තම කණ්ඩායම රංගන හේරත්ගේ අභියෝගයට සූදානම් බව ඉන්දියානු ටෙස්ට් නායක විරාත් කෝලි පවසා තිබේ. 2015 පැවති තරගාවලියේදී තමන් පාඩම් උගත් බවයි ඔහු පවසන්නේ. එහෙත් රංගන හේරත් මේ පිළිබඳව නිවුණු සිතින් අදහස් දක්වා ඇත.ඉන්දියානු කණ්ඩායමට පමණක් නොව ලොව සෑම කණ්ඩායමකටම අභියෝගයක් වන රංගන මේ වන විට ටෙස්ට් කඩුලු 400 සීමාවට කඩුලු 16ක් පමණක් පසුපසින් සිටියි. 2015 දී දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය අතරතුරදී රංගන දවාගත් කඩුලු ප්‍රමාණය 15කි. එහෙත් ඉන්දියානු නායකයා දරන්නේ මෙවන් අදහසක්.

“ඔහු ගුණාත්මක පන්දු යවන්නෙක්. කලින් පාර අපි සුළු ලකුණු ගාණක් හඹායමින් ඉද්දි ඔහු අපිව වැළැක්වුවා.”

විරාත් කෝලි විසින් මෙසේ සිහිකරන ලද්දේ 2015 ගාල්ලේදී ඇරඹි පළමු ටෙස්ට් තරගයයි. එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 176ක ඉලක්කයක් හඹායමින් සිටි ඉන්දියානු කණ්ඩායම ලකුණු 112කට දවා ගැනීමට මුල්වූයේ රංගනගේ පන්දු යැවීමයි. රංගන ලකුණු 48කට කඩුලු 7ක් දවාගත් අතර ශ්‍රී ලංකාව එහිදී ජය ගත්තේ ලකුණු 63කිනි.

“එය අපට හොඳ පාඩමක් වුනා. ඊළඟ තරග දෙකේදී අපි ඒ ගැන සැලසුම් කරලා තරගාවලිය ජය ගත්තා. ඔහු ඒ තරග දෙකෙත් ක්‍රීඩා කළා. පන්දුවත් දඟ කැවුණා. නමුත් අපේ පිතිකරුවන් හොඳින් ඊට මුහුණ දුන්නා.”

කෝලි ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ පවසා තිබුණේ එසේයි. තරගයකට පෙර නායකයෙකුගෙන් එවන් ධනාත්මක වදන් පිටවීම පුදුමයක් නොවුණත් රංගනට මේ වන විට තවත් වගකීමක් පැටවී ඇත.

ඒ තරගාවලියට පෙර නිව්මෝනියා රෝගී තත්වයට ගොදුරු වූ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්ව වගකීමයි. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගයේදී ප්‍රතිවාදී කඩුලු 20න් (ඉනිම දෙකේ) කඩුලු 11ක්ම රංගන විසින් බිඳ දැමූ ඒවාය. නමුත් ඒ නායකත්වයේ වගකීම කරමත පැටවී තිබියදී නොවේ. කෙසේ වෙතත් අප හොඳින් දන්නා කරුණක් වන්නේ රංගන හේරත් සෑම විටම කණ්ඩායමේ නිල නොලත් නායකයෙකු බවයි. ඒ ඔහුගේ අත්දැකීම් සහ හැකියාව යන අංශ දෙකම ඉදිරියෙන් පැවතීම නිසයි.

“ඔහු අප වෙත එල්ලකරන දේ අප දන්නවා. ඒ වගේම අප කළ යුතු දේවලුත් අප දන්නවා”

කෝලි එසේ පවසා තිබුණේ තමන්ගේ සූදානම සම්පූර්ණ බව පවසමිනි.

නමුත් මීට පිළිතුරු ලබා දෙමින් රංගන සිය නිවුණු ස්වරයෙන් මෙසේ පැවසීය.

“ඔවුන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ අංක එකේ කණ්ඩායම, ඒ වගේම ඔවුන් ඉතා හොඳින් ක්‍රීඩා කරමින් ඉන්නවා. මේක ඉතාමත් ආසාව දනවනසුළු තරගාවලියක් වගේම අප විශේෂ දේවල් කළ යුතුයි.”

රංගන මෙවර තරගාවලියට ගෙන එන විශේෂ අඩුම-කුඩුම මොනවාද? අප දන්නා පරිදි රංගන හේරත් යනු දඟපන්දුකරණයේ මූලිකාංග හොඳින්ම යොදා ගනිමින් කඩුලු ලබා ගැනීමේ සමතෙකි. විශේෂ දේවල් ඇතිව හෝ නැතිව කෝලිගේ වදන් අභිබවා යෑමේ හැකියාව ඔහු සතු වූවත් මෙවර තරගාවලියට ඉන්දියානුවන්ගේ සූදානම ඔවුන් සාර්ථකව කර ඇතිබවද පෙනීයයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට