ශ්‍රී ලංකා රග්බි කාන්තාවන් නේවාසික පුහුණු කඳවුරකට

ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය 2021

343

එළඹෙන නොවැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය ඉලක්ක කරගනිමින් කාන්තා මූලික රග්බි සංචිතයක් සඳහා නේවාසික පුහුණු කඳවුරක් සංවිධානය කරන්නට ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා රග්බි ආයතනය කටයුතු කර තිබෙනවා. 

මෙම කඳවුර කොළඹ සුගතදාස ක්‍රීඩා හෝටලය කේන්ද්‍ර කරගනිමින් සම්පූර්ණ පහසුකම් සහිත ජෛව ආරක්ෂිත වටපිටාවක් තුල දී මේ වන විට ආරම්භ වී අවසන්.

ශ්‍රී ලංකා ජාතික රග්බි තේරීම් කමිටුව විසින් ආරම්භයේ දී තෝරාගන්නා ලද ක්‍රීඩිකාවන් 40 දෙනාගෙන් ක්‍රීඩිකාවන් තිස් දෙදෙනෙක් මෙම පුහුණු කඳවුරේ ජෛව ආරක්ෂිත බුබුළ වෙත මේ වන විටත් ඇතුළු වී අවසන් අතර ගමනාගමන දුෂ්කරතා හේතුවෙන් කොළඹින් බැහැරව වෙසෙන ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට තවමත් මෙම කඳවුර වෙත පැමිණීමට නොහැකි වී තිබෙනවා.

ඔවුන් කොළඹට පැමිණීමෙන් පසුව PCR පරීක්ෂණවලට ලක් කර එහි ප්‍රතිඵල අනුව කඳවුර සඳහා එකතු කර ගැනීමට නියමිතයි.

හිටපු සත් සාමාජික ක්‍රීඩකයෙකු වන සාලිය කුමාර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර හිටපු රග්බි නායිකාවක් වන සජනි රත්නායක සහය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරයි.

සාලිය රත්නායක ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේ,

“වසර දෙකකට ආසන්න කාලයක් මෙම ක්‍රීඩිකාවන් රග්බි ක්‍රීඩා නොකළත්, සමහර ක්‍රීඩිකාවන් මින් පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අත්දැකීම් ලබා තිබෙන ක්‍රීඩිකාවන්. සියලු ක්‍රීඩිකාවන් ඔවුන්ගේ යෝග්‍යතාව පිළිබඳව අවධානය යොමු කරමින් පුහුණුවීම් නියැලෙනවා වගේම ඔවුන් හොඳ යෝග්‍යතා මට්ටමක පසුවීම හොඳ සාධකයක්. පළමු පුහුණු සැසිවල දී ඔවුන් නැවතත් ඔවුන්ගේ සුපුරුදු රිද්මයට ගැනීමට අපේක්ෂා කරනවා. ක්‍රීඩා අමාත්‍යාංශය සහ රග්බි ආයතනය එක්ව ඉදිරියේ දී පැවැත්වෙන තරගාවලිය ඉලක්ක කරමින් මෙවැනි අවස්ථාවක් නිර්මාණය කර දීම සැබැවින්ම විශිෂ්ටයි. 

සති දෙකක පුහුණු වීම්වලින් අනතුරුව අපි සැලසුම් කරනවා අන්තර් සංචිත තරග කිහිපයක් පවත්වන්න. මේ මාසේ අවසානයේ දී තේරීම් කමිටුව විසින් 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් තෝරාගැනීමට නියමිතයි” යැයි ප්‍රධාන පුහුණුකරු වැඩිදුරටත් ThePapare.com වෙත පවසා සිටියා.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති Rizly Ilyas මහතා සඳහන් කර සිටියේ, වසංගත තත්වය හමුවේ පැමිණි අභියෝග ජය ගනිමින් නැවතත් රග්බි ක්‍රීඩාවට පණ පොවන්න විශාල පිරිසක් මේ වන විට සහයෝගය ලබා දෙමින් බවයි.

“ශ්‍රී ලංකා රග්බි ආයතනය ත්‍රිවිධ හමුදාවට, CR&FC සහ ප්‍රාදේශීය සමිතිවලට ස්තුති කරනවා ඔවුන්ගේ ක්‍රීඩකයින් එළඹෙන සත් සාමාජික තරගාවලිය සඳහා වන ක්‍රීඩකයින් තේරීම් කටයුතු වෙනුවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන්.  ඒ වගේමයි ක්‍රීඩා අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ද අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ අපිට ලබා දෙන සහයෝගයට.”

2021 ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය නොවැම්බර් 19 සහ 20 යන දිනවල දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව අවසන් වරට ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සහභාගී වූයේ 2019 ඔක්තෝබර් මාසයේ පැවති ඔලිම්පික් සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් සඳහායි.

ඔක්තෝබර් 30 සහ 31 දිනවල දී පැවැත්වීමට ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා රග්බි විසින් පිරිමි සත් සාමාජික සංචිතය තෝරා ගැනීමට අපේක්ෂාවෙන් පසුවනවා.

ක්‍රීඩිකාවන් 40 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය: සංජීවනී වීරක්කොඩි (නාවික හමුදාව), අනූෂා අත්තනායක (CR), නිමේෂා විජේවර්ධන (යුද හමුදාව), දෙනෙත්ති කාංචනා (යුද හමුදාව), නිපුනි රසාංජලී (නාවික හමුදාව), ශානිකා ඩිලානි (යුද හමුදාව), ගයනි ගීතිකා (යුද හමුදාව), උමයංගනා තත්සරණි (යුද හමුදාව), චරණි ලියනගේ (යුද හමුදාව), චමෝද්‍යා මධුවන්ති (යුද හමුදාව), අනුෂිකා තුෂාරි (ගුවන් හමුදාව), මධුෂානි අරලිය (දකුණු පළාත), කාංචනා කුමාරි (CR), ජීවන්ති තුසිතා (ගුවන් හමුදාව), සජීවනී පෙරේරා (ගුවන් හමුදාව), ජයන්ති කුමාරි (නාවික හමුදාව), ක්‍රිෂ්ණකුමාර් හෙකාෂිනි (නාවික හමුදාව), M. D. රුවන්ති තරුෂිකා (CR), Gnei Shafra Waffoor (CR), ශානිකා මධුමාලි (දකුණු පළාත), සමන්තා ජේ නාමලි (නාවික හමුදාව), ධනුෂා දිල්හාරි, රම්මුනි නිම්තරා, දිලිනි සචින්ත, කසුමි පරින්ද්‍යා (CR), හෂානි අනුත්තරා (CR), ඕලු කරුණාරත්න, ජීවන්ති තුසිතා (ගුවන් හමුදාව), නිරෝෂා නදීෂානි වීරසිංහ (ගුවන් හමුදාව), සරෝජනී වික්‍රමසිංහ (ගුවන් හමුදාව), රුවන්තිකා ප්‍රියදර්ශනී (ගුවන් හමුදාව), ශානිකා ප්‍රියදර්ශනී (ගුවන් හමුදාව), නදීකා දිනේෂිකා (යුද හමුදාව), පොල්හේවගේ ඩිලානි (නාවික හමුදාව), කේ. චතුරිකා ධනංජනී (ඌව), සචිනි වීරක්කොඩි (ඌව), දර්ශිකා චතුරාණි (ඌව), සෞම්‍ය සෙව්වන්දි (ඌව) සහ වරුණි ඉන්ද්‍රපාල (ඌව).

ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය ඇතුළු සියලුම රග්බි පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<