අළුබඳුන අභියස ඕස්ට්‍රේලියානු නායකයා වගකීමෙන් මිදෙයි!

1207
Tim Paine

අළුබඳුන තරගාවලිය ආරම්භ වීමට සති තුනක වැනි කෙටි කාලයක් පමණක් ඉතිරිව තිබිය දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක Tim Paine කිසිවෙකුත් අපේක්ෂා කළ අයුරින් තමන් නායකත්ව ධුරයෙන් ඉවත් වන බව ඊයේ (19) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් නිල වශයෙන් සඳහන්කොට තිබුණි.

ඕස්ට්‍රේලියානු වේලාවෙන් සවස 2.30ට පමණ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී Tim Paine සිය හදිසි තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට කටයුතුකොට තිබුණු අතර 2017 වර්ෂයේ දී Paine විසින් සිදු කළා යැයි සැක කරන විෂමාචාර ක්‍රියාවක් පිළිබඳව පැතිර යන රාවය පිටුපස සත්‍යාසත්‍යතාව පහදා දීමට මෙහි දී ඔහු කටයුතුකොට තිබුණි.

අද දිනයේ දී මම තීරණය කළා ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්ව වගකීමෙන් ඉවත් වෙන්න. මගේ පවුලේ උදවිය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගැනීම වෙනුවෙන් මේ තීරණය ගත්තත් මගේ මනස මේ තැනට හඳගන්න එක සෑහෙන්න දුෂ්කර වුනා.

මගේ මේ තීරණයට මුලිකවම හේතුපාදක වෙන්නේ 2017 වර්ෂයේ දී සිදු වූ එක්තරා සිදුවීමක්. වසර හතරකට පෙර මම සමීපව ඇසුරු කළ අයෙක් සමඟ මම කෙටි පණිවිඩ හුවමාරු කරන්න පුරුදු වෙලා හිටියා. ඒ සංවාදයන් ඇතුළේ මගේ පෞද්ගලිකත්වයට හානි වන ආකාරයේ සංවාද සහ ඡායාරූප කිහිපයක් අඩංගු වුනා. ඒ කාලයේ දීත් මේ ගැන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ පුළුල් විමර්ශනයකට භාජනය වුනා වගේම කියන්න ඕනෑ ඒ ක්‍රියාවලිය සඳහා මම උපරිම සහයෝගය ඔවුන්ට ලබා දුන්නා.”

විමර්ශනය අවසානයේ දී මම නිදොස් පුද්ගලයෙක් කියලා ප්‍රකාශ කළත් මම එදත් අදත් මේ සිදුවීම සම්බන්ධයෙන් කනගාටු වෙනවා, මොකද මගේ පවුලේ උදවිය, ප්‍රේක්ෂකයින් වගේම මගේ කණ්ඩායම් සඟයින් ද මේ නිසා විශාල අපහසුතාවකට පත් වුනා.  මගේ බිරිඳ වගේම පවුලේ උදවිය මෙහි දී විශේෂයෙන්ම මතක් කළ යුතුයි මොකද මේ අවස්ථාවේ දී මාව තේරුම් අරගෙන මගේ වැරදිවලට සමාව දෙන්න තරම් ඔවුන් කාරුණික වීම මට මේ මට්ටමින් හරි හිස ඔසවාගෙන ඉන්න ලොකු හයියක් වුනා.”

ඕස්ට්‍රේලියාව වගේ ලෝක පූජිත ක්‍රිකට් කණ්ඩායමකට නායකත්වය ලබා දෙනවා කියන්නේ ගෞරවනීය අවස්ථාවක්. ඒ වටිනාකම පළුදු වෙන ආකාරයේ හැසිරීමක් මගේ අතින් සිදු වුනා කියන එක මම පිළිගන්නවා වගේම තවදුරටත් ප්‍රේක්ෂකයින්ට වැරදි අවබෝධයක් ලබා දෙන්න මම අකමැති. මොකද මට නායකත්වය ලබා දුන් මොහොතේ ඉඳන් මේ දක්වා ඔවුන් ලබා දුන් සහයෝගය වචනයෙන් කියා නිමා කරන්න බැහැ.”

ඉදිරියේ දී එන අළුබඳුන තරගාවලිය අතරතුර දී මේ ගැන සංවාදයක් ගොඩනැඟුණොත් ඒක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වලට මම කරන ලොකු අසාධාරණයක්. මම නැවත වතාවක් හැමදෙනාගෙන්ම සමාව භාජනය කරනවා මගේ අතින් සිදු වූ වරදට. මගේ ආදරණීය බිරිඳ වගේම පවුලේ අය මේ වෙලාවේ දී මට ශක්තියක් වෙන එක ගැන ඇත්තට ඔවුන්ට ණයගැති. මම විශාල වේදනාවකින් ඉන්නේ මොකද මම හැඟීම්වලට වහල් වෙලා ඔවුන් හැමදෙනාවම අපහසුතාවට පත් කළා. මාත් එක්ක තාමත් රැඳිලා ඉන්න මගේ ක්‍රීඩාලෝලීන්වත් මේ වෙලාවේ දී මම ආදරයෙන් මතක් කරනවා”.

Steve Smithගෙන් පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුක්කානම Tim Paine අතට පත්වූයේ 2018 වර්ෂයේ දී වන අතර Baggy Green හිස්වැසුම පැලඳ ඕස්ට්‍රේලියාවට නායකත්වය ලබා දුන් 18 වැනි ටෙස්ට් නියමුවා ලෙසින් 2019 වසරේ අළුබඳුන තරගාවලියේ දී සිය කණ්ඩායම සාර්ථකව මෙහෙයවමින් ලොව පැරණිතම ක්‍රිකට් තරගාවලියේ ශූරතාව තවදුරටත් ඕස්ට්‍රේලියානු භූමිය තුල රඳවා ගැනීමට ඔහු සමත්කම් දැක්විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<