මෑඩ් මැක්ස්, තැන්පත් අරවින්දයක් කළ මේට්ලන්ඩ් පෙදෙසේ හටන

190
Image courtesy : Getty Images

1987 වසරේ එක්තරා අවාසනාවන්ත සමයක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමක් මෙරට සංචාරයක නිරත වෙමින් සිටියහ. මෙම සංචාරයේ පළමු ටෙස්ට් තරගය අතරතුර පිටකොටුව බස් නැවතුම් පොළේ විශාල බෝම්බයක් පුපුරා ගිය අතර මෙම බෝම්බයෙන් නවසීලන්ත කණ්ඩායම ගමන් ගත් බස් රථය බේරුණේ දේව හාස්කමකින් මෙනි.

සවනට කොඳුරා මරණය සිහි කළ කොදෙව් අකුණු සැරය

“මම ඉපදුණේ ක්‍රීඩාවට ඉතාම ලැදි පවුලක. පාසලේ දී පවා මම හැකි සෑම….

එනපොට හොඳ නැති බව වටහා ගත් නවසීලන්ත කණ්ඩායම වහ වහාම සංචාරය අවලංගු කොට කද මළු පොදි බැඳගෙන මෙරටින් පිටව ගියහ.

එතැන් පටන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එළඹියේ නියං සමයකි. ජාත්‍යන්තර කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගෙන ක්‍රිකට් තරඟයක් නරඹන්නට තවත් වසර පහක් ඉවසන්නට මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සිදු විය.

1992 අගෝස්තු අට වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉඩෝරය නිමා කරන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් මෙරටට පැමිණියහ. ඔවුන් පැමිණ සිටියේ ඕස්ට්‍රේලියාවෙනි. 

ඕස්ට්‍රේලියානුවන් පැමිණ සිටියේ හිස් අතින් නොවේ. ටෙස්ට් තරග තුනක් සහ එක්දින ජාත්‍යන්තර තරග තුනක පූර්ණ ක්‍රිකට් තරගාවලියක් ඔවුන්ගේ සංචාරයට ඇතුළත් වී තිබුණි. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහි පැමිණීමට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් රිචර්ඩ්ස් මහතා මෙරටට පැමිණ ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය විමසා බලා දුන් සහතිකය සහ තක්සේරුව මත තරගාවලියට ඕස්ට්‍රේලියාවෙන් අනුමැතිය ලැබුණි.

ශ්‍රී ලංකා හදවත පසාරු කළ කැන්ගරු හිතුවක්කාරයා

1992 අගෝස්තු මස දිනෙක සිංහල සමාජ පිටියේ දී ක්‍රිකට් ලෝකයට නව……..

1992 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සිංහල සමාජ ක්‍රීඩා පිටියේ පැවැත්වුණ පළමු ටෙස්ට් තරඟයේ දින හතර හමාරක් පුරාවටම තම ආධිපත්‍ය පතුරවා ගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි දිනයේ තේ පානයෙන් අනතුරුව නොසිතූ පරාජයක් වැළඳ ගත්‍හ.

“1992/93 කියන්නේ අපිට ඇත්තටම ඉතාම වැදගත් තරග සමයක්. කලකට පස්සේ බොහෝමයක් ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රී ලංකාවට ආපු කාලයක් ඒක. කොහොමත් ඕස්ට්‍රේලියානුවන් එනවා කියන්නේ අමාරු සංචාරයක්.”

1992 ඕස්ට්‍රේලියානු තරගාවලිය ගැන ශ්‍රී ලංකා කණ්ඩායමේ නොම්මර තුන ස්ථානයේ වගකීම දැරූ අසංක ගුරුසිංහ සිය මතකය ආවර්ජනය කරන්නේ එලෙසය.

ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංගගේ ආරාධනාවෙන් මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත හැකි වූයේ ලකුණු 256කි.

ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට වඩාත්ම තර්ජනාත්මක ස්වරූපයකින් පන්දු යැව්වේ චන්දික හතුරුසිංහ නම් කිසිවෙකු නොසිතූ පන්දුකරුවාය.

“එය මගේ හතර වැනි ටෙස්ට් තරගය. දිවා ආහාරයට පෙර අර්ජුන මගේ අතට පන්දුව ලබා දුන්නා. මා යැවූ පන්දුවකට මාක් ටේලර් ලබා දුන් උඩපන්දුවක් ස්ලිප් කලාපයේ දී ගිලිහුණා.

දිවා ආහාර විවේකය අතරතුර මට රංජන් මඩුගල්ලේ මුණගැහුණා. ඔහු එවකට තේරීම් කමිටු සාමාජිකයෙක්. ඔහු මට විහිළුවක් කරමින් කිව්වා තණතිල්ලේ මොකක් නමුත් අවුලක් ඇති බව. නැත්නම් ඔබට මුල්පෙළ පිතිකරුවෙකුට ඒ ආකාරයෙන් පන්දු යැවිය නොහැකි බව. මට නැවත අවස්ථාවක් ලැබුණොත් මට කළ හැකි දේ පෙන්වන්නම් මම ඔහුට හිනහෙමින් කිව්වා.

ඒ දිනවල අපි පාචිච්චි කළේ ග්‍රේස් කැවලියර් පන්දු. එහි තරමක ඉලිප්පුණු සීමයක් තිබුණා. ඒ නිසාම මට හොඳ දෝලනයක් ලබාගත හැකි වුනා.

දිවා ආහාරයෙන් පසුව මා පුදුමයට නැවත වතාවක් පන්දු යැවීම මට ලබා දුන්නා. එයටත් වඩා මා පුදුමයට පත්වුණේ මගේ පන්දු හමුවේ ඕස්ට්‍රේලියානු මුල්පෙළ කඩුලු හතරක් දැවී ගිය විටයි.

ඩේවිඩ් බූන්, ඩීන් ජෝන්ස්, මාක් වෝ සහ නායක ඇලන් බෝඩර් ඉතාම කිට්ටු කාල පරාසයක් තුළ මගේ පන්දු හමුවේ දැවී ගියා.

ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට කිසිම අදහසක් තිබුණේ නැහැ පන්දුව දෝලනය වන්නේ කුමන පැත්තට ද කියා. ඊටත් වඩා මට කිසිම අදහසක් තිබුණේ නැහැ මා යවන පන්දු කුමන පැත්තට දෝලනය වෙනවා ද කියා.

තරගාවලියට පෙර අපි වීඩියෝ දත්ත අධ්‍යයනයක් කළා ඉන්දියාවේ කපිල් දේව් ඇලන් බෝඩර්ට පන්දු යවන ආකාරය. මා බෝඩර්ට යැවූ පන්දුව දෝලනය වී ඔහු තුළට පැමිණ කෙළින්ම කඩුල්ලේ වැදුණා. මම තවමත් බෝඩර්ට යැවූ ඒ පන්දුව ගැන කතා කරනවා.”

ඉයන් හීලීගේ සටන්කාමි ඉනිම නොවන්නට ඕස්ට්‍රේලියානුවන් තවත් අසරණවන්නට ඉඩ තිබුණි.

ශ්‍රී ලාංකිකයින්, මාර්ටින් ක්‍රෝ එවරස්ට් මුදුනින් බිම හෙළයි

“එය එවරස්ට් කන්ද මුදුනටම නැග අවසන් අඩි කිහිපයේ දී මස්පිඩු පෙරළීමකට….

“ඕස්ට්‍රේලියානුවන් පැයට කි.මී 120-125 අතර දෝලනය වන පන්දුවලට මුණ දෙන්නට පුරුද්දක් තිබුණේම නැහැ. ” 

අසංක ගුරුසිංහ තම සගයාගේ අදහස තවදුරටත් සනාථ කළේය.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියානුවන්ට ලැබුණේ ශක්තිමත් පිළිතුරකි.

කඩුලු අටක් දැවී ලකුණු 547ක් ලබා සිටිය දී ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග ඉනිම අත්හිටවන්නට තීරණය කළේය.

කුළුඳුලේ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන රොමේෂ් කළුවිතාරණ, අසංක ගුරුසිංහ සහ නායක අර්ජුන රණතුංගගේ ශතකවලින් ශ්‍රී ලංකා ඉනිම හැඩවී තිබුණි.

“හැමවිටම මම V හැඩයට පන්දුවට පහර දෙන්න උත්සාහ කළා. මගේ වගකීම වුණේ ඉනිම පුරාවටම පන්දුවට පහර දීම. මාත් අර්ජුනත් අතර ලකුණු 230ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැගුවා. ඉන්පසු කළු පැමිණ ඕස්ට්‍රේලියානුවන්ට හතර අතටම වේගයෙන් පන්දුවට පහර දුන්නා.

අර්ජුන කිව්වා ඔහු ෂේන් වෝන්ට ස්ථාවර වීමට නොදෙන බව. වෝනි යැවූ පන්දුවාර තුනකට ඔහු ලකුණු 29ක් සොරාගත්තා. අපි දැනගෙන හිටියා වෝන්ට ආක්‍රමණශීලී ලෙසින් පන්දුවට පහර දීම සෙසු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට පීඩනයක් ගෙන දෙන බව.”

ගුරුසිංහ පවසන්නේ අර්ජුන සමඟ පන්දුවට පහර දීම තමාගේ කාර්‍ය වඩාත් පහසු කළ බවය.

“කඩුලු දෙකක් පිට පිට දැවී ගියා. මාවන් අතපත්තු පිට පිටම ටෙස්ට් තරග දිවියේ මුල් ඉනිම තුනේ දී ම ලකුණු නොලබා දැවී ගියේ. මාවන්ගේ දැවී යෑමෙන් පසුව දිවා ආහාරයට තරගය නතර කෙරුණා. ඉන්පසුව පන්දුවට පහර දීමට සිටියේ මම.

මම තරමක නොඉවසිල්ලකින් හිටියේ. නමුත් ඉනිම පුරාවටම හතරේ පහර 26ක් එල්ල කිරීමට මට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම දඟපන්දු යවන්නන්ට ඉදිරියට පැමිණ පන්දුව පිළිගැනීමට මට හැකියාවක් තිබුණා.” 

රොමේෂ් කළුවිතාරණට සිය මංගල තරගය ගැන ඇත්තේ එවන් මතකයකි.

ඕස්ට්‍රේලියානුවන් සිය දෙවන ඉනිම ආරම්භ කළේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 291ක් පිටුපසින් සිටිමිනි. ඇලන් බෝඩර් සිය කණ්ඩායමේ සගයන්ගෙන් ඉල්ලා සිටියේ ධෛර්යය සම්පන්නව අධිෂ්ඨානශීලීව ක්‍රීඩා කරන ලෙසය.

සිය නායකයාගේ ඉල්ලීමට නියම සාධාරණයක් ඉටු කළ ඕස්ට්‍රේලියානුවෝ දෙවන ඉනිමට ලකුණු 471ක් රැස් කළහ.

ඒ අනුව පස්වැනි දිනයේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 58ක දී ලකුණු 181ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලැබී තිබුණි.

“අපි සියලු දෙනාම සෑහෙන උද්යෝගයට පත්වෙලා හිටියේ. තේ පානයට පෙර පන්දුවාරය ක්‍රියාත්මක කළේ වෝන්. මහානාම දැවී ගියාට පසුව කඩුල්ලේ එකතු වූ ගුරුසිංහ මට කිව්වා පන්දුවට පහර දීමේ අවස්ථාව මා වෙත තියා ගන්න කියා.

වෝන් ක්‍රියාත්මක කළ පළමු පන්දුවම මම මිඩ් ඕන් කලාපයට තල්ලු කරමින් වේගවත් ලකුණක් ලබා ගැනීමට උත්සාහ කළා. නමුත් ටොම් මූඩිගේ පන්දු රැකීම හමුවේ මට සිදු වුණේ ආපසු ක්‍රීඩාගාරයට යෑමට.” 

රොෂාන් මහානාම සමඟ අගනා ආරම්භයක් ලබා දුන් චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දැවී ගිය දෙවන කඩුල්ල විය.

හතුරුසිංහගේ දැවී යෑමෙන් අනතුරුව කඩුල්ලට එකතු වූ අරවින්ද ද සිල්වා ඕස්ට්‍රේලියානුවන් කිසිම ආකාරයකින් මායිම් නොකරමින් පන්දුවට පහර දෙන්නට විය. තරගයේ සියලුම පාලනය තමන් සතුව තිබිය දී අරවින්ද සිය කඩුල්ල ප්‍රතිවාදීන්ට පූජා කළේය. හතරේ පහර හතක් සමඟ ලකුණු 32ක් අරවින්ද ඒ වන විට ලබාගෙන සිටියේය.

“මම අරවින්දට කිව්වා තවත් ලකුණු පනහක් පමණ ලබා ගන්න තියෙන්නේ. අපිට හුරුපුරුදු විදියට ක්‍රීඩා කරමු කියල. එකවරම අරවින්ද, ක්‍රේග් මැක්ඩමර්ට්ගේ පන්දුවකට ඉදිරියට පැන වේගවත් පහරක් එල්ල කළා. ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් පසුපසට ගොස් උඩපන්දුව රැක ගැනීමට උත්සාහ කළත් එය ඔහුගේ අතේ වැදී ගිලිහී ගියා. අවාසනාවකට අරවින්ද මැක්ඩර්මට් යැවූ ඊළඟ පන්දුවටත් එවැනිම පහරක් එල්ල කළා. එවර නම් බෝඩර් කිසිම ලෙසකින් උඩපන්දුව අතහරින්නට සූදානමක් තිබුණේ නැහැ.” 

අනෙක් අන්තයේ අරවින්ද සමග පන්දුවට පහර දුන් ගුරුසිංහට තම සහායක පිතිකරුවාගේ හිතුවක්කාර පහර ගැන ඇත්තේ එවන් මතකයකි.

අරවින්දගේ දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්නට විය. තමා එල්ල පහර ගැන අරවින්ද දැඩි පසුතැවිල්ලට පත්වූ බව නොරහසකි.

වඩාත් වගකීම් සහගත පිතිකරුවෙකු තමා තුළින් බිහි කරගැනීමට මේ නිසා අරවින්දට හැකියාව ලැබුණි.

“විශ්වාස කරන්න අරවින්ද ඒ පහර එල්ල කළේ ටෙස්ට් තරගයක දී. “

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩීන් ජෝනස් අරවින්දගේ පහර ගැන තම විමතිය පළ කළේ එසේය.

“මේ තරගය වෙනස් කරන්න අපිට කුමක්ද කළ හැක්කේ ස්ලිප් කලාපයේ පන්දු රකිමින් සිටි මාක් ටේලර් නිතරම කොඳුරමින් සිටියේ. ඔහු එසේ පවසා හරියට ලකුණු දෙකක් ගතවන තැන අරවින්දගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා.

“එදා කඩුලු නමයක් දැවී තිබිය දී මා අතින් ස්ටම්ප් කිරීමක් මගහැරුණා. නමුත් වෝන් පැමිණ අවසන් කඩුල්ල ඉක්මනින් දවා ගත්තා. ඒ වෙනුවෙන් මම තවමත් වෝනිට ස්තූතිවන්ත වෙනවා” 

ඕස්ට්‍රේලියානුවන්ගේ විශ්වසනීය කඩුලු රකින්නා ඉයන් හීලී පවසන්නේය.

සිරිමත් ගති නැති ක්‍රිකට් ක්‍රීඩාවේ හොලිවුඩ් තරුව

රන්වන් හිසකේ ඇති අප කතානායක ඕස්ට්‍රේලියානු තරුණයා තරමක්…..

“අපේ පිතිකරුවන් විශාල පීඩනයක හිටියේ. ඉක්මනින් කඩුලු කිහිපයක් වැටුණා. මම තීරණය කළා වේගයෙන් පන්දුවට පහර දීමට නමුත් මට උපදෙස් ලැබුණේ හැකි තාක් වේලාවක් පන්දුවට පහර දීමට.” 

ශ්‍රී ලංකාව ලකුණු 16 පරාජයක් වැළඳ ගන්නා විට එක් අන්තයක හුදකලා සටනක් දියත් කරමින් සිටි ගුරුසිංහ පවසයි.

“අපේ ක්‍රීඩක විවේකාගාරය ඉතාම නිහඬ ස්වරූපයක් අරන් තිබුණේ. කඩුල්ලක් දැවී යන සෑම අවස්ථාවකම ඔවුන් මහ හඬින් ජයගෝෂා නැගුවා. එය අපට දැනුණේ නොකඩවා පපුවට පිහියෙන් ඇනීමක් ලෙසින්.”

සිය මංගල තරගයට ක්‍රීඩා කළ කළුවිතාරණට ලැබුණේ කිසිදා අමතක කළ නොහැකි අන්දමේ අත්දැකීමකි. පළමු ඉනිමේ ශතකයක් රැස් කරගත්ත ද දෙවැනි ඉනිමේ කළුවිතාරණට ලබාගත හැකි වූයේ ලකුණු හතරක් පමණි.

“කඩුලු හතරක් අතැතිව ලකුණු තිස් ගණනක් ලබා ගන්නට තිබිය දී මම ෂේන් වෝන් වෙත පන්දුව බාර කළා. එය අභියෝගාත්මක තීරණයක්. එම සුවිශේෂි තරග ජයග්‍රහණය නොවන්නට ෂේන් වෝන් නම් පුරාවෘත්තය බිහිනොවන්නට ඉඩ තිබුණා.”

ඇලන් බෝඩර් නම් නායකයා සිංහල සමාජ ක්‍රීඩා පිටියේ වික්‍රමය ගැන මතකය පසුකලෙක ආවර්ජනය කරන්නේ එසේය.

නාග්රාජ් ගොල්ලපුඩි සහ ඇන්ඩෲ ෆිඩෙල් ප්‍රනාන්දු ESPN Cricinfo වෙනුවෙන් කළ සාකච්ඡා ඇසුරු කරගෙන ලියන ලද්දකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<