කෙස් ගහෙන් පදක්කම නැති වුනත් යුපුන්ගෙන් සුපිරි දස්කම්

240

Wanda Diamond League තරගාවලියට සමගාමීව ඉතාලියේ Florence හිදී පැවති Florence Diamond League තරගාවලියේ මීටර් 100 ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක යුපුන් අබේකෝන් එම ඉසව්ව සිව්වැන්නා ලෙස අවසන් කිරීමට උදෑසන සමත් වුනා.

ශ්‍රී ලංකා වෙලාවෙන් අද (11) උදෑසන පැවති මෙම තරගය තත්පර 10.16ක කාලයකින් අවසන් කිරීමට යුපුන් අබේකෝන් සමත් වූ නමුත් තරග අවසානයේ දී සිදු වූ සුළු ප්‍රමාදය නිසාවෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාව ඔහුට අහිමි වුනා.

මෙය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඩයමන්ඩ් ලීග් තරගාවලියක් නියෝජනය කළ පළමු අවස්ථාව ද වූ අතර තරගාවලියේ මීටර් 100 ඉසව්ව සඳහා ලොව ප්‍රබලතම ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද සහභාගී වී සිටියා.

තරගයේ පළමු ස්ථානය තත්පර 10.08ක කාලයකින් තරගය අවසන් කළ දකුණු අප්‍රිකානු ශූර Akani Simbine හට හිමි වූ අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් බ්‍රිතාන්‍ය ක්‍රීඩක Chijindu Ujah (තත් 10.10) සහ ලයිබීරියානු ක්‍රීඩක Emmanuel Matadi (තත් 10.16) විසින් දිනා ගැනීමට සමත් වුනා.

එමෙන්ම 2016 ඔලිම්පික් උළෙල නියෝජනය කළ ඇමරිකානු ක්‍රීඩක Emmanuel Matadi සහ Ivory Coast ක්‍රීඩක Arthur Gue Cissé මෙම තරගයේ දී පරාජය කිරීමට යුපුන්ට හැකි වීම ද කැපී පෙනුණා.

කෙටිදුර ධාවන පිටියේ මීටර් 100 ඉසව්ව තත්පර 10ට අඩුවෙන් නිමා කළ ක්‍රීඩකයන් කිහිපයක්ම සහභාගී වූ මෙම තරගයේ සිව්වැනි ස්ථානය ලබා ගැනීමට යුපුන්ට හැකි වීම ද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි අතර මෙම දස්කම මත ඔහුට ඔලිම්පික් ක්‍රීඩක වර්ගීකරණයෙහි ඉහළට පැමිණීමට ද අවස්ථාවක් හිමිව තිබෙනවා.

තවත් ක්‍රීඩා පුවත්:

මෑත වකවානුවේ දී මෙරට මලල ක්‍රීඩා පිටියේ වඩාත්ම කතාබහට ලක් වූ ක්‍රීඩකයෙකු වන යුපුන් මෙම වසර තුළ දී මීටර් 100 දකුණු ආසියානු වාර්තාව නැවත බිඳ හෙළීමට (තත් 10.15) සමත් වූ අතර පසුගිය තරගාවලියේ දී මීටර් 100 ඉසව්ව තත්පර 10.09 (+2.2) කාලයකින් අවසන් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම කාලය වාර්තා කිරීමට ද ඔහු සමත් වුනා.

මෙම වසරේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට යුපුන් තවමත් සමත්ව නොමැති නමුත් මෑත කාලයේ දී ඔහු දැක්වූ දස්කම් මත ඔහුට ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට විශාල හැකියාවක් තිබෙනවා.

ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව මේ මස 29 වැනිදායින් අවසන් වන නිසාවෙන් එයට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතිරිව ඇත්තේ තවත් දින 18ක් පමණි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<