ශිරාන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය 2021

509
Shiran Fernando

28 හැවිරිදි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

ඔහු එළඹෙන 28 වැනිදා ශ්‍රී ලංකා A සහ පාකිස්තානු A කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත සිව්දින තරග දෙක සහ එක්දින තරග තුනේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානමින් සිටියා. කෙසේ නමුත් ඔහු මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වී තිබෙනවා.

නුවන් ප්‍රදීප්ගේ ආබාධය නිසා ලහිරු කුමාර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වීමත් සමඟ අතිරේක ක්‍රීඩකයින් අතර වේගපන්දු යවන්නෙකු නොසිටීම නිසා ශිරාන්ව මෙසේ ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් අතරට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

තවද ප්‍රදීප්ගේ ආබාධය දැනට තරමක් යහපත් අතට හැරෙමින් තිබෙන බව වාර්තා වන නමුත්, එය සම්පූර්ණයෙන් සුව වී නැවතත් ඔහුගේ පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට හැකි දිනයක් පිළිබඳව තවමත් පැහැදිලි තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

2021 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 17 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය 18 වැනිදා නැමීබියාව සමඟ අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතයි.

එහි තරග තොරතුරු ඇතුළු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු  වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<