පුරා දින තුනක් (අගෝස්තු 31, සැප්තැම්බර් 1, 2) පුරාවට දියගම මහින්ද රාජපක්ෂ පිටියේ දී පැවැත්වූ 95 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ නිමාව අද (2) සාර්ථකව නිමාවට පත් විය. අද (2) දිනය තුල දී නව තරග වාර්තා දෙකක් බිහි වූ අතර තවත් එක් තරග වාර්තාවක් සම විය.

තරගාවලි වාර්තා සහ ජාතික වාර්තා අලුත් වූ දිනයක්

එළඹෙන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට හා පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා තරග සඳහා දක්ෂයින් සොයා යන “95 වැනි ජාතික ශූරතා..

ජවන ඉසව්

තෙවන හා අවසන් දිනයේ තරග ඉසව් ආරම්භ කරමින් පැවැත්වූ මීටර 5000 කාන්තා අවසන් තරගයේ දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ එම්. යූ. එම්. එන්. ප්‍රියදර්ශනී 17:20.4ක කාලය තුල ඇයගේ ඉසව්වේ නිමාව සනිටුහන් කළාය. එහි දෙවන ස්ථානය ඒ. එන්. එල්. ආරියදාස (17:31.4) ජයග්‍රහණය කරන විට එස්. ඒ. ළමාහේවගේ 17:37.8 කාලයක් තුල තරගය අවසන් කරමින් එහි තෙවන ස්ථානය ජයග්‍රහණය කරන ලදි.

මීටර 100 කාන්තා කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ දී ඩබ්. වී. අයි. සුගන්දි (14.36) හා එච්. ඩබ්. කේ. හපුආරච්චි (15.25) යන ක්‍රීඩිකාවන් දෙදෙනා පිළිවෙළින් එහි පළමු හා දෙවන ස්ථානයන් ජයග්‍රහණය කරන ලදි. ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ලදි. තත්පර 15.57ක කාලයක් තුල ඉසව්ව අවසන් කළ ඩී. පී. මොහොට්ටාල එහි තෙවන ස්ථානය ජයග්‍රහණය කළාය.

කාගේත් අවධානය දිනා ගත් තරග ඉසව්වක් වූ පිරිමි මීටර 110 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ දී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ කේ. පී. එච්. නිර්මාල් (14.48) හා එම්. ආර්. වොශිම් ඉල්හාම් (14.57) පිළිවෙළින් එහි පළමු හා දෙවන ස්ථානයන් ජයග්‍රහණය කරන ලදි. එහි තෙවන ස්ථානය ඒ. ඒ. එස්. එස්. අමරතුංග දිනා ගත්තේය.

පිරිමි මීටර 800 මූලික වටයේ තරගවල දී යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඉඳුනිල් හේරත් 1:50.51ක කාලයක් සනිටුහන් කරමින් එහි පෙරමුණ ගත්තේය. තවද පිරිමි මීටර 200 අවසන් පූර්ව තරග ඉසව්වේ දී එච්. එස්. එස්. කුමාර තත්පර 21.40ක කාලයක් තුල සිය ඉසව්ව අවසන් කළේ එහි අවසන් පූර්ව වට සියල්ලේම පෙරමුණ ගනිමිනි. ඔහු ද ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළේය.

කාන්තා මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ අවසන් තරගයේ දී 1:00.89ක දක්ෂතාවයක් පෙන්නුම් කළ ඊ. කේ. මදුශානි එහි පළමුවැන්නා විය. එහි දෙවැන්නා වූයේ එන්. ජී. ඩී. එන්. ලක්මාලි (1:00.95) ක්‍රීඩිකාවයි.

51.05ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් ඒ. එල්. ඒ. අයි. රත්නසේන ක්‍රීඩකයා මීටර 400 පිරිමි කඩුලු මතින් දිවීමේ තරගයේ දී එහි රන් පදක්කම් ජයග්‍රහණය කරන ලදි.

මීටර 200 කාන්තා අවසන් තරගයේ දී ආර්. එම්. ආර්. කුමාරි රත්නායක 24.40ක කාලයක් තුල සිය ඉසව්ව අවසන් කරමින් එහි රන් පදක්කම ජයග්‍රහණය කළාය. එහිම පිරිමි ඉසව්වේ දී එච්. එම්. දිලීප රුවන් (21.49) කාලයක් තුල ඉසව්වේ අවසානය සනිටුහන් කළේ එහි පළමුවැනි ස්ථානය තහවුරු කර ගනිමිනි.

ගයන්තිකා අබේරත්න (ශ්‍රී ලංකා නාවික හමුදාව) මීටර 800 කාන්තා ඉසව්වේ දී 2:05.69ක කාලයක් සනිටුහන් කරමින් එහි පළමුවැන්නා විය. එහි පිරිමි ඉසව්වේ දී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ ඉදුණිල් හේරත් 1:48.83ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළේය.

ඒ. කේ. තරංග 14:43.43ක කාලයක් තුල මීටර 5000 පිරිමි අවසන් තරගය අවසන් කළේ එහි ප්‍රථමයා වෙමිනි.

පිටිය ඉසව්

කාන්තා මිටිය විසිකිරීමේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ අයේශා මදුවන්ති (මීටර 47.95) නව තරග වාර්තාවක් පිහිටුවන ලදි. ඇය විසින්ම 2016 වර්ෂයේ දී පැවැත්වූ තරගාවලිය තුල තබා තිබූ (මීටර 44.14) තරග වාර්තාව මෙහි දී බිඳ වැටුණි. එහි දෙවන හා තෙවන ස්ථානයන් ජයග්‍රහණය කිරීමට ඒ. ඩබ්. ඒ. එස්. එම්. අමරසිංහ (මීටර 46.56) හා එච්. ඒ. ඒ. ලක්ෂිකා (මීටර 44.09) සමත් විය.

තුන් පිම්ම කාන්තා අවසන් මහා තරගයේ දී විදූශා ලක්ෂානි (මීටර 13.43) නව තරග වාර්තාවක් පිහිටු වීමට සමත් විය. මෙහි දී ඇය විසින්ම 2015 වර්ෂයේ තබන ලද තරග වාර්තාව බිඳ හෙලීය. මෙම ඉසව්වේ දෙවන ස්ථානය ජයග්‍රහණය කළ කේ. ඒ. එස්. දුලාංජලී (මීටර 13.21) හා කේ. ඒ. ටී. ලක්ෂානි (මීටර 12.40) පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථානයන් ජයග්‍රහණය කරන ලදි.

ඉශාර සඳරුවන් පිරිමි රිටි පැනීමේ අවසන් මහා තරගයේ දී මීටර 5.00ක උසක් තරණය කරමින් ඔහු විසින්ම පසුගිය වසරේ දී තැබූ තරග වාර්තාව සම කරන ලදි.

හෙල්ල විසි කිරීමේ පිරිමි අවසන් තරගයේ දී ඩී. එස්. රණසිංහ මීටර 76.92ක් වාර්තා කර ගත්තේ එහි පළමු ස්ථානය තහවුරු කර ගනිමිනි. කාන්තා උස පැනීමේ අවසන් තරගයේ දී ඩී. කේ. රණසිංහ මීටර 1.76ක උසක් තරණය කළේය.

පිරිමි දුර පැනීම අවසන් තරගයේ දී ඩී. එම්. ලියනපතිරණ මීටර 7.97ක දුරක් තරණය කරමින් එහි පළමුවැන්නා බවට පත්විය.

මෙම තරගාවලිය අවසානයේ නව ජාතික වාර්තා 3ක් හා නව තරග වාර්තා 8ක් අලුතින් ලියවූ අතර එක් තරග වාර්තාවක් සම කිරීමට මේ සඳහා සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි විය.

සම්මාන ප්‍රදානෝත්සවය

ඩන්කන් වයිට් අභියෝගතා කුසලානය – ඒ. එල්. ඒ. එල්. රත්නසේන (ශ්‍රී ලංකා යුද හමුදා  ක්‍රීඩා සමාජය – මීටර 400 කඩුලු)

සී. සී. දසනායක අභියෝගතා කුසලානය – ඩී. එස්. රණසිංහ (ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය – හෙල්ල විසිකිරීම)

එන්. එම්. වාසගම් අභියෝගතා කුසලානය – මංජුල කුමාර  (ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – උස පැනීම)

හෝර්ලික්ස් අභියෝගතා කුසලානය – දිලීප් රුවන්  (ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය – මීටර 400)

ඇන්තනී අබේසිංහ අභියෝගතා කුසලානය – මංජුල කුමාර  (ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – උස පැනීම)

චන්දි කන්නංගර සමරු කුසලානය – උපමාලි රත්නාකුමාරි (ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය – මීටර 400)

ග්‍රේලයින් සමූහ අභියෝගතා කුසලානය – ගයන්තිකා අබේරත්න ( ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය – මීටර 800)

හක්ලීස් වින්ටිජනෝ අභියෝගතා කුසලානය – යූ. කේ. එන්. රත්නායක ( ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය – මීටර 3000 බාධක දිවීම)

ග්ලුකොලින් අභියෝගතා කුසලානය – ඊ. කේ. මුදුශානි (ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය – මීටර 400 කඩුලු මතින් දිවීම)

එච්. එන්. බී. අභියෝගතා කුසලානය – විදූශා ලක්ෂානි (ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය – දුර පැනීම)

සැලොන්පස් අභියෝගතා කුසලානය – ඩබ්. කේ. ටී. ප්‍රනාන්දු (ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය  – යගුලිය විසිකිරීම)

ආණ්ඩුකාර ජෙනරාල් කුසලානය – ඉඳුනිල් හේරත් (ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය – මීටර 800)

කොළඹ ආපනශාලා කමිටු අභියෝගතා කුසලානය – උපමාලි රත්නාකුමාරි (ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය  – මීටර 400)

විල්ටන් බාත්ලෙට් අභියෝගතා කුසලානය – මංජුල කුමාර  (ශ්‍රී ලංකා ගුවන් හමුදා  ක්‍රීඩා සමාජය – උස පැනීම)

වයිරාවන්තන් සමරු අභියෝගතා කුසලානය – මංජුල කුමාර  (ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – උස පැනීම)

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට