2017 ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට විවරණයක්

345

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සාර්ථකව පැවැත්වූ “95 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය” පසුගිය 31 වැනිදා ආරම්භ වූ අතර එය සැප්තැම්බර් 2 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700කට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයක් ලැබී තිබුණු අතර, විවෘත තරගාවලියක් ලෙස පවත්වන මෙම තරගාවලිය සඳහා මලල ක්‍රීඩාවේ නිරත සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී වීමේ අවස්ථාව හිමි වී තිබුණි. මෙම තරගාවලිය එළඹෙන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට හා පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා තේරීම් තරගයක් වශයෙන් සැලකූ අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුද්ගලික දක්ෂතා ප්‍රකට කළ හැකි තරගාවලියක් ලෙස ද සලකන ලදි. මේ සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ සියලුම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහභාගී විය. එසේම තවත් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙන‍ෙක්ම ආබාධවලට ලක්ව සිටි නිසාවෙන් එම තරගාවලිය සඳහා සහභාගි වූයේ නැත.

මෙම තරගාවලිය අවසානයේ නව ජාතික වාර්තා 3ක් හා නව තරග වාර්තා 8ක් අලුතින් ලියවූ අතර එක් තරග වාර්තාවක් සම කිරීමට මේ සඳහා සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි විය. එය ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ අනාගතයට සුභදායී ලකුණක් විය.

පළමු දිනය

මෙම දිනය තුල බොහෝ තරග ඉසව්වල මූලික වටයේ තරග පැවැත්වූ අතර ඉසව් කිහිපයක අවසන් මහා තරග ද පැවැත්විය.

මීටර 10,000 පිරිමි ධාවන තරගයේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එස්. ඒ. ලේකම්හේවාගේ 36:02.56ක කාලයක් සනිටුහන් කරගෙන සිය ඉසව් අවසන් කළ අතර, ඒ. එන්. එල්. ආරියදාස (36:02.82) හා එම්. එස්. පී. එම්. පෙරේරා (36:56.58) පිළිවෙළින් එහි දෙවන හා තෙවන ස්ථානයන් ජයග්‍රහණය කරන ලදි.

පී. කේ. ඒ. ඒ මදුවන්ති
පී. කේ. ඒ. ඒ මදුවන්ති

කවපෙත්ත විසිකිරීම තරග ඉසව්වේ කාන්තා අවසන් මහා තරගයේ දී පළමු ස්ථානයන් පහම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් වූ අතර එහි දී පී. කේ. ඒ. ඒ මදුවන්ති මීටර 41.67 ක දුරකට කවපෙත්ත විසිකිරීමෙන් මෙම ඉසව්වේ පළමු ස්ථානය ජයග්‍රහණය කළාය. එහි දෙවන හා තෙවන ස්ථානයන් ජයග්‍රහණය කිරීමට ඩබ්. එම්. එස්. කේ. වීරසේකර (මීටර 41.50) හා ඒ. ජී. වී. වී. ලක්මාලි (මීටර 39.04) සමත් වූවාය.

පිරිමි කවපෙත්ත විසිකිරීමේ අවසන් මහා තරගයේ දී කේ. ජී. යූ. පී. ජයවර්ධන මීටර 50.77ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් එහි ප්‍රථමයා බවට පත්විය. මීටර 42.48ක දක්ෂතාවයක් හා මීටර 41.32ක දක්ෂතාවයක් දැක්වූ  ටී. එම්. ආසික් හා එච්. එම්. පී. ජී. ඩී. බී. රත්නායක පිළිවෙළින් එම ඉසව්වේ දෙවැන්නා හා තෙවැන්නා බවට පත්විය.

යුද, ගුවන් දක්ෂතා මැද ප්‍රථම දිනය නිමා වෙයි

මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන 95 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද (31) ආරම්භ වූ අතර එය හෙට (1) සහ අනිද්දා (2) යන දින තුන පුරා දියගම…

දෙවන දිනය

දිනය තුල කැපී පෙනෙන ඉසව්ව බවට පත්වූ කාන්තා රිටි පැනීමේ අවසන් තරගයේ දී අනීතා ජෙගතීශ්වරන් මීටර 3.47ක් තරණය කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවන ලදි. එහි දෙවන හා තෙවන ස්ථානයන් එස්. පී. රණසිංහ (මීටර 3.20) හා සී. හෙරීනා (මීටර 3.00) ජයග්‍රහණය කළාය. මෙවර තරගාවලියේ වාර්තා වූ ප්‍රථම ජාතික වාර්තාව මෙයයි.

දසප්‍රයාම ඉසව්වට සමගාමීව පැවැත්වූ පිරිමි මීටර 1500 තරග ඉසව්වේ පළමුවැන්නා ලෙස අවසන් කළ අජිත් කුමාර කරුණාතිලක (4:49.0) ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් බිඳ හෙලූ අතර, ඔහු විසින්ම මෙම වර්ෂයේ දී බැංකොක් නුවර දී ප්‍රසාද ලකුණු 6919ක් ලබාගෙන තබා තිබූ වාර්තාව මෙහි දී බිඳ හෙලීය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ යුපුන් ප්‍රියදර්ශන ක්‍රීඩකයා
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ යුපුන් ප්‍රියදර්ශන ක්‍රීඩකයා

ඒත් සමඟින් මෙම තරගාවලි ඉතිහාසය තුල ද ඔහු විසින්ම තබා තිබූ වාර්තාව (ප්‍රසාද ලකුණු 6724) බිඳ හෙලීම සුවිශේෂී සිදුවීමක් වූ අතර එ් නිසාවෙන් අජිත් කුමාර දසප්‍රයාම ඉසව්වෙන් ප්‍රසාද ලකුණු 7000 සීමාව පසු කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විය. දසප්‍රයාම ඉසව්ව අවසානයේ අජිත් කුමාර සම්පූර්ණ ලකුණු 7096ක් ලබා ගැනීමට සමත් විය. මෙය තරගාවලියේ දී බිහි වූ දෙවැනි ජාතික වාර්තාව විය.

තවද කාන්තා සත්ප්‍රයාම ඉසව්ව නියෝජනය කළ ඩබ්. වී. එල්. සුගන්දි ක්‍රීඩිකාව සියලු ඉසව් අවසානයේ ප්‍රසාද ලකුණු 4979ක් ලබාගෙන ඇය විසින්ම තබා තිබූ ජාතික වාර්තාව බිඳ හෙලීය. මෙය තරගාවලියේ වාර්තා වූ තෙවන සහ අවසන් ජාතික වාර්තාවයි.

2013 වර්ෂයේ පැවැත්වූ ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ, මීටර 1500 කාන්තා ඉසව්වේ වාර්තාවක්ව තිබූ 4:21.00 කාලය, ගයන්තිකා අබේරත්න විසින්ම මෙවර බිඳ හෙළීමට සමත් විය. මෙවර 4:20.64 කාලයක් සනිටුහන් කරමින් ඇය එම නව තරග වාර්තාව පිහිටුවන ලදි.

කාන්තා යගුලිය විසිකිරීමේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ ඩබ්. කේ. ටී. ප්‍රනාන්දු (මීටර 14.52) විසින් මෙම තරගාවලි ඉතිහාසය තුල නව තරග වාර්තාවක් පිහිටවූ අතර, ඇය විසින් බිඳ හෙළන ලද්දේ 2012 වර්ෂයේ දී එන්. එම්. ඩී. මුතුනායක (මීටර 14.50) ක්‍රීඩිකාව විසින් පිහිටුවා තිබූ තරග වාර්තාවකි. එහි සුවිශේෂත්වය වූයේ පැරණි වාර්තාවට හිමිකම් කියූ මුතුනායක (මීටර 12.62) මෙහි දී දෙවන ස්ථානය දිනා ගැනීමයි.

මීටර 100 පිරිමි ඉසව්ව ජයග්‍රහණය කළ යුපුන් ප්‍රියදර්ශන තත්පර 10.52ක කාලයක් තුල සිය ඉසව්ව අවසන් කරමින් මෙවර තරගාවලියේ වේගවත්ම මිනිසා වූ අතර, එහි කාන්තා ඉසව්ව තත්පර 11.82කින් අවසන් කළ කුමාරි රත්නායක (කෑගල්ල දිස්ත්‍රික් මලල ක්‍රීඩා සමාජය) මෙවර තරගාවලියේ වේගවත්ම කාන්තාව ලෙස අභිසෙස් දිනා ගන්නා ලදි.

හෙල්ල විසිකිරීම කාන්තා අවසන් මහා තරගයේ දී කේ. ඒ. එම්. පී. සිල්වා මීටර 48.44ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් මෙහි පළමු වන ස්ථානය ජයග්‍රහණය කළාය.

පිරිමි උස පැනීමේ ඉසව්වේ දී මංජුල කුමාර (මීටර 2.21) හා කරට කර තරගයක් දීමට යොවුන් ක්‍රීඩක උශාන් තිවංක (මීටර 2.15) සමත් වුවද, මංජුල තම ස්ථානය සුරක්ෂිත කර ගත්තේය.

තරගාවලි වාර්තා සහ ජාතික වාර්තා අලුත් වූ දිනයක්

එළඹෙන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට හා පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා තරග සඳහා දක්ෂයින් සොයා යන “95 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය” ඊයේ (31) ආරම්භ වූ අතර…

තෙවන හා අවසන් දිනය

ඉශාර සඳරුවන් පිරිමි රිටි පැනීමේ අවසන් මහා තරගයේ දී මීටර 5.00ක උසක් තරණය කරමින් ඔහු විසින්ම පසුගිය වසරේ දී තැබූ තරග වාර්තාව සම කරන ලදි.

Figure 2ඉශාර සඳරුවන් ක්‍රීඩකයා
Figure 2ඉශාර සඳරුවන් ක්‍රීඩකයා

තුන් පිම්ම කාන්තා අවසන් මහා තරගයේ දී විදූශා ලක්ෂානි (මීටර 13.43) නව තරග වාර්තාවක් පිහිටු වීමට සමත් විය. මෙහි දී ඇය විසින්ම 2015 වර්ෂයේ තබන ලද තරග වාර්තාව බිඳ හෙලීය.

කාන්තා මිටිය විසිකිරීමේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ අයේශා මදුවන්ති (මීටර 47.95) නව තරග වාර්තාවක් පිහිටුවන ලදි.

මීටර 3000 පිරිමි බාධක දිවීමේ අවසන් තරගයේ දී ආර්. එම්. එස්. පුෂ්පකුමාර 8:52.19ක කාලයක් තුල එම ඉසව්ව අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවන ලදි. මීට පෙර 2003 වර්ෂයේ දී පිහිටුවා තිබූ තරග වාර්තාවට හිමිකම් කීවේ ජී. එස්. පී. මෙන්ඩිස් (8:55.07) ක්‍රීඩකයායි.

කාගේත් අවධානය දිනා ගත් තරග ඉසව්වක් වූ පිරිමි මීටර 110 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ දී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ කේ. පී. එච්. නිර්මාල් (14.48) හා එම්. ආර්. වොශිම් ඉල්හාම් (14.57) පිළිවෙළින් එහි පළමු හා දෙවන ස්ථානයන් ජයග්‍රහණය කරන ලදි.

ගයන්තිකා අබේරත්න (ශ්‍රී ලංකා නාවික හමුදාව) මීටර 800 කාන්තා ඉසව්වේ දී 2:05.69ක කාලයක් සනිටුහන් කරමින් එහි පළමුවැන්නා විය. එහි පිරිමි ඉසව්වේ දී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ ඉඳුනිල් හේරත් 1:48.83ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළේය.

හෙල්ල විසි කිරීමේ පිරිමි අවසන් තරගයේ දී ඩී. එස්. රණසිංහ මීටර 76.92ක් වාර්තා කර ගත්තේ එහි පළමු ස්ථානය තහවුරු කර ගනිමිනි. කාන්තා උස පැනීමේ අවසන් තරගයේ දී ඩී. කේ. රණසිංහ මීටර 1.76ක උසක් තරණය කළේය.

නව ජාතික වාර්තා 3ක් සමඟින් තරගාවලිය සාර්ථකව නිමා වෙයි

පුරා දින තුනක් (අගෝස්තු 31, සැප්තැම්බර් 1, 2) පුරාවට දියගම මහින්ද රාජපක්ෂ පිටියේ දී පැවැත්වූ 95 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ නිමාව…

තරගාවලිය අවසානයේ වඩාත් දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්

  • මංජුල කුමාර (උස පැනීම)
  • අනීතා ජෙගතීශ්වරන් (රිටි පැනීම)
  • රුමේශිකා රත්නායක (මීටර 200)
  • අජිත් කරුණාතිලක (දසප්‍රයාම)
  • ඩබ්. වී. එල්. සුගන්දි (සත්ප්‍රයාම)
  • ගයන්තිකා අබේරත්න (මීටර 800)
  • ඉශාර සඳරුවන් (රිටි පැනීම)
  • විදූශා ලක්ෂානි (තුන් පිම්ම)
  • යුපුන් ප්‍රියදර්ශන (මීටර 100)
  • ඩී. එම්. ලියනපතිරණ (දුර පැනීම)
  • ඩබ්. කේ. ටී. ප්‍රනාන්දු (යගුලිය විසිකිරීම)
  • ඉඳුනිල් හේරත් (මීටර 800)
  • අයේශා මදුවන්ති (මිටිය විසිකිරීම)

අනාගතය මලල ක්‍රීඩාව නැංවීමට ඇති හැකියාව

ශ්‍රී ලංකාව තුල දක්ෂ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක්ම සිටින බව මෙම තරගාවලිය අවසානයේ දී අපට තේරුම් ගිය අතර, නමුත් අප ඔවුන් සමඟින් කළ කතා බහේ දී අප හට තේරුම් ගිය එක් ප්‍රබල අඩුපාඩුවක් නම්, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ මලල ක්‍රීඩා ඉසව් පැවැත්වීමට හැකි ධාවන පථයක් නොමැති බව ඒ අතුරෙන් ඉහළින්ම ඇති කරුණක් යන්නයි.

දියගම මහින්ද රාජපක්ෂ පිටියේ හා සුගතදාස පිටියේ ඇති මලල ක්‍රීඩා ධාවන පථය ඉතාමත් අබලන් වී ඇති අතර, දියගම පිටියේ පථයට තැනින් තැන පැලැස්තර හෝ යොදා තිබුණි. ක්‍රීඩාව නැංවීමට නම් මූලික වශයෙන් හොඳ ධාවන පථයක් තිබීම වැදගත් කරුණකි. එසේම මෙවන් පහසුකම් යටතේ පවා ජාතික වාර්තා බිහිවීම සම්බන්ධයෙන් අප ශ්‍රී ලාංකිකයන් ලෙස සතුටට පත්විය යුතුය. තවද අනාගතය තුල මෙම මූලික අඩුපාඩුකම් සපුරාලීමට හැකිවුවහොත් මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර  පදක්කම් අපට ලැබෙන දිනය වැඩි ඈතක නොවෙනු ඇත.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට