ප්‍රබල රිච්මන්ඩ් පිතිකරුවන්ට මහින්ද විද්‍යාලයෙන් නොසිතූ අභියෝගයක්

459
112th Lovers Quarrel

වසර 100කටත් අධික ඉතිහාසයකට උරුමකම් කියන ආදරවන්තයින්ගේ සටනට එක්වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය යනු ජාත්‍යන්තර තලයේ විශිෂ්ට ක්‍රීඩකයින් රැසක් බිහි කල කීර්තිමත් පාසල් දෙකකි. ඊට නිදසුන් ලෙස රිච්මන්ඩ් විද්‍යාලයේ සුරංග ලක්මාල් සහ ධනංජය සිල්වා හැඳින්විය හැකි අතර මහින්ද විද්‍යාලයෙන් ක්‍රිකට් අඹරට පෑයූ තරු අතරට උපුල් චන්දන, ලසිත් මාලිංග අයත් වේ. අද (17) එම විද්‍යාල දෙක අතර 112 වැනි මහා ක්‍රිකට් සටන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

යළිත් වරක් මහින්දයට බැට දෙන්නට රිච්මන්ඩ් බලකාය සූදානමින්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී හෙට සහ අනිද්දා (මාර්තු 17 – 18) දෙදින තුල පැවැත්වීමට නියමිත 112 වන “ආදරවන්තයන්ගේ සටන” සඳහා මෙවර අන්තර් පාසල් …

පිතිකරුවන්ගේ තෝතැන්නක් බව පෙනෙන්නට තිබූ ගාලු තණතිල්ල මතදී කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාලයීය නායක හංසික වැලිහිඳ අද මුලින් පන්දුවට පහර දීම සඳහා රිච්මන්ඩ් විද්‍යාලයට ආරාධනා කළේ තරමක පීඩනයක් තමන් පිට පටවා ගනිමිනි. නමුත් තම නායකයාගේ තීරණය මැනවින් සාධාරණීකරණය කල මහින්ද පන්දු යවන්නෝ ඉතාම සංයමයකින් යුතුව පන්දු යවමින් ප්‍රබල රිච්මන්ඩ් පිතිකරුවන්ව ලකුණු 184කට සීමා කිරීමට සමත් වූහ.

මහින්ද විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කල කලිඳු එදිරිසිංහ, කවිඳු එදිරිවීර සහ නිපුන් මාලිංග රිච්මන්ඩ් කඩුලු 6ක් සම සමව තමන් අතරේ බෙදා ගත්තේ ඔවුන්ගේ පන්දු රකින්නන් ලබාදුන් සහයෝගය ද මැනවින් උපකාරී කර ගනිමිනි. රිච්මන්ඩ් විද්‍යාලය වැඩි ලකුණු බලාපොරොත්තු තබා තිබූ පිතිකරුවන් කිහිප දෙනෙකුම අද යම් ආරම්භයක් ලබා ගැනීමට සමත්කම් දැක්වූවත් ඒ කිසිවෙකුටත් අද විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යා නොහැකි වීම රිච්මන්ඩ් විද්‍යාලයට ප්‍රබල අවාසියක් බවට පත්විය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ ද නායකත්වය හොබවන රිච්මන්ඩ් නායක කමිඳු මෙන්ඩිස් අද ලකුණු 32ක් රැස්කර සිටිය දී දැවී යාම රිච්මන්ඩ් විද්‍යාලයට විශාල ලකුණක් කරා යාමට හරස් කැපීය. රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් තරග රැසක ක්‍රීඩා කර අත්දැකීම් ඇති තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ද මෙවර පාසල් ක්‍රිකට් තරග වාරය තුල දී ලකුණු 650කට වැඩියෙන් රැස් කරගෙන විද්‍යාලයීය බලාපොරොත්තුවක් බවට පත්ව සිටියත් ඔහුටද අද තම ඉනිම ලකුණු 30 දී නිමා කිරීමට සිදු විය. මීට අමතරව අවිඳු තීක්ෂණ (38) සහ කවීෂ අභිෂේක් ද (37) අද සාර්ථක ආරම්භයක් ලබා ගත්ත  ද එය දැවැන්ත ලකුණකට පරිවර්තනය කර ගැනීමට නොහැකි වූ පිතිකරුවන් බවට පත්විය.

[rev_slider dfcc728]
.

මෙවර ආදරවන්තයින්ගේ සටන ඇරඹීමට ප්‍රථම පාසල් ක්‍රිකට් තරග වාරයේ දී ඉහළ දක්ෂතා ප්‍රකට කිරීමට නොහැකි වූ මහින්ද විද්‍යාලය තමන්ට ප්‍රථම දිනයේ දී අත්වූ අනපේක්ෂිත වාසිය ඔවුන්ගෙන් ගිලිහෙන්නට ඉඩ නොතබමින් ඉතාම ප්‍රවේශමෙන් තම පිළිතුරු ඉනිම ගොඩ නගන්නට විය. ඒ හේතුවෙන්ම ඔවුන්ට පන්දුවාර 46ක් තුල දී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 96ක් පමණි.

පන්දු වාරයකට ලකුණු 2ක් වැනි ඉතාමත් අඩු ලකුණු වේගයක් රඳවාගෙන ගිය මහින්ද ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ නොදැවී ලකුණු 25ක් රැස් කරගත් විනුර හිරන්ජිත්ය. කෙසේ වෙතත් මහින්ද විද්‍යාලයට අද දිනයේ  දී ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 3ක් අහිමි වී ගිය අතර ඉන් දෙකක්ම තම කඩුලු පැස තුලට රුවා ගන්නට සඳුන් මෙන්ඩිස් සමත් විය.

මේ වන විට රිච්මන්ඩ් පළමු ඉනිමට වඩා ලකුණු 88ක් පිටුපසින් සිටින මහින්ද විද්‍යාලයට මුල් ඉනිමේ වාසියක් ලබා ගැනීම සඳහා තවත් කඩුලු 7ක් ඉතිරිව ඇත. මෙවර තරගය ජය ගැනීමට යම් විද්‍යාලයක් සමත්කම් දැක්වුවහොත් ඔවුන්ට ආදරවන්තයින්ගේ සටනේ මෙතෙක් වැඩිම තරග ගණනක් ජයග්‍රහණය කළ විද්‍යාලය බවට පත්වීමට සුපිරි අවස්ථාවක් නිර්මාණය වී තිබෙන්නේ විද්‍යාල දෙකම මේ වන විට තරග 23 බැගින් ජයග්‍රහණය කර තිබීම නිසාවෙනි.

රිච්මන්ඩ් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 184 (පන්දුවාර 47.1): අවිඳු තීක්ෂණ 38, කමිඳු මෙන්ඩිස් 32, ධනංජය ලක්ෂාන් 30, කවීෂ අභිෂේක් 37,  ආදිත්‍ය සිරිවර්ධන 26, කලිඳු එදිරිසිංහ 2/19, නිපුන් මාලිංග 2/50, කවිඳු එදිරිවීර 2/24.

මහින්ද විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 96 (පන්දුවාර 46): විනුර හිරන්ජිත් 25*, නවෝද් පරණවිතාන 20, සඳුන් මෙන්ඩිස් 2/27.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට