2015ට පසුව කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව මෙරට දී ටෙස්ට් පිටියට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

2978

සංචාරක කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (21) ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා.

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම් මෙරට දී අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර තිබෙන්නේ 2015 වසරේ දී වන අතර එම තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේයි.

පිතිකරණය සලකා බැලීමේ දී කණ්ඩායම් දෙකේම නායකයින් දෙදෙනා වන දිමුත් කරුණාරත්න සහ Kraigg Brathwaite ඉතාමත් හොඳ ටෙස්ට් පිතිකරුවන් දෙදෙනකු වෙනවා. ගාල්ල තණතීරුව මත කරුණාරත්නගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 51.36ක් වැනි ඉහළ මට්ටමක තිබෙන අතර, Brathwaite මේ වසර (2021) තුළ දැනට ටෙස්ට් ලකුණු 556ක් රැස් කරගෙන තිබෙන්නේ 34.75ක සැලකිය යුතු මට්ටමේ හොඳ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

පන්දු යවන්නන් සලකා බැලීමේ දී ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් බහුලතම සහ පරිණතම වේගපන්දු යවන්නා වන්නේ සුරංග ලක්මාල් වන අතර කොදෙව් කණ්ඩායමේ Jason Holder ඔවුන් සතුව සිටින අත්දැකීම් බහුලතම වේගපන්දු යවන තුන් ඉරියව් දස්කම් දැක්විය හැකි ක්‍රීඩකයා වෙනවා.

ශ්‍රී ලංකාව සතුව දක්ෂ වමත් දඟපන්දු යවන්නන් දෙදෙනෙකු සිටින අතර Rahkeem Cornwall කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙන්නේ ඔවුන් වේගපන්දු යවන්නන් සඳහා වැඩි අවස්ථාවක් දෙමින් ක්‍රීඩා කරන නිසයි.

කොදෙව් පිතිකරුවන් එතරම්ම දඟපන්දු යවන්නන් හමුවේ සාර්ථක දස්කම් දක්වා නොමැති පසුබිමක ගාල්ල වැනි දඟපන්දු යවන්නන් සඳහා හිතකර තණතීරුවක පිතිකරණයේ නිරත වීම කොදෙව්වන්ට විශාල අභියෝගයක් වනු නිසැකයි.

2021 – 2023 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු අභියෝගය මෙය වන නමුත් කොදෙව් කණ්ඩායම මීට පෙර පාකිස්තානය සමඟ ක්‍රීඩා කළා. එහිදී ඔවුන් එක් තරගයක් ජයගෙන තවත් තරගයක් පරාජය වුනා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරග තුනකට මුහුණ දී තිබෙන අතර ඉන් තරග දෙකක්ම ජයගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවයි. අනෙක් තරගය ජය පරාජයෙන් තොරව නිමා වී තිබෙනවා.

පළමු තරගයට අපේක්ෂිත කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, රමේෂ් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම.
  • බටහිර ඉන්දීය කොදෙව් – Kraigg Brathwaite (capt.), Jeremy Solozano, Nkrumah Bonner, Roston Chase, Jermaine Blackwood, Kyle Mayers, Rahkeem Cornwall, Jason Holder, Joshua da Silva (wk), Kemar Roach, Jayden Seales.

ගාල්ල තණතීරුවේ ස්වභාවය සහ කාලගුණය,

ශ්‍රී ලංකාව දඟපන්දු යවන්නන් සිව්දෙනෙකු සහ ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනෙකු සමඟ මේ තරගය සඳහා අවතීර්ණ වීමට සූදානමින් සිටින අතර කොදෙව් කණ්ඩායම ඔවුන්ගේ වේගපන්දු යවන්නන් සහ දඟපන්දු යවන්නන් සමිශ්‍රණයක් සමඟ හෙට තරගයට අවතීර්ණ වීමට වැඩි ඉඩක් තිබෙනවා.

කෙසේ නමුත් මේ තණතීරුව දඟපන්දු යවන්නන් සඳහා වැඩි වාසියක් දක්වන අතර පසුගිය දින කිහිපය පුරාවට ඇද වැටුනු වර්ෂාපතනය නිසා තණතීරු ආවරණ ඉවත් කර තැබීමට වැඩි වෙලාවක් ලැබී නැහැ.

නමුත් මේ වන විට පසුගිය දින කිහිපයට සාපේක්ෂව යම් හොඳ කාලගුණික තත්වයක් ගාල්ල සහ ඒ අවට ප්‍රදේශයන් වල වාර්තා වෙන නිසා මේ තරගය සාර්ථක ලෙස අවසන් කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

කාසියේ වාසිය ජය ගන්නා කණ්ඩායම බොහෝ දුරට පළමුව පන්දුවට පහර දී ප්‍රතිවාදීන්ට එරෙහිව හොඳ ලකුණු ප්‍රමාණයක් ලබාගැනීම සිදුකළ යුතු වෙනවා.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<