කවීෂාගේ තුන් ඉරියව් දස්කම් සීනිගමට ජය ගෙනෙයි

කාන්තා අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

209
Women’s Inter-Club Division I

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවති තරගවලින් ජයග්‍රහණය වාර්තා කිරීමට සීනිගම CC, Navy SC, Air Force SC A සහ Army SC A කණ්ඩායම් සමත් වුනා.

දිනයේ කැපී පෙනෙන තාරකාව වූ සීනිගම කණ්ඩායමේ කවීෂා ඩිල්හාරි නොදැවී ලකුණු 91ක් සහ පන්දු යැවීමෙන් කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

සීනිගම CC vs හලාවත මේරියන්ස් CC

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ප්‍රබල හලාවත කණ්ඩායම පරදවමින් ලකුණු 93ක ජයක් හිමිකර ගැනීමට සීනිගම ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් සීනිගම ක්‍රීඩිකාවන් එක් අවස්ථාවක ලකුණු 110කට කඩුලු 5ක් දැවී ගොස් තිබූ නමුත් හයවැනි කඩුල්ල සඳහා ලකුණු 130ක නොබිඳුණු සම්බන්ධතාවක් පිහිටුවමින් ලකුණු පුවරුව 240ක් දක්වා ඉහළ නැංවීමට කවීෂා ඩිල්හාරිට සහ පියුමි වත්සලාට හැකි වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Chilaw Marians වෙනුවෙන් වේගවත් ලකුණු 66ක් රැස් කරමින් හොඳ ආරම්භයක් ලබා දීමට චමරි අතපත්තුට හැකි වූවත්, කවීෂා සහ සචිනිගේ පන්දු යැවීම හමුවේ Chilaw Marians ඉනිම ලකුණු 147කට සීමා වුනා.

Seenigama CC – 240/5 (50): කවීෂා ඩිල්හාරි 91*, පියුමි වත්සලා 50*, මල්ෂා මධුෂානි 1/13.

Chilaw Marians CC – 147 (28.2): චමරි අතපත්තු 66, කවීෂා ඩිල්හාරි 4/39, සචිනි නිසංසලා 4/41.

Seenigama CC ක්‍රීඩිකාවන්ට ලකුණු 93ක ජයක්.

Navy SC vs Air Force SC B

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 178ක ජයක් හිමි වුනේ සත්කාරක නාවික හමුදා ක්‍රීඩිකාවන්ටයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් නාවික හමුදා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 251ක් රැස් කළ අතර එම ඉනිම වෙනුවෙන් හංසිමා කරුණාරත්න නොදැවී ලකුණු 104ක් සහ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 58ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Air Force SC B ක්‍රීඩිකාවන්ට කිසිදු අවස්ථාවක් නොදුන් උදේශිකා ප්‍රබෝධනී සහ ශෂිකලා සිරිවර්ධන ඔවුන්ගේ ඉනිම් ලකුණු 73කට සීමා කිරීමට සමත් වුනා.

Navy SC – 251/5 (50): හංසිමා කරුණාරත්න 104*, හර්ෂිතා සමරවික්‍රම 58, උෂානි රුවන්තිකා 3/26.

Air Force SC B – 73 (25.4): සුරංගිකා පෙරේරා 23, උදේශිකා ප්‍රබෝධනී 3/12, ශෂිකලා සිරිවර්ධන 3/13.

Navy SC ක්‍රීඩිකාවන්ට ලකුණු 178ක ජයක්.

Air Force SC A vs Army SC B

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 191ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Air Force SC A ක්‍රීඩිකාවන් සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් Air Force SC A වෙනුවෙන් චමරි පොල්ගම්පොල (82) සහ ඕෂධී රණසිංහ (71) වාර්තා කළ අර්ධ ශතක නිසාවෙන් පන්දුවාර 50 අවසානයේ ලකුණු 272ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ඔවුන්ට හැකි වුනා.

ලකුණු 273ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි Army SC B ක්‍රීඩිකාවන්ට පන්දුවෙන් ද හිරිහැර කළ චමරි සහ ඕෂධීගේ පන්දු යැවීම නිසාවෙන් පන්දුවාර 44.1ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 81ක් පමණයි.

Air Force SC A – 272/7(50): චමරි පොල්ගම්පොල 82, ඕෂධී රණසිංහ 71, සචිනි ද සිල්වා 2/28.

Army SC B – 81 (44.2): අයේෂා චන්ද්‍රසිරි 15, චමරි පොල්ගම්පොල 3/8, ඕෂධී රණසිංහ 2/7.

Air Force SC A ක්‍රීඩිකාවන්ට ලකුණු 191ක ජයක්.

Colts Cricket Club vs Army SC A

පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයෙන් කඩුලු 09ක පහසු ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගාවලිය ආරම්භ කිරීමට Army SC A ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colts ක්‍රීඩිකාවන්ට දැඩි තර්ජනයක් වෙමින් ගනීෂා චමරි ඇතුළු Army SC A ක්‍රීඩිකාවන් පෙන්නුම් කළ දක්ෂ පන්දු යැවීම නිසාවෙන් Colts ක්‍රීඩිකාවන්ට වාර්තා කර ගත හැකි වූයේ ලකුණු 45ක් පමණයි.

තරගය ජයග්‍රහණය කිරීමට හිමි වූ ලකුණු 46ක ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යාමට Army SC A ක්‍රීඩිකාවන් සමත් වුනා.

Colts Cricket Club – 45(32.4): ඒ.ඩී. ජනකතිමලා 10, ගනීෂා චමරි 6/7, අචිනි කුලසූරිය 2/19.

Army SC A – 46/1 (13.5): අනුෂ්කා සංජීවනි 16*, රෝෂිනී පෙරේරා 12.

Army SC A ක්‍රීඩිකාවන්ට කඩුලු 9ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<