යුද්දෙට නැති කඩුව කොස් කොටන්න ද?

2960

පුන පුනා පවසන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග වදින තරගයක අවසානය, අපේ බාසාවෙන් කියනවා නම් “හාර්ට් අටෑක්ය”. ඇයි අපි ඒ ගැන ආයිත් දැන් කතා කරන්නේ? මොකද, අපි ඊයේ (1) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඩරම් වල පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගයත් තරගය ජය ගත්තේ ලකුණු 23කින් වීම නිසාවෙනි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වැරදි දිනයක දී වැඩපෙන්වයි

ඒ ඔබ අපි කවුරුත් දුටු පිට කතාවයි. නමුත් එහි ඇතුළත කතාව නම් එතරම් සොඳුරු කතාවක් වන්නට හෝ නොවන්නට පුළුවන් වීම එය ඔබ පැළඳගෙන සිටින කණ්ණාඩිය මත තීරණය වෙනවා. 

කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර කෝඩුකාර අවිශ්ක ප්‍රනාන්දු ලබා ගත් පළමු ජාත්‍යන්තර ශතකය ඔහුගේ මංගල ලෝක කුසලාන ශතකය මෙන්ම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වාර්තා කර ගත් මංගල ශතකය එය බවට පත්වුනා. කෙසේ නමුත් අවසානයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුම දෙනා එක්ව සටනක් දිය හැකි ලකුණු 338ක් වාර්තා කරගැනීමට සමත් වුනා.

එය දෙවනුව පන්දුවට පහර දෙන කණ්ඩායමට පීඩනයක් දිය හැකි ලකුණක් ? ඔව්.. පිළිතුර එයයි. ක්‍රිකට් හොඳින් දන්නා අයෙකුට එසේ පැවසීමට පුළුවන්. නමුත් උඩ පන්දු අත්හැරීම්, දුර්වල පන්දු රැකීම් ඇතුළු කරුණු කාරණා කිහිපයක් නිසා ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 338 ප්‍රමාණවත් නොවන්නට ඉඩ තිබුණා විය හැකි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

කොදෙව් ඉනිමේ පන්දුවාර 30ක් පමණ ගත වන විට ශ්‍රී ලංකාව තරගය පහසුවෙන්ම ජය ගනිවී යැයි විස්තර විචාරකයින්, ප්‍රේක්ෂකයින් මෙන්ම බොහෝමයක් කොදෙව් ක්‍රීඩකයින් සිතන්නට වූ බවට කිසිම සැකයක් නැහැ. නමුත් තරගය එන්න එන්නම උණුසුම් වන්නට වූයේ නිකලස් පූරන් හා ෆාබියන් ඇලෙන් දියත් කළ දක්ෂ පිතිකරණය නිසාවෙනි. ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවන්නට විය.

ඒ ප්‍රහාරය නිසාවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නට දැඩි පීඩනයක් වැටෙන්නට වූ අතර ශ්‍රී ලංකාව මේ තරගයට පැමිණියේ නිත්‍ය පන්දු යවන්නන් 3 දෙනෙකු සමඟ පමණි. ඔවුන් තිදෙනා නම් ලසිත් මාලිංග, කසුන් රාජිත හා ජෙෆ්රි වැන්ඩර්සේ ය. ඊට අමතරව ඉසුරු උදාන හා ධනංජය ද සිල්වා ද තුන් ඉරියව් ක්‍රීඩකයින් වන නිසාවෙන් ඔවුන්ට ද පන්දු යැවීමේ හැකියාව තිබුණි.

තරගය පන්දුවාර 50ම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් පන්දුවාර කිහිපය ක්‍රියාත්මක කරන්නේ කවුද, යන ප්‍රබල පැනය තරගය නරඹමින් සිටි ඔබටත්, අපටත්, ක්‍රිකට් විස්තර විචාරකයින්ටත් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරන්නට විය. 

එසේම නායක දිමුත් ද පන්දුවාර 3ක අඩුවක් එන බව ඒ වන විට දැනගෙන සිටින්නට ඇත. තමන් නිත්‍ය පන්දු යවන්නෙක් නොවන නිසාත්, අවසන් පන්දුවාර කිහිපය ක්‍රියාත්මක කිරීමට හැකි තත්වයක් ඔහුට නොමැති නිසාත්, කොදෙව් ඉනිමේ 33 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන්නේ දිමුත් විසිනි. ඔහු යොමු කරන පළමු පන්දුවටම පූරන් විසින් දැවැන්ත 6 පහරක් එල්ල කළ නමුත් නොසැලුණු දිමුත් අවසන් පන්දු 5ටම ලබා දුන්නේ එක් ලකුණක් පමණි.

වසර 20කට පසුව ශ්‍රී ලංකාව කළින්ම එළියට විසිවෙයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ …….

ඉහත සඳහන් කළ ලසිත් මාලිංග, කසුන් රාජිත හා ජෙෆ්රි වැන්ඩර්සේ යන නිත්‍ය පන්දු යවන්නන් තිදෙනාගෙන් පන්දුවාර 30ක් ලබා ගැනීමට නායක දිමුත් ඇතුළු කණ්ඩායම සැලසුම් කර තිබුනත් ජෙෆ්රි වැන්ඩර්සේ පන්දුවාර 7ක් තුල ලකුණු 50ක් පමණ ලබා දී තිබීම හා පූරන් හා ෆාබියන් ඇලෙන් ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත වෙමින් සිටි නිසාත් 31 වැනි පන්දුවාරයට පසුව වැන්ඩර්සේ හට පන්දුවාරයක් හෝ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව නොදීමට නායක දිමුත් ඇතුළු කණ්ඩායමට සිදු වුනා. 

තරගයේ 40 වැනි පන්දුවාරය නිමා වන විට දිමුත්ගේ සිතේ තිබුණු පීඩනය අපේ සිතේ තිබුණු චකිතයේ පීඩනයට වඩා දසදහස් ගුණයක් වැඩි වන්නේ ඔහු සිටින්නේ පිටිය මැද නිසා මෙන්ම ඔහු කණ්ඩායම් නායකයා වන නිසාවෙනි. 

“තරගයේ 40 වැනි පන්දුවාරයට පස්සේ අපිට දඟපන්දු යවන්නන්ව යොදාගන්න අවස්ථාවක් ආවේ නැහැ. මොකද නිකලස් පූරන් ඒ වෙද්දී දඟපන්දු යවන්නට හොඳට පහර දෙමින් හිටියේ. මමයි දිමුතුයි දිගටම කතා කර කර හිටියේ අපිට පන්දුවාර දෙකක අඩුවක් තියෙනවා කියලා. මම දැක්කා දිමුත් ඒ පන්දුවාර දෙක යවන්නේ කවුද කියලා සොයා සොයා ඉන්නවා. පස්සේ මම ඔහුට කිව්වා මම ඒ ටික දාලා දෙන්නම් ගැටලුවක් නැහැ කියලා. අන්තිම පන්දුවාර වලට යන්න කලින් අපි මාලිංගවයි, උදානවයි දාලා පූරන්ව Out කරගන්න හිටියේ, බැරි වුනොත් මම 48, 50 පන්දුවාර දෙක දාලා දෙන්නම් කියලා දිමුත්ට කිව්වම ඒක ඔහුට ලොකු සහනයක් වුනා.” මැතිව්ස් තරගයට පසුව පැවති මාධ්‍ය  හමුවේ දී පැවසුවා.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

නමුත් මැතිව්ස් එසේ පවසන්නේ ඔහු කණ්ඩායමේ සිටින ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක් වන නිසාවෙනි. ඔහු සතු අත්දැකීම් ප්‍රමාණය එම අවස්ථාවේ දී කණ්ඩායමට උවමනා කරන බව ඔහු හොඳින්ම දැන සිටි නිසාවෙනි.

“හැබැයි මමත් ඒ වෙලාවේ චකිතයකින් හිටියේ මොකද මම මාස 8කින් වගේ පුහුණුවීම් වලවත් පන්දුවක් යවලා තිබුණේ නැහැ මගේ ආබාධයත් එක්ක. හැබැයි තරගයේ දී මම මට තිබෙන අත්දැකීම් උපයෝගී කරගෙන හරි තැනට පන්දුව යවලා පළමු පන්දුවෙන්ම පූරන්ගේ කඩුල්ල දවාගන්න මට පුළුවන් වුනා.” 

එයට හේතුව වී ඇත්තේ මැතිව්ස් පන්දු යවන්නෙක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසන් වරට පන්දු යවා තිබෙන්නේ 2017 වසරේ දෙසැම්බර් මස 17 වැනිදා ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ තරගයේ දී වන නිසයි. මැතිව්ස් එම තරගයට පසුව නැවත වතාවක් ඊයේ (1) දිනයේ දී 48 හා 50 වැනි පන්දුවාර ක්‍රියාත්මක කරමින් නැවතත් පන්දු යැවූවේ වසර එක හමාරකට  ආසන්න කාලයකට පසුවයි.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 210ක ඉනිම 155ක දී පන්දු යවා තිබෙන මැතිව්ස් මේ වන විට ජාත්‍යන්තර එක්දින කඩුලු 115ක් දවාගෙන ඇත්තේ 33.97ක පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. 

2014 වසරේ අවසන් බාගයේ දී ලොව හොඳම ජාත්‍යන්තර තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වූ මැතිව්ස්ට විටින් විට කලව ආශ්‍රිතව ඇති වන මස් පිඬු ඇදීම නිසා පන්දු යැවීමේ හැකියාව සීමා කරන්නට වූ නමුත් මැතිව්ස් අවශ්‍යම මොහොතේ පැමිණ ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන කඩුල්ල දවා දුන්නේ “යුද්දෙට නැති කඩුව කොස් කොටන්න ද” යන පිරුළ ගැන සිතමින් නොවේ ද?

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<