යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයට දින තීන්දුයි

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

1426
Pakistan beat Bangladesh

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වෙන 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීමේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තානු 19න් පහළ කණ්ඩායම සමත් වුනා.

ඒ, අවසන් පූර්ව තරගයෙන් හිටපු ලෝක ශූර බංග්ලාදේශය කඩුලු 6කින් පරාජයට පත් කරමින්. ඒ අනුව පාකිස්තානය හෙට (3) පස්වැනි ස්ථානය තේරීමේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව තරග වැදීමට නියමිතයි.

Antigua හි Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 6.30 ආරම්භ වීමට නියමිතයි.

මේ තරගය ජය ගන්නා කණ්ඩායමට රටවල් 16ක් තරග වැදුණු මෙවර යොවුන් ලෝක කුසලානයේ 5 වැනි ස්ථානය හිමි වන අතර පරාජයට පත් වන කණ්ඩායමට 6 වැනි ස්ථානය හිමි වෙනවා.

එසේම 7 වැනි සහ 8 වැනි ස්ථාන තේරීමේ තරගය දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතයි.

මේ අතර, මෙවර යොවුන් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (2) අලුයම නිමා වුනු අතර එහි දී එංගලන්තය හමුවේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 15කින් පරාජය වීමට ඇෆ්ගනිස්තානයට සිදු වුනා.

ඒ අනුව 24 වසරකට පසුව එංගලන්ත කණ්ඩායමක් 19න් පහළ ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් තීරණය වන්නේ අද (2) ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර Antigua හි Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය මතයි. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වනු ඇත.

එසේම මේ වන විට මෙවර 19න් පහළ ලෝක කුසලානයේ පලඟ වටයේ තරග අවසන් වී තිබෙන අතර අයර්ලන්තය පරාජය කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 9 වැනි ස්ථානය සඳහා වන පලඟ ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා.

මෙවර 19න් පහළ ලෝක කුසලානයේ දැනට තහවුරු වී තිබෙන ස්ථාන මෙසේයි.

  • 9 වැනි ස්ථානය – එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  • 10 වැනි ස්ථානය – අයර්ලන්තය
  • 11 වැනි ස්ථානය – බටහිර ඉන්දීය කොදෙව්
  • 12 වැනි ස්ථානය – සිම්බාබ්වේ
  • 13 වැනි ස්ථානය – උගන්ඩාව
  • 14 වැනි ස්ථානය – ස්කොට්ලන්තය
  • 15/16 වැනි ස්ථාන – කැනඩාව සහ පැපුවා නිව් ගිනියාව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම යොවුන් ලෝක කුසලානය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘නිල අනුග්‍රාහකයා’ ලෙස කටයුතු කරන අතර තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<