ අර්ධ ශතක 4ක් සමඟිනි. ලකුණු සාමාන්‍යය 73.81කි. 26 හැවිරිදි වියේ පසුවන දකුණතින් පිත්ත හසුරුවන ක්‍රීඩකයෙකු වන ඕෂධ මෙම තරගයේ දී දක්වන දක්ෂතා, නිත්‍ය නායක චන්දිමාල් සහ හිටපු නායක මැතිව්ස් නොමැති ශ්‍රී ලංකා පිතිපෙළට ඉතාමත් වැදගත් වනු ඇත. තවමත් 22 වියේ පසුවන ලසිත් ඇඹුල්දෙනිය වමතින් පිට දඟපන්දු යවන්නෙකි. ඔහුව කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ පසුගිය සංචාර දෙකේ දී තුන් ඉරියව්වෙන්ම අසාර්ථක වූ දිල්රුවන් පෙරේරා වෙනුවටයි.

Photos: Sri Lanka tour of South Africa 2019 | 1st Test – Day 1

අද තරගය ආරම්භ වී වැඩි කල් යන්නට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වෙඩි මුරය දැල්වීමට වමත් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සමත් විය. ඒ තමන් යැවූ මුල්ම පන්දුවාරයේ දී ම වමත් පිතිකරු ඩීන් එල්ගාර්ව ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හරවා යවමිනි. එල්ගාර්ව සීමාවෙන් ඉදිරියට ගෙන ඒමට සමත් වූ එම පන්දුව යන්තමින් පිත්තේ පිටත දාරය සිප ගනිමින් කඩුලු රකින්නා වෙත ඇදී ගියේ ශ්‍රී ලංකාවට තරගයේ මුල් වාසි ගෙන දෙමිනි. එම පන්දුවාරයේම අවසන් පන්දුවට සුපිරි පිතිකරු හෂීම් අම්ලා කඩුල්ල මුවා කළ බවට ශ්‍රී ලංකා පිළ දැඩි ඉල්ලීමක් කළ ද එය විනිසුරු අලීම් ඩාර් නිශ්ප්‍රභ කළේය.

නමුත් එම පන්දුව කඩුල්ලේ ගැටෙන බවට දැඩි විශ්වාසයක් තිබූ ශ්‍රී ලංකා නායකයා ඒ සඳහා DRS අවස්ථාවක් ඉල්ලා සිටිය ද විනිසුරුවරුන් එය ද ප්‍රතික්ෂේප කළේ එය තත්පර 15කට පෙර තමන්ගෙන් නොඉල්ලූ බව ප්‍රකාශ කරමිනි. කෙසේ වෙතත් එය නියමිත කාලයට පෙර සිදු කළ ඉල්ලීමක් බව ලොව සුපතළ ක්‍රිකට් වෙබ් අඩවි වන Cricinfo සහ Cricbuzz ආයතන ද මෙම විනිසුරු තීරණවලට අප්‍රසාදය පළ කරමින් පසුව වාර්තා කර තිබුණි. ඒ අයුරින් අනිවාර්ය දැවී යාමක් අම්ලාගේ වාසියට හරවා දීමට විනිසුරුවරුන්ට හැකි විය. කෙසේ වෙතත් සුරංග ලක්මාල් තම අත්දැකීම් වලින් ප්‍රයෝජන ගනිමින් ශ්‍රී ලංකාවට සිදු වූ මෙම අසාධාරණයෙන් අම්ලා වාසි ගැනීමට පෙර ඔහුගේ ගමන නිමා කළේය.

ලක්මාල් යැවූ පන්දුව පිට ඉන්න කෙළින් පතිත වී ඉවතට දෝලනය වේ යැයි සිතූ අම්ලා එය නිදැල්ලේ යන්නට හැරි අතර පන්දුව අනපේක්ෂිත ලෙස පිත්තේ ගැටෙමින් ඇදී ගියේ ස්ලිප් කලාපයේ සිටි කුසල් මෙන්ඩිස් අතටයි. වත්මන් ටෙස්ට් පිළේ හොඳම පන්දු රකින්නා ලෙස සැලකිය හැකි මෙන්ඩිස් එය සුරැකිව රැක ගත්තේ අම්ලාව ලකුණු 3කට සීමා කරමිනි. නමුත් මෙම කඩුල්ල දවා ගැනීමට ද හරස් කැපූ විනිසුරුවරුන් එය තෙවැනි විනිසුරුට බාර දුන්නේ පන්දුව පිටියේ ගැටීමෙන් පසු රැකගත් බවට මෘදු සංඥාවක් (Soft Signal) ද ලබා දෙමිනි. නමුත් තාක්ෂණයට බොරු කිරීමට නොහැකි වූ නිසා එය දැවී යාමක් ලෙස සටහන් කිරීමට තෙවැනි විනිසුරුට සිදු විය.

විසිහය වසරකට පෙර මෙරටටම පැමිණ අප අසරණ කළ දකුණු අප්‍රිකානුවෝ

2019 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය හෙට (13) ඩර්බන්….

දකුණු අප්‍රිකානු පිළේ තෙවැනි කඩුල්ල ලෙස ඒඩන් මාර්ක්‍රම්ව පිටියෙන් ඉවත් කිරීමට විශ්ව ප්‍රනාන්දු සමත් වූයේ පිත්ත සහ පා ආවරණ අතරින් කඩුල්ල වෙත රිංගවූ විශිෂ්ට පන්දුවක් ආධාරයෙනි. ඒ වන විට මාර්ක්‍රම් ලබා සිටියේ ලකුණු 11ක් පමණි. කලක් තිස්සේ වමත් පන්දු යවන්නෙකුගේ සහයක් නොලද ශ්‍රී ලංකාවට විශ්වගේ මෙම වර්තමාන දස්කම් දැඩි සැනසිල්ලට හේතු වනු ඇත. මේ වන විට ලකුණු 17ට කඩුලු 3ක් බිඳ වැටුණු දකුණු අප්‍රිකාවට යම් ශක්තියක් ගෙන දුන්නේ නායක ප්ලෙසිස් සහ ටෙම්බා බවුමා අතරේ ගොඩ නැගුණු ලකුණු 72ක සබඳතාවයයි. එම සබඳතාවය ද නිමා කරමින් ලකුණු 35ක් ලබා සිටි ෆැෆ් ඩු ප්ලෙසිස් දවා ගැනීමට කසුන් රාජිත සමත් විය.

ඒ අනුව දිවා විවේකය වෙද්දී ප්‍රතිවාදීන්ට ලකුණු 89ක් පමණක් ලබා දී කඩුලු 4ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. දිවා ආහාරයෙන් පසු දිනයේ අවාසනාවන්තම දැවී යාමට උරුමකම් කියූවේ ඒ වන විට ලකුණු 47ක් ලබාගෙන දකුණු අප්‍රිකානු ඉනිම නැවත පිළිසකර කරමින් සිටි ටෙම්බා බවුමායි. බවුමා එම අවස්ථාවේ පන්දු යවන්නාගේ අන්තයේ රැඳී සිටි අතර ඩි කොක් එල්ල කළ ස්ට්‍රේට් ඩ්‍රයිව් පහර පන්දු යැවූ විශ්ව ප්‍රනාන්දුගේ පාදයේ ගැටී බවුමාගේ පැත්තේ කඩුල්ල බිඳ දැමීය. ඒ අනුව තීරණය තෙවැනි විනිසුරු වෙත යොමු කෙරුණු අතර පුනරූපන මගින් පැහැදිලි වූයේ බවුමා එම අවස්ථාවේ සීමා ඉරට අඟලක් මෙපිටින් රැඳී සිටින බවයි.

කොදෙව්වන් තරගාවලි ජය ලබද්දී අවසන් තරගයේ ජය එංගලන්තයට

පසුගිය තරගාවලිවල දී ඉන්දීය කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා පිළ ද ටෙස්ට්….

ඒ අනුව දකුණු අප්‍රිකානු පසුපෙළ (Tail-End) විවර වූ අතර විශේෂඥ පිතිකරුවෙකු ලෙස ඉතිරිව සිටි ඩි කොක් ඔවුන් සමඟ එකතු වී මුළු ලකුණු සංඛ්‍යාව 235ක් දක්වා ඉහළ දැමීය. ඩි කොක් අද ටෙස්ට් දිවියේ 15 වැනි අර්ධ ශතකය ලෙස ලකුණු 80ක් රැස් කළේ හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් එල්ල කරමිනි. ඔහුගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූයේ දිනය ආරම්භයේ දී නිවැරදි එල්ලයක් ලබා ගැනීමට අපොහොසත් වීම නිසා නිකරුණේ ප්‍රතිවාදීන්ට ලකුණු පුදකළ කසුන් රාජිතයි. කෙසේ වෙතත් අද සවස් කාලයේ ඔහු හොඳින් පන්දු යවමින් කඩුලු 3කට හිමිකම් කීවේය.

අද සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 62ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. අද හෂීම් අම්ලාගේ වටිනා කඩුල්ලට පමණක් හිමිකම් කියූවද සුරංග ලක්මාල් පරිණත ක්‍රීඩකයෙකුගේ වගකීම අකුරටම ඉටු කරමින් නිවැරදි එල්ලයක පන්දු යැවීම නවක වේගපන්දු යවන්නන් දෙදෙනාට කඩුලු දවා ගැනීමට උපකාරී වූ බව නොකියාම බැරිය. දකුණු අප්‍රිකානු තණතිලිවල හැසිරීම ඉක්මනින් වටහා ගත නොහැකිව පිතිකරුවන්ව ඉදිරි පාදයට රැගෙන එන්නට අසමත් වූ ඇඹුල්දෙනියට අද යම් තරමක ප්‍රහාරයක් එල්ල වුවද ඔහු ලකුණු 15ක් ලබා සිටි ඩේල් ස්ටේන්ව ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.

දිනය නිමා වීමට ප්‍රථමයෙන් පන්දුවාර 16ක් සඳහා මුහුණ දීමට අද ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිදු විය. එහි දී මුල්පෙළ පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු තම යුතුකම් කොටස ඉටු කළ නිසා කලකට පසු ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට සැනසිලිදායක දිනයක නිමාව සනිටුහන් විය. අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිළ එක් කඩුල්ලක් පමණක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 49කි. ලහිරු තිරිමාන්න අද ස්ටේන් කඩුල්ලෙන් ඉවතට යොමු කළ පන්දුවක් හඹා ගොස් පහර එල්ල කිරීමට ගොස් දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ මුල්ම කඩුල්ල ලෙසයි.

ශ්‍රී ලංකාව යටත් කරගන්න නවකයෙක් ද. අප්‍රිකා සංචිතයට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හෙටින් (13) ආරම්භ වීමට නියමිත තරග….

ඉනිම ආරම්භයේ සිටම විශ්වාසවන්ත ලෙස පන්දුවට පහර එල්ල කළ නායක දිමුත් කරුණාරත්න මේ වන විට නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 28කි. ශ්‍රී ලංකා මැදපෙළ පසුගිය තරගවල දී ලකුණු අතර නොසිටි නිසා දිමුත් හැකිතාක් වේලාවක් කඩුල්ලේ රැඳී සිටීම ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමේ දී අනිවාර්ය සාධකයක් වනු ඇත. ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා වන රබාඩා සහ දින කිහිපයකට පෙර පාකිස්තානය අන්ත අසරණ කර දැමූ ඔලිවියර් වැනි සුපිරි පන්දු යවන්නන් හමුවේ අද ඕෂධ ප්‍රනාන්දු දැක්වූ දක්ෂතා ද අගය කළ යුතුය. ඒ ඔහු පිතිකරුවෙකු ලෙස මංගල ටෙස්ට් තරගයට සහභාගි වන්නේ ලොව භයානකම පන්දු යවන්නන් පිරිසකට එරෙහිව වීම නිසයි.

ධනාත්මකව පිතිකරණයේ යෙදුණු ඕෂධ දිනය නිමා වෙද්දී නොදැවී ලකුණු 17ක් ලබා සිටියි. ඔහු අද තමාව දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට අවස්ථාවක් ප්‍රතිවාදීන්ට ලබා දුන්න ද වාසනාවකට ඉන් ඵල නෙලා ගැනීමට දකුණු අප්‍රිකානුවන්ට හැකි වූයේ නැත. තණතිල්ලේ හැසිරීම ගැන සැලකීමේ දී දකුණු අප්‍රිකානුවන් තම ප්‍රථම ඉනිමේ දී ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට අපොහොසත් වූ බව පැහැදිලි නමුත්, ශ්‍රී ලංකා පිතිකරුවන්ට ද ඔවුන් අභිබවා යාම එතරම් පහසු නොවනු ඇත. ඒ රබාඩා, ස්ටේන්, ෆිලැන්ඩර්, ඔලිවියර් මෙන්ම මහරාජ් ද ඔවුන්ගේ රාජධානිය තුල බිහිසුණු පන්දු යවන්නන් වන බැවිනි. එබැවින් “අතට ලැබුණු දේ කටට දමා ගැනීමට” ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකි වූවා දැයි හෙට දිනයේ සවස් යාමය වන විට දැන ගන්නට ලැබෙනු ඇත.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 235 (පන්දුවාර 59.4) : ක්වින්ටන් ඩි කොක් 80, ටෙම්බා බවුමා 47, ෆැෆ් ඩු ප්ලෙසිස් 35, කේශව් මහරාජ් 29, ඩේල් ස්ටේන් 15, ඒඩන් මාර්ක්‍රම් 11, විශ්ව ප්‍රනාන්දු 4/62, කසුන් රාජිත 3/68, සුරංග ලක්මාල් 1/29.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 49 (පන්දුවාර 16) : දිමුත් කරුණාරත්න 28*, ඕෂධ ප්‍රනාන්දු 17*, ඩේල් ස්ටේන් 1/10.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<