වලව සුපර්ක්‍රොස් 2016 – සඳරුවන් කලකට පසු දස්කම් අතරට

281
Walawe Supercross 2016

අදාළ දිගහැරුම සැප්තැම්බර් 11 වැනිදා පැවැත්විණි. ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු බලකාය මෙවර වලවේ සුපර්ක්‍රොස් ඉසව්ව  සංවිධාන කර තිබුනේ ශ්‍රී ලංකා යතුරුපැදි  සමාජයේ (SLMCC) ද සහය ඇතිවයි.

පසුගිය ලිපි: පැතුම් නිස්සංක ඉසිපතනය ඔසවා තබයි

උඩවලව ජාතික වනෝද්‍යානයට යාබදව  සුන්දර පරිසරයක පිහිටි මේ ධාවන පථය සියලු මෝටර් රථ සහ යතුරුපැදි තරග ලෝලීන්ගේ සිත් ඇද බැඳ ගත් ස්ථානයක් වන අතර, පසුගිය කාල සමයේ පැවති වියලි කාලගුණය හේතුවෙන් ඉතා දුවිලි සහිත තත්ත්වයක පැවති ධාවන පථය නිසි පරිදි ජලය යොදා ආරක්‍ෂිත ස්ථානයක් බවට පත් කරන්නට යුද හමුදා විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු බලකා සාමාජිකයන් ඉතා ප්‍රශංසනීය උත්සාහයක් ගෙන තිබිනි.

ආරක්ෂක සේවා වෙනුවෙන් බුද්ධික සටනට

දිනයේ මුලින්ම පැවති ඉසව් අතරින් ආරක්ෂක සේවා තරගකරුවන් සඳහා සංවිධාන කර තිබු, MX කාණ්ඩයේ එන්ජින් ධාරිතාව 100cc සිට 125cc දක්වා (ද්විත්ව පහර) රේසිං මෝටර්ක්‍රොස් ඉසව්ව කැපී පෙනුනි. මෙරට යතුරුපැදි තරගකරුවන් අතුරින් තරු රැසක්ම යුද හමුදාව නියෝජනය කිරීම හේතුවෙන් මෙම තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කල අතර එය සැබවින්ම උණුසුම් තරග ඉසව්වක් විය. මිතුන් සිගේරා, නාමල් කුමාර, බුද්ධික සිල්වා සහ සමීර ප්‍රේමරත්න අතර ජයග්‍රාහී අවසානයක් සඳහා ප්‍රබල තරගයක් පැවති අතර සමීර ප්‍රේමරත්න දෙවන ස්ථානයට ඇද දමමින් මේ තරගය ජයගන්නට බුද්ධික සිල්වා සමත් විය. නාමල් කුමාර තියුණු සටනකින් පසු මිතුන් සිගේරා අභිබවා 3වන ස්ථානය දිනා ගන්නා ලදී.

SL-N කාණ්ඩයේ එන්ජින් ධාරිතාව 1300cc ෆෝර්ඩ් ලේසර් සහ මැස්ඩා මෝටර් රථ තරගය ඉතා වේගවත් මුහුණුවරක් ගත් අතර එහි ජයග්‍රහණය සඳහා ප්‍රබල සටනක් පැවතුනේ කුෂාන් පීරිස් සහ උපුල්වන් සේරසිංහ අතරයි. කුෂාන් හට ආරම්භක ස්ථානයේ ඉදිරියෙන් පසුවීමට ලද අවස්තාව ඔහු උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තේ වඩාත් අත්දැකීම් සහිත සේරසිංහට කිසිදු අවස්තාවක තමන් අභිබවන්නට ඉඩ ලබා නොදෙමින්. කුෂාන් මේ තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කරද්දී උපුල්වන් සේරසිංහ දෙවන ස්ථානයටත්, අකිල ද කොස්තා තුන්වන ස්ථානයටත් පත් විය.

මෙම කාණ්ඩයටම අයත් එන්ජින් ධාරිතාව 1500cc ෆෝර්ඩ් ලේසර් සහ මැස්ඩා මෝටර් රථ තරගයේද, පළමු ස්ථාන දෙක කුෂාන් සහ උපුල්වන් පිලිවෙලින් දිනා ගනිද්දී 1300cc කාණ්ඩයේ 4 වන ස්ථානයෙන් සෑහීමකට පත් වන්නට සිදුවූ නිශාන්ත සේනාධීර මෙම ඉසව්වේ 3 වන ස්ථානය දිනා ගන්නා ලදී. තරග ආරම්භක ස්ථානයට නුදුරින් පිහිටි තරමක් අපහසු වංගුවකදී ශාවින් විජේරත්නගේ රථය ඉවතට පෙරලීයාමෙන් දිනයේ පළමු අනතුර වාර්තා වුනේද මෙම තරගයේදීයි.

ඉෂාන්ට අවාසනාවන්ත දිනයක්

MX කාණ්ඩයේ  – එන්ජින් ධාරිතාව 100cc සිට 125cc දක්වා රේසිං යතුරුපැදි තරගය තුල මේ වසරේ අදාළ ඉසව්වේ ඉහලම දස්කම් දැක්වූ ඉශාන් දසනායකගේ පරාජය කැපී පෙනුනි. ඉශාන් හොඳ ආරම්භයක් සමගින් 3 වන වටය දක්වා ඉදිරියෙන් ධාවනය කරන්නට සමත් විය. කෙසේ වෙතත් යුද හමුදා ධාවකයන් වන බුද්ධික සිල්වා සහ සමීර ප්‍රේමරත්න ඉශාන් හට දැඩි තරගයක් දෙන්නට සමත් වූ අතර 3 වන වටයේදී බුද්ධික තරගයේ පෙරමුණ ගන්නට සමත් විය. වට 6 කින් සමන්විත වූ මේ තරගයේ 4 වන වටය තුල සමීර ප්‍රේමරත්නද ඉදිරියට පැමිණියේ ඉශාන් දසනායක 3වන ස්ථානයට ඇද දමමිනුයි. ඉශාන්ගේ යතුරුපැදියේ යම් දෝෂ සහගත තත්ත්වයක් ඇති බවටද දක්නට ලැබුණු අතර ඔහුට තරගය අවසන් වන තෙක් 3 වන ස්ථානයෙන් ඉදිරියට පැමිණෙන්නට හැකි නොවීය. මේ තරගයන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රධානයෙදී දැනගැනීමට ලැබුනේ පළමු ස්ථානය දිනාගත් බුද්ධික සිල්වා තම යතුරුපැදියේ පසුපස රෝදයේ හුලං බිඳක් හෝ නොමැති තත්ත්වයෙන් වුවද ජයග්‍රහණය වෙත ධාවනය කර ඇති බවයි.  

වලව සුපර්ක්‍රොස් හොඳම ධාවක කිරුල යලිත් පසිඳු පීරිස්ට.

දිනයේ ප්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූයේ  SL කාණ්ඩයේ එන්ජින් ධාරිතාව 3500cc දක්වා වූ  GT මෝටර් රථ ඉසව්වයි. කටවහරේදී ‘සුපර් කාර්’ ඉසව්ව ලෙස හැඳින්වෙන මෙම ඉසව්වේ මේ වසරේ වැඩිම දස්කම් දැක්වූ උෂාන් පෙරේරාට තරග ආරම්භයේදී පසුපසම ස්ථානය හිමිවුණේ සුදුසුකම් ලැබීමේ කාල ගණන වටයේදී ඔහු අනතුරකට ලක්වීම හේතුවෙනුයි. එම වාසිය ප්‍රයෝජනයට ගත් පසිඳු පීරිස් පළමු ස්ථානයේ සිට (Pole Position) තරගය ආරම්භ කල අතර අවසානය තෙක්ම එම ස්ථානය රඳවා ගන්නටද සමත් විය.

මිස්සක නවීන් එම තරගයේ දෙවන ස්ථානයත්, කමල් ප්‍රසන්න 3 වන ස්ථානයත් දිනා ගන්නා ලදී. අවසන් ස්ථානයේ සිට තරගය ආරම්භ කල උෂාන් පෙරේරා 4 වන ස්ථානය දිනා ගන්නට සමත් විය. මෙම ඉසව්වේ දෙවන තරගය තුල අනතුරු රැසක් සිදු වුවද පසිඳු පීරිස් එම තරගයද ජය ගනිමින් වලව සුපර්ක්‍රොස් විශිෂ්ටතම මෝටර් රථ ධාවකයා බවට යලිත් පත්වූ අතර උෂාන් පෙරේරා දෙවන ස්ථානයත්, මිස්සක නවීන් 3 වන ස්ථානයත් දිනා ගන්නා ලදී.

ගයාන් සඳරුවන්ට වසර 3 කට පසු ජයග්‍රහණයක්

MX කාණ්ඩයේ රේසිං මෝටර්ක්‍රොස් එන්ජින් ධාරිතාව 100cc – 125cc (ද්විත්ව පහර) සහ රේසිං මෝටර්ක්‍රොස් එන්ජින් ධාරිතාව 175cc – 250cc (සිවු පහර) තරග කාණ්ඩ යටතේ පැවති තරග මගින් වලවේ සුපර්ක්‍රොස් විශිෂ්ටතම යතුරුපැදි ධාවකයා තෝරා ගැනීම සිදුකෙරුණු අතර ඉශාන් දසනායකගේ අවාසනාව ඒ වනවිටත් ඔහු හැරගොස් නොතිබුණි. මෙහි පළමු තරගයේදී 5 වන ස්ථානයට පත්වූ ඔහු දෙවන තරගයේදී අවාසනාවන්ත අනතුරකට මුහුණ දෙන ලදී. විශිෂ්ට ආරම්භයක් සමගින් පළමු තරගය ජය ගන්නට ඉවෝන් ගුරුසිංහ සමත් වූ අතර ප්‍රවීණ යතුරුපැදි ධාවක ගයාන් සඳරුවන් දෙවන ස්ථානයට පත් විය. 3 වන ස්ථානය හිමිවුණේ යුද හමුදාවේ බුද්ධික සිල්වාට යි.

කෙසේවෙතත් දෙවන තරගයේ පළමු පිම්ම ලබා ගැනීමේදී සිදුවූ අනතුරකින් පළමු තරගය ජයගත් ඉවෝන් ගුරුසිංහ මෙන්ම ඉශාන් දසනායක ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම ඉදිරි ගමනට බාධා එල්ල විය. නමුත් තම අත්දැකීම් සමගින් අගනා තරගයක නිරත වූ ගයාන් සඳරුවන් මේ තරගය ජය ගත්තේ වලවේ සුපර්ක්‍රොස් විශිෂ්ටතම යතුරුපැදි ධාවකයා බවටද පත් වෙමිනුයි. මෙය වසර 3 කට පසු ගයාන් සඳරුවන් ලැබූ පළමු යතුරුපැදි කිරුළ වීම විශේෂත්වයක්.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට