වාර්තාගත පීතර, වලල සුසංයෝගය නැවතත් පාසල් මලල ක්‍රීඩා පිටිය කළඹයි

145

පුරා දින තුනක් මුළුල්ලේ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වූ 2019 සමස්ත ලංකා පාසල් සහය දිවීමේ ශූරතාවලිය අද (22) නිමාවට පත් වූයේ නව තරග වාර්තා 34ක් බිහිකිරීමට අවශ්‍ය අඩිතාලම සකසා දෙමිනි.

පාසල් සහය දිවීමේ යෂ්ටිය තවදුරටත් වලල ක්‍රීඩකයින් ග්‍රහණයට

2019 සමස්ත ලංකා පාසල් සහය දිවීමේ ශූරතාවය දෙවන දිනයටත් සුගතදාස….

ප්‍රතාපවත් ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි අනාගතය භාර ගැනීමට සිටින යොවුන් ක්‍රීඩා තාරකාවන්ගේ හැකියා දක්ෂතාවන් උරඟා බැලීම සඳහා මෙම තරගාවලිය මහඟු පිටිවහලක් වූ අතර පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙවර තරගාවලියේ දී එතෙක් පැවති තරග වාර්තා වැඩි ප්‍රමාණයක් බිඳහෙළනු ලැබීම වඩාත් කැපී පෙනුණු සිදු වීමක් බවට පත්විය.

පාසල් මලල ක්‍රීඩා පිටියේ දැවැන්තයින් දෙදෙනෙකු ලෙස නම් දරා සිටින බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය පසුගිය වර්ෂය මෙන් මෙවරත් පිළිවෙළින් බාලක සහ බාලිකා යන අංශයන්හී සමස්ත ශූරතාව හිමිකර ගත්හ.

සාන්ත පීතර විද්‍යාලයට වඩා ලකුණු 27ක් පිටුපසින් තරගාවලිය නිමාවට පත්කළ වලල ඒ. රත්නායක ක්‍රීඩකයෝ බාලක අංශයේ අනුශූරතාවට හිමිකම් කී අතර අවසන් ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 79ක් වාර්තා කර ගත් ගම්පහ සිරි කුරුස බාලිකාවන් එම අංශයේ අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.

>>තෙවැනි දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

පසුගිය දා නිමාව දුටු ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවයේ දී ද මේ ආකරයෙන්ම ජවන ඉසව්වන්හී තම ආධිපත්‍යය පතුරවාලූ පීතරයින් සහ වලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහය දිවීමේ සැණකෙළිය සඳහා මෙවර ඉදිරිපත් වූයේ, එසේ කලින් ලැබූ පෙර සූදානමේ වාසිය ද තම ඇතැතිවයි. එහි දී ලබා ගත් අත්දැකීම් සියල්ල කැටිකොට ගනිමින් නව උපාය මාර්ගයන් තනා ගත් කණ්ඩායම් දෙකේම තරගකරුවෝ නව තරග වාර්තා 34න් 12ක්ම තම පාසල් නාමය ඉදිරියේ රන් අකුරින් සටහන් කරගැනීමට උපරිම දායකත්වය සැපයූහ.

අතිශය උණුසුම් මුහුණුවරක් ගත් තෙවැනි දිනය තුල ක්‍රියාත්මක වූ මිශ්‍ර සහය දිවීම, මීටර් 200×4 සහය දිවීම, 50×4 සහය දිවීම සහ මීටර් 400×4 සහය දිවීම යන ධාවන ඉසව්වන්ගේ තීරණාත්මක අවසන් මහා තරග සඳහා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි විය.

පාසල් සහය දිවීමේ යෂ්ටිය තවදුරටත් වලල ක්‍රීඩකයින් ග්‍රහණයට

2019 සමස්ත ලංකා පාසල් සහය දිවීමේ ශූරතාවය දෙවන දිනයටත් සුගතදාස……

එසේ ලද නොමඳ දිරිගැන්වීම් සියල්ල මධ්‍යයේ පන්නරය ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙසේ හෝ තම පාසලේ අභිමානය රැකගැනීම උදෙසා අව් වැසි නොතකා දැඩි සටනක නියැලෙනු දක්නට ලැබුණි.

ඒ අතරින් බාලක අංශයේ ශූරයින් ලෙස කිරුළු පැළඳූ සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයින් පිහිටු වූ වයස අවු.18න් පහළ මීටර් 200×4 සහ මීටර් 400×4 ඉසව්වන්හී නව තරග වාර්තා කෙරෙහි කාගේත් වැඩි අවධානයක් යොමු විය. 

ජෝන් ටාබර්ට් ශූරතා තරගාවලියේ දී දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූ ශෙලින්ඩා ජැන්සන් නියෝජනය කරන ගේට්වේ ජාත්‍යන්තර පාසල් කණ්ඩායම ද මීටර් 200×4 (මිනිත්තු 1:47.44) සහ මිශ්‍ර සහය දිවීමේ (මිනිත්තු 2:21.87) ඉසව්වල නව තරග වාර්තාවන් බිහි කිරීමට සමත් විය. 

>> තරගාවලියේ සම්පූර්ණ ලකුණු වාර්තා සඳහා පිවිසෙන්න මෙතැනින් <<

මෙවර සහය දිවීමේ ශූරතාවලිය පෙර සැලසුම් කළ පරිදි දියත් කිරීමට සූදානමින් සිටියේ කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී වූවද මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්වයන් සැලකිල්ලට ගනිමින් තරගාවලි සංවිධායක කමිටුව ශූරතාවය සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීම සඳහා විධිවිධාන සකස් කොට තිබුණි.

තරගාවලිය එසේ ඉතා සාර්ථක අවසානයක් කරා ගමන් කරද්දී වාර්තා පිට වාර්තා බිහි කළ ඉතාමත් ආශ්වාදජනක තරග අත්දැකීමක් ප්‍රේක්ෂකයන් වෙත ලං කර දුන් ජයග්‍රාහී යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට Thepapare.com අපෙන් උණුසුම් සුභාශිංසන!

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<