​ඉන්දීය නායකයා පරාජයට හේතු කියයි

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

445

පසුගිය සිකුරාදා (23) පැවති ඉන්දු – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය කඩුලු තුනකින් ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා. 

මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය නායක Shikhar Dhawan පවසා සිටියේ වර්ෂාවෙන් තරගයට බාධා වීමෙන් අනතුරුව සිය කණ්ඩායම හොඳින් ක්‍රීඩා නොකළ බවයි.

ඉන්දියාව ලකුණු 225කට සියල්ලන් දැවී ගිය අතර අකිල ධනංජය හා සිය මංගල තරගය ක්‍රීඩා කළ ප්‍රවීන් ජයවික්‍රම වර්ෂාවෙන් බාධා වූ ඉන්දීය ඉනිම යළි ආරම්භයෙන් පසුව ඉන්දීය මැදපෙළ සුනුවිසුනු කරන්නට සමත් වුනා. 

අවිශ්ක ප්‍රනාන්දුගේ සුපිරි පිතිකරණය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර අටක් ඉතිරිව තිබිය දී කඩුලු හතක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

“වර්ෂාවෙන් පසුව නැවත තරගය ආරම්භ වීමෙන් පසුව අපිට අවශ්‍ය විදියට තරගය ක්‍රියාත්මක වුනේ නැහැ. අපි හොඳ ආරම්භයක් ලබා ගත්තා වුනත් මැද පන්දුවාරවල කඩුලු ගොඩක් බිඳ වැටුණා. මම හිතන්නේ අපි තවත් ලකුණු 50ක් විතර මදිව හිටියේ”, Dhawan පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

“එම ඉලක්කය ආරක්ෂා කරන්නට ලබා දුන් සටන පිළිබඳව අපි හරිම ධනාත්මකව සතුටු වෙනවා. නමුත් ඒ වෙද්දීත් අපි දැනගෙන සිටියා අපිට තව ලකුණු 50ක් රැස්කර ගන්න තිබුණා කියල. මම සතුටුයි ක්‍රීඩකයෝ සටන් කරපු විලාසයට.”

ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩකයින් පස්දෙනෙක්ගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය වුනේ මේ තරගය වීම විශේෂත්වයක්. “මම හරිම සතුටුයි ඒ ක්‍රීඩකයොන්ටත් අවස්ථාවක් ලැබීම පිළිබඳව. ඔවුන් ගොඩක් කල් ජෛව ආරක්‍ෂිත බුබුළේ නිරෝධායනය යටතේ සිටියේ. අපි මේ තරගය වෙනකොටත් තරගාවලිය ජයගෙන හිටිය නිසා අපිට ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන්නට ලැබුණා.”

තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත් Suryakumar Yadav සිය සම්මානය පිළිබඳව මෙලෙස අදහස් දක්වා සිටියා. “මට අවසන් තරග දෙකේ දී ලොකු ලකුණු ගණනක් වාර්තා කරගන්නට අවශ්‍ය වුනා. නමුත් එය සාර්ථක වුනේ නැහැ. ක්‍රීඩකයින් අතර වාතාවරණය බොහොම ධනාත්මකයි. අපි විස්සයි විස්ස තරගාවලිය ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.” 

ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලිය හෙට (25) ආරම්භ වීමට නියමිතයි.

Times of India ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<