වසර 40 ඉතිහාසය අලුත් කළ පෙරළිකාරී ශ්‍රී ලංකා හොකී කණ්ඩායම

2650

මේ දිනවල ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ක්‍රීඩා හතළිහකින් සමන්විතයි. ඉන් බොහෝ ක්‍රීඩාවලට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් වේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ ක්‍රීඩා ඉසව් අතරින් බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ ක්‍රීඩාවක් වූයේ හොකී ක්‍රීඩාවයි.

වොලිබෝල් හා හොකී ක්‍රීඩකයින් පෙරළිකාර ජයග්‍රහණ වාර්තා කරයි

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ අටවැනි දිනය වූ ඊයේ (26)..

එයට හේතුව නම් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම සැලකිය යුතු දක්ෂතා දැක්වීමයි. පසුගිය 24 වැනිදා හොංකොං දේශය සමඟින් පැවති තරගයෙන් 4-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට හැකි වූ අතර එම ජය සටහන් වූයේ වසර හතළිහකට පසුව ආසියානු ක්‍රීඩා උළෙලක දී හොකී තරගයක් ජය ගත් පළමු අවස්ථාව ලෙසයි.

වසර හතළිහකට පෙර, එනම් 1978 වසරේ පැවති, 7 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව විසින් පරාජය කළ කණ්ඩායම වූයේ හොංකොං කණ්ඩායම වීම විශේෂත්වයකි. එවර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන ලද්දේ 2-3ක් වශයෙනි.

හොංකොං කණ්ඩායම පරාජය කරමින් නොනැවතුන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) සත්කාරක ඉන්දුනීසියාව ද 1-3ක් වශයෙන් පරාජය කරන්නට සමත් විය. ප්‍රධාන තරගාවලියක දී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පිට පිට ලබාගත් මෙම ජයග්‍රහණ නිසා ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාව පිළිබඳ නව බලාපොරොත්තු දළුලමින් පවතී.

ශ්‍රී ලංකාව විසින් ජය ගත් තරග දෙකේ දී සඳරුවන් ප්‍රියලංක, අනුරාධ සුරේෂ් සහ නායක ලහිරු වීරසූරියගේ දක්ෂතා කැපී පෙනුනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරන්නේ අනුරුද්ධ හේරත් බණ්ඩාර විසිනි.

මෑත අතීතයේ ශ්‍රී ලංකා හොකී කණ්ඩායමේ ගමන්මග

“ශ්‍රී ලංකාව සහ හොංකොං අතර තරගය අවසන් වීමෙන් පසු”

1978 ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව ශ්‍රී ලංකා හොකී කණ්ඩායමක් ආසියානු ක්‍රීඩා උළෙලකට සහභාගී වීම සඳහා සුදුසුකම් ලැබුවේ පසුගිය 2014 වසරේ දී ය. ඉන්පසු 2016 වසරේ පැවති AHF කුසලානයේ අවසාන මහා තරගය කරා පැමිණීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. AHF කුසලානයක අවසාන මහා තරගය කරා අප රට සුදුසුකම් ලැබූ පළමු වතාව එය විය.

2016/17 තරග සමයේ පැවැත්වූ ලෝක හොකී ලීගයේ (ලෝක හොකී ලීගය පැවැත්වූ අවසන් වතාව එය විය.) දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබීමට ද ශ්‍රී ලංකා හොකී කණ්ඩායමට හැකි විය.

මේ ආකාරයෙන් දස්කම් දක්වන විට, 2016 වසරේ දී ලෝක හොකී ශ්‍රේණිගත කිරීම්වල 40 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට (2018 ජූලි 4 වර්ගීකරණය අනුව) ලෝකයේ 38 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී ඇත. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී දක්වන දක්ෂතා අනුව තවත් ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු වේ.

මේ අනුව බලන කල පසුගිය වසර 4-5 කාලයේ දී ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාව සැලකිව යුතු මට්ටමකින් දියුණු වී ඇති බව පැහැදිලි කරුණකි.

දක්ෂතා මේ ආකාරයෙන් පවත්වා ගැනීමට හැකි වේද?

වැදගත්ම කාරණය මෙයයි. ඉහත වගුවෙන් දැක්වෙන්නේ මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී ඉසව්වේ මූලික වටයේ තරග පැවැත්වෙන A කාණ්ඩයේ කණ්ඩායම් මේ වන විට දක්වා තිබෙන දස්කම්ය.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන තරග අතරින් ප්‍රබල දකුණු කොරියාව සහ ජපානය හමුවේ පරාජය වී තිබෙන අතර හොංකොං සහ ඉන්දුනීසියාවට එරෙහිව පැවති තරග ජයගෙන තිබේ. ඉතිරිව තිබෙන්නේ ඉන්දියාව සමඟ තරගයයි.

මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයේ සිටින ඉන්දියාව පරාජය කිරීම ඉතාම අපහසු කටයුත්තක් බවට පත්වනු ඇත. එම තරගයෙන් ජය ගත්ත ද අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු මේ වන විට බොහෝසෙයින් ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගොස් තිබේ.

එයට හේතුව අවසන් පූර්ව වටය සඳහා එක් කාණ්ඩයකින් තෝරා ගනු ලබන්නේ කණ්ඩායම් දෙකක් පමණක් බැවිනි. (ප්‍රසාද ලකුණු සමවූවහොත් ගෝල අතර වෙනස සැලකිල්ලට ගනු ඇත.)

නමුත්,

හෙට (28) ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 2.30ට ආසියාවේ හොකී යෝධයා වන ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ගෞරවනීය පරාජයක් ලබා, එළඹෙන 30 වැනි දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට පැවැත්වෙන මෙම තරගාවලියේ 7 වැනි ස්ථානය තේරීමේ තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වේ නම් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ වඩාත්ම කැපී පෙනෙන හොකී කණ්ඩායමට බවට පත්වීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුව පවතී.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ හොකී ඉසව්වේ 7 වැනි ස්ථානය තේරීම සඳහා පැවැත්වෙන තරගය සඳහා ශ්‍රී ලංකාව සහ ඕමානය තරග වැදීමට බොහෝ ඉඩක් ඇති අතර මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 33 ස්ථානයේ පසුවන ඕමානය පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූවහොත් මෙවර ආසියානු ක්‍රීඩා උළෙල ඉතා සාර්ථක ක්‍රීඩා උළෙලක් බවට පත් කරගැනීමට ශ්‍රී ලංකා හොකී කණ්ඩායමට හැකි වනු ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<