තුන්කොන් සටනේ ජය ඉන්දියාවට

Women’s ODI Tri-Series 2025

73
Women’s ODI Tri-Series 2025

ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගී වූ කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ අද (11) සමත් වෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැති අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 97කින් පරාජය කරමිනුයි ඔවුන් මෙම ශූරතාවට හිමිකම් කියන්නේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂිකා සිල්වා, දෙව්මි විහංගා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), පියුමි වත්සලා, සුගන්දිකා කුමාරි, මල්කි මදාරා සහ ඉනෝකා රණවීර

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Harmanpreet Kaur (නායිකාව), Pratika Rawal, Smriti Mandhana, Harleen Deol, Jemimah Rodrigues, Richa Ghosh (කඩුලු රකින්නිය), Amanjot Kaur, Deepti Sharma, Kranti Goud, Shree Charani සහ Sneh Rana.

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගනිමින් පිටියට පිවිස කඩුලු 7ක් දැවී ලකුණු 342ක් ලබා ගත්තා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී Smriti Mandhana. ඇය පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 116ක් ලබා ගත්තා.

මෙම ශතකය ඇයගේ තරග 102ක් වන එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 11 වැනි ශතකයයි. ඇය අනෙක් ආරම්භක පිතිකාරිනී Pratika Rawal සමඟ එක් වෙමින් පළමු වැනි කඩුල්ලට පන්දු 89ක දී ලකුණු 70ක් ද එක් කරනවා. එහි දී Pratika Rawal පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

එම කඩුල්ල දැවී යෑමෙන් අනතුරු ව Smriti Mandhana සහ Harleen Deol එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 106ක දී ලකුණු 120ක සබඳතාවක් ගොඩ නගනවා. Harleen Deol තෙවැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා.

අනතුරු ව නායිකා Harmanpreet Kaur පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ද සහ Jemimah Rodrigues පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ද ලබා ගත්තා.

ඉන්දීය ඉනිම අවසන් වෙද්දී Deepti Sharma පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ මෙම ඉනිමේ පළමු ලකුණු 100 සඳහා පන්දු 130ක් වැය කළ ඉන්දීය පිතිකාරිනියෝ දෙවැනි ලකුණු 100 පන්දු 76ක දී ද සහ අනෙක් ලකුණු 100 පන්දු 68ක දී වාර්තා කිරීමට සමත් වූවා. ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 342 මෙම තරගාවලියේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද සටහන් වූවා.

එමෙන් ම මෙම ලකුණු ප්‍රමාණය ඉන්දීය ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවට එරෙහි ව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.  ඉන්දීයාව මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහි ව වාර්තා කර තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ මෙම තරගාවලියේ දී ම කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 275යි.

දැවැන්ත ලකුණු හඹා යෑමක් වෙනුවෙන් පිටියට පිවිසි හසිනි පෙරේරා සහ විශ්මි ගුණරත්නගේ පළමු කඩුල්ලේ සබඳතාව පන්දු 3කට පමණක් සීමා වුනා. එම අවාසනාවන්ත තත්ත්වයක් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තම ඉනිමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 245ක් පමණයි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ නායිකා චමරි අතපත්තු. ඇය පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගන්නවා. එය ඇය මෙම තරගාවලියේ දී වාර්තා කරන ලද 2 වැනි අර්ධ ශතකයයි.

හසිනි පෙරේරා (0) ගේ දැවී යෑමත් සමඟින් පිටියට පිවිස චමරි අතපත්තු, විශ්මි ගුණරත්න හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 80ක දී ලකුණු 68ක සබඳතාවක් ගොඩ නගමින් ද නිලක්ෂිකා සිල්වා සමඟ එක් ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57ක දී ලකුණු 53ක සබඳතාවක් ගොඩ නගමින් ද ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව ඉහළ තත්ත්වයකට ගෙන ඒමට දායකත්වය දැක් වූවා.

එහි දී ඇය සමඟ එක් ව විශ්මි ගුණරත්න පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 36ක් ද සහ නිලක්ෂිකා සිල්වා පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 48ක් ද ලබා ගත්තා.

චමරි අතපත්තුගෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට පෙරමුණ ගත්තේ නිලක්ෂිකා සිල්වා. ඇය හර්ෂිතා සමරවික්‍රම හා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 57ක දී ලකුණු 52ක් ද ලබා ගත්තා. හර්ෂිතා සමරවික්‍රම පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26කට දැවී ගිය පසු තවත් ලකුණු 5ක් ඇතුලත දෙව්මි විහංඟා (4) සහ නිලක්ෂිකා සිල්වා ද දැවී යනවා.

ඒ වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 6ක් දැවී ලකුණු 178ක් ලෙසයි. අනතුරු ව පියුමි වත්සලා ද ලකුණු 9කට දැවී යන අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් අනුශ්කා සංජීවනී සහ සුගන්දිකා කුමාරි එක් ව පන්දු 53ක දී ලකුණු 51ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී සුගන්දිකා කුමාරි පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවී යෑමකට ගොදුරු වූවා.

අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණක් එකතු වෙද්දී මල්කි මදාරා (0) දැවී යන අතර  ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් අනුශ්කා සංජීවනී දැවී යන විට පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ව Sneh Rana ලකුණු 38කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ආරම්භක පන්දු යවන්නිය වූ Amanjot Kaur  කඩුලු 3ක් ද සහ Shree Charani කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 342 (50.0)Pratika Rawal  30, Smriti Mandhana 116, Harleen Deol 47, Harmanpreet Kaur 41, Jemimah Rodrigues 44, Deepti Sharma නොදැවී 20, මල්කි මදාරා 2/74, දෙව්මි විංහඟා 2/69, සුගන්දිකා කුමාරි 2/59
  • ශ්‍රී ලංකාකාන්තා ක්‍රිකට් කණ්ඩායම– සියලුම දෙනා දැවී 245 (48.2) විශ්මි ගුණරත්න 36, චමරි අතපත්තු 51, නිලක්ෂිකා සිල්වා 48, හර්ෂිතා සමරවික්‍රම 26, අනුශ්කා සංජීවනී 28, සුගන්දිකා කුමාරි 27, Amanjot Kaur 3/54, Sneh Rana 4/38

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 97ක ජයක්.

  • අවසන් මහා තරගයේ වීරයා – Smriti Mandhana(ඉන්දියාව)
  • තරගාවලියේ වීරයා – Sneh Rana(ඉන්දියාව)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<