ICC වසරේ T20 කණ්ඩායමට වනිඳුගේ නමත්

ICC වසරේ විස්සයි විස්ස සංචිතය

1056

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කළ “ICC වසරේ විස්සයි විස්ස සංචිතය” සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වනිඳු හසරංග ද නම් කිරීමට ICC තීරණය කර තිබෙනවා.

11 දෙනෙකුගෙන් සමන්විත මේ සංචිත අද (19) ICC විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර සංචිතයේ නායකත්වය හිමිව තිබෙන්නේ පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක Babar Azam හටයි. පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක Mohammad Rizwan කඩුලු රකින්නා ලෙස සංචිතයට නම් කර තිබෙනවා.

නිමා වූ වසර වනිඳු හසරංග හට ඉතාමත් පෙරළිකාර වසරක් වූ අතර විස්සයි විස්ස ක්‍රිකට් ආකෘතියේ කැපී පෙනෙන දඟපන්දු යවන්නෙකු ලෙස කාගේත් අවධානය දිනා ගන්නට ඔහු සමත් වුනා.

පන්දු යැවීමෙන් පමණක් නොව පිතිකරණයෙන් ද දක්ෂතා දක්වන්නට සමත් වූ හසරංග නිමා වූ ලෝක කුසලානයේ දී ලකුණු 196ක් වාර්තා කරන්නට සමත් වුනා.

එක්සත් අරාබි එමීර් සහ ඕමානය කේන්ද්‍ර කරගනිමින් පැවති විස්සයි විස්ස ලෝක කුසලානය අවසානයේ දී තරග 20කට සහභාගී වෙමින් 11.63ක සාමාන්‍යයක් සමඟින් කඩුලු 36ක් දවා ගන්නට ඔහු සමත් වුනේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙමිනුයි.

මේ වන විට ලොව විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීමේ කිරුළ දරන්නේ ද වනිඳු හසරංග විසිනුයි.

මෙම සංචිතය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හසරංගට අමතරව, දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය නියෝජනය කරමින් ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් ද, ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් දෙදෙනෙක් ද, එංගලන්තය සහ බංග්ලාදේශය නියෝජනය කරමින් ක්‍රීඩකයෙකු බැගින් ද නම් කර තිබෙනවා.

මීට සමගාමීව කාන්තා ICC වසරේ කාන්තා විස්සයි විස්ස සංචිතයක් ද නම් කිරීමට ICC තීරණය කර තිබෙන අතර එහි නායකත්වය හිමිව තිබෙන්නේ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකා Nat Sciver හටයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<