අන්තර් පළාත් කුසලානයට 15න් පහළ ක්‍රීඩකයින් සූදානම්

202

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමේ බීජාංකුර නැතහොත් ජාතික සිහිනය ජය ගැනීමට වෙර දරණ යොවුන් ක්‍රීඩකයින්ගේ තිඹිරිගෙය වන “ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ අන්තර් දිස්ත්‍රික් සහ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය” නොකඩවා 11 වැනි වතාවටත් ප්‍රීමා ආයතනයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ 2017 වර්ෂයටත් ආරම්භ වේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට දක්ෂයින් තෝරා ගැනීමට ඇති මූලික අඩිතාලම වන පාසල් ක්‍රිකට් ක්‍රීඩාව, තවදුරටත් සංවර්ධන කිරීම හා යොවුන් පාසල් ක්‍රීඩකයින්ට හොඳ වේදිකාවක් තනාදීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

නව ක්‍රිකට් තේරීම් කමිටුව නම් කෙරේ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ග්‍රැහැම් ලැබ්රෝයිගේ නායකත්වය යටතේ නිලධාරීන් 05 දෙනෙකුගෙන් සමන්විත…

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස්, නිරෝශන් දික්වැල්ල, ධනංජය ද සිල්වා සහ බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් මෙම ප්‍රීමා කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් සිය කුසලතා වර්ධනය කර ගත් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ට හොඳ උදාහරණ වේ.

මෙම තරගාවලිය සඳහා පාසල් ක්‍රීඩකයින් 600ක් පමණ සහභාගි වන අතර, දිස්ත්‍රික් කණ්ඩායම් 39ක සහභාගිත්වයෙන් පැවැත්වූ තරග 90කට පසුව එහි දී දස්කම් දැක්වූ ක්‍රීඩකයින්, ඒ ඒ අදාළ පළාත් අනුව කණ්ඩායම් 12කට මේ වන විට වර්ග කර ඇත. එහි තරග සැප්තැම්බර් මස 20 වැනිදා සිට ආරම්භ වේ.

යාපනය, මන්නාරම, වව්නියාව, මුලතිව් හා කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි උතුරු පළාත් කණ්ඩායමක් ද මෙවර තරගාවලිය සඳහා එක්වීම සුවිශේෂී සිදුවීමකි.

ප්‍රීමා සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත “සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස්” හි ප්‍රධාන කළමනාකරු, ෂන් ටියන් මහතා තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමින් පවසා සිටියේ, පසුගිය වසර 10 පුරාවටම මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය දැක්වීම තුළින් උසස් ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වීම, 11වන වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එකතු වීමට ප්‍රධාන හේතුව බවයි.

“මේ වන විට තරගාවලියේ සියලුම සැලසුම් සකස් කර අවසන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය ඉහළ දැමීමට අපට තවත් වරක් අවස්ථාව ලබා දීම පිළිබඳව මා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තුති කරනවා. එසේම මෙවර තරගාවලිය අතිශය සාර්ථකව අවසන් කරන්නට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.” යැයි ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඔක්තෝබර් මස 6 සහ 7 යන දිනවල දී කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වීමට නියමිත අතර, එය රූපවාහිනිය හරහා සජීවීව විකාශනය කිරීමට ද ඔවුන් සැලසුම් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<