New Youngs සහ Blue Star ජයග්‍රාහීව දිනය අවසන් කරයි

Super League 2021

189

මෙරට ප්‍රථම වෘත්තීය පාපන්දු ලීගය වන සුපර් ලීග් 2021 තරගාවලියේ අද (16) පැවති තරගවලින් Blue Star SC සහ New Youngs FC ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා. 

New Youngs FC – Ratnam SC

කොළඹ තුරඟ තරග පිටියේ පැවති මෙම තරගය ගෝල 3-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට New Youngs FC ක්‍රීඩකයන්ට හැකි වුනා.

පසුගිය සතියේ Colombo FC සමඟ පැවති තරගයෙන් ලද විශාල පරාජයෙන් පසුව Ratnam SC මෙම තරගයට පිවිසි අතර, Red Stars FC සමඟ පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට New Youngs FC ක්‍රීඩකයන්ට හැකි වුනා.

Ratnam ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට New Youngs ක්‍රීඩක තරිඳු ධනුෂ්කට හැකි වුනා. ඒ 36 වැනි මිනිත්තුවේ දී ලද පන්දුවක් දඬුවම් රාමුවෙන් එපිට සිට ගෝලය තුළට එල්ල කළ අලංකාර පහරක් මඟින්.

නමුත් තරගයේ 41 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Ratnam ක්‍රීඩක Danso Enoch විසින් New Youngs පසුපෙළ ක්‍රීඩකයන් සහ ගෝල රකින්නා පසු කරමින් පන්දුව දැල වෙත යොමු කිරීම නිසා පළමු අර්ධය ගෝල 1-1ක් ලෙස සමව අවසන් වුනා.

දෙවැනි අර්ධය ආරම්භයේ සිටම දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට දෙපිලේම ක්‍රීඩකයින් සමත් වූවත්, 80 වැනි මිනිත්තුවේ දී Ratnam ගෝල රකින්නා ඉදිරියට පැමිණි අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින් තම කණ්ඩායමේ දෙවැනි ගෝලය වාර්තා කිරීමට New Youngs නායක චතුර ධනංජය සමත් වුනා.

එම ගෝලයෙන් කෙටි වේලාවකට පසු ක්‍රියාත්මක වූ නිකිල ප්‍රනාන්දු දඬුවම් රාමුව තුළ සිට පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමට තෙවැනි ගෝලය රැස්කර දෙමින් ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වුනේ 82 වැනි මිනිත්තුවේ දීයි.

අවසන් ලකුණු තත්වය: Ratnam SC 1 – 3 New Youngs FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • New Youngs FC – තරිඳු ධනුෂ්ක 36’, චතුරංග ධනංජය 80’, නිකිල ප්‍රනාන්දු 82’.
  • Ratnam SC – Danso Enoch 41’.

Blue Star SC – Sea Hawks FC

අද (16) රාත්‍රියේ කොළඹ තුරඟ තරග පිටියේ පැවති මෙම තරගයෙන් ගෝල 3-0ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Blue Star SC ක්‍රීඩකයන් සමත් වුනා.

තරගාවලියේ මෙතෙක් පැවති තරගවලට අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් Sea Hawks FC ක්‍රීඩකයන් ප්‍රබල තත්වයක පසු වූ අතර පසුගිය සතියේ පැවති තරගයන්ගෙන් ප්‍රබල Up Country Lions FC ක්‍රීඩකයින් ගෝල 2-1ක් ලෙස ජරාජය කරමින් Blue Star SC ක්‍රීඩකයින් ජයග්‍රාහී මානසිකත්වයෙන් අද තරගයට පසුවුනා.

තරගයේ පළමු ගෝලය රැස් කරමින් හොඳ ආරම්භයක් ලබා ගැනීමට Blue Star ක්‍රීඩකයින්ට හැකි වුනේ 14 වැනි මිනිත්තුවේ දීයි. Sea Hawks ක්‍රීඩකයෙකු දඬුවම් රාමුව තුළ සිදු කළ වරදක් නිසා හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව එල්ල කරමින් Arepade Jerry එම ගෝලය රැස් කළා.

එම අර්ධය තුළ ගෝල වාර්තා කිරීමට ආසන්න අවස්ථා කිහිපයක් නිර්මාණය කරගැනීමට Sea Hawks ක්‍රීඩකයන්ට හැකි වූවත්, ඒවා සාර්ථකව අවසන් කිරීමට නොහැකි වූ නිසා පළමු අර්ධයේ පෙරමුණ Blue Star ක්‍රීඩකයින්ට හිමි වුනා.

පළමු අර්ධයේ දී ලබා ගත් රිද්මය එලෙසෙම තබා ගනිමින් දෙවැනි අර්ධයට පිවිසි Blue Star වෙනුවෙන් 71 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය රැස් කිරීමට සෙනාල් සංදේශ්ට හැකි වුනා.

88 වැනි මිනිත්තුවේ දී Sea Hawks ගෝල රකින්නා සිදු කළ වැරදි වැළැක්වීමක් නිසාවෙන් හිමි වූ දඬුවම් පහර එල්ල කිරීමේ වගකීම හිමි වුනේ ඉදිරිපෙළ ක්‍රීඩක සෙනාල් සංදේශ් හටයි.

එම ලබා ගත් අවස්ථාවට උපරිම සාධරණයක් ඉටු කරමින් පන්දුව ගෝලයේ දකුණු කෙළවරින් ප්‍රතිවාදී ගෝල රකින්නා පසු කරමින් දැල වෙත එල්ල කිරීමට ඔහු සමත් වුනේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමින්.

අවසන් ලකුණු තත්වය: Sea Hawks FC 0 – 3 Blue Star SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • Blue Star SC – Arepade Jerry 14’ (P), සෙනාල් සංදේශ් 71’&88’(P).

6 වැනි සතියේ තවත් තරග දෙකක් හෙට (17) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

  • දෙසැම්බර් 17: Red Stars FC v Renown SC – සවස 3.30pm
  • දෙසැම්බර් 17: Up Country Lions FC v Blue Eagles SC – රාත්‍රි 7.30pm

තරගාවලියේ සවිස්තර තොරතුරු දැන ගන්නට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<