කාන්තා ක්‍රිකට් සඳහා අලුත් තරග ලබා දෙනවා – ක්‍රීඩා ඇමති

222

‘’රටකි, දැයකි, ලොවකි ඇය’’ යන තේමාව පෙරදැරිව මාර්තු 08 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් ක්‍රීඩාවේ නියැලෙන කාන්තාවන් දිරිගන්වමින් ඔවුන් ඇගයීමට ලක්කිරීම වෙනුවෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර පළාත් අන්තර් දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලියක් සහ ඊට සමගාමීව ප්‍රදර්ශනාත්මක වොලිබෝල් තරගයක් ඊයේ (08) සංවිධානය කරනු ලැබුණා.

තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩා ක්ෂේත්‍රය ගැන මෙසේ අදහස් පවසා සිටියා.

“විශේෂයෙන්ම අද ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේ ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් රටට කීර්තියක් ගෙන ආ කාන්තා ක්‍රීඩිකාවන් ඇගයීම සිදු කළ යුතු බව අපි විශ්වාස කළා.  ඒ සැමරීම අද මේ කාන්තා දින වැඩසටහනින් කළ යුතුයි.

අපේ රටට විශාල කීර්තියක් ගෙන ආ කාන්තා ක්‍රීඩිකාවන් බොහෝමයක් අපේ රටේ ඉන්නවා. විශේෂයෙන්ම අපේ රටේ මලල ක්‍රීඩාවේ පදක්කම් බොහෝමයක් ගෙනවිත් තිබෙන්නේ සුසන්තිකා ජයසිංහ, ශ්‍රියානි කුලවංශ වැනි කාන්තා ක්‍රීඩිකාවන්. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළුව අනෙකුත් බොහෝ ක්‍රීඩාවලත් ජාත්‍යන්තර තලයේ අපේ කාන්තා ක්‍රීඩිකාවන් රැඳී සිටිනවා.”

දේශීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩා සම්බන්ධයෙන් ඇමතිතුමා පැවසුවේ මෙවැන්නක්. “කාන්තා ක්‍රිකට් සම්බන්ධයෙන් අපි විශේෂ අවධානය යොමුකර ඒ සඳහා නව වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. අලුතින් තරග ලබා දෙන්නත් කටයුතු කර තිබෙනවා.

ඒ වගේම දේශීය සහ ජාත්‍යන්තර තරගාවලිවලට සම්බන්ධ කරවන්නත්, LPL තරගාවලිය හරහා කාන්තා ක්‍රීඩා තරගාවලි සංවිධානය කිරීමේ කටයුතු පිළිබඳව සාකච්ඡා කරමින් යනවා. මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්දේ එය ආරම්භ කළ හැකි වේ යැයි මා විශ්වාස කරනවා.

ඒ වගේම මහේල ජයවර්ධන මැතිතුමන් පුහුණු උපදේශක විදියට කාන්තා ක්‍රිකට්වල සංවිධාන ව්‍යුහය මේ වන විට සකස් කර තිබෙනවා. ක්‍රිකට් කමිටුවත් ඒ පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව අපි විශ්වාස කරනවා. අපිට ඉදිරියේ දී කාන්තා ක්‍රිකට්වලින් ජයග්‍රහණවලට යන්න පුළුවන්.

කාන්තා ක්‍රිකට් වලින් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළ පෙළේ සිටින ක්‍රීඩිකාවන් අපේ රටේ සිටිනවා. ඒ අයගේ පළපුරුද්දත් ‍එකතු කරගෙන පාසල් මට්ටමින් අලුතින් දරුවන් ක්‍රීඩාවට සම්බන්ධ කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.  ඒ සඳහා අපි පහුගිය කාලේ Talent Search එකත් කළා. මම හිතන්නේ ඒවාත් සමග ඉදිරියේ දී හොඳ ජයග්‍රහණ කරා යා හැකියි”, යැයි අමාත්‍යතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

අවසන් වශයෙන් අමාත්‍යතුමා, “පාසල්වල අන්තර් ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම සම්බන්ධව විදුහල්පතිවරුන් දැනුම්වත් කර තිබෙනවා. සමහර පාසල් ඒවා සංවිධානය කර තිබෙනවා. සමහර පාසල්වල තවමත් නැහැ. අධ්‍යාපන අමාත්‍යතුමා සමඟ විශේෂ සාකච්ඡාවකින් පසු අධ්‍යාපන අමාත්‍යාංශයේ සෘජු මැදිහත් වීමත් ඒ සඳහා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

පවතින තත්ත්වය මත තරග පැවැත්වීම විදුහල්පතිවරුන්ගේ හැකියාව මත තීරණය වේවි. අපි මලල ක්‍රීඩාවල තේරීම් තරග පැවැත්වූයේ සුගතදාස ක්‍රීඩාංගණයේ කණ්ඩායම් වශයෙන්. දැන් ලෝකේ යන විදිය එයයි. කෙසේ නමුත් අපිට ක්‍රීඩාව සම්පූර්ණයෙන් අතහරින්න බැහැ. ඒ නිසා එක් එක් පාසල්වල සිටින දරුවෝ සංඛ්‍යාව හා ක්‍රීඩාව අනුව කාණ්ඩ කර ඒ ඒ තරගාවලි පැවැත්විය හැකියි”, යැයි පවසා සිටියා.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුන් සහ කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් ඇතුළු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<