Dialog ‘සාන්තුවරයන්ගේ සටන’ බලගන්වයි

175
(ඡායාරූපයේ වමේ සිට දකුණට): මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති ගරු රන්ජිත් අන්ද්‍රාදි පියතුමා, Dialog Axiata PLC හි ප්‍රධාන උපදේශක / උප සභාපති - සමූහ නීති සහ නියාමන ට්‍රිනේෂ් ප්‍රනාන්දු මහතා සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති ගරු රෝහිත රොද්‍රිගූ පියතුමන්.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කතෝලික පිරිමි පාසල් දෙකක් වන මරදාන සාන්ත ජෝසප් විදුහල සහ බම්බලපිටිය සාන්ත පීතර විදුහල් අතර ‘මෝරිස් ජේ. ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලානය’ වෙනුවෙන් පැවැත්වෙන මහා ක්‍රිකට් ගැටුම, 2021 දෙසැම්බර් මස 13 හා 14 යන දිනවල කොළඹ SSC පිටියේ දී පැවැත්වීමට නියමිතය.

උද්වේගකාරී හා තරගකාරී ක්‍රිකට් සන්නාමයක් ලෙසින් ප්‍රචලිත ‘සාන්තුවරයන්ගේ සටන’, වැඩි උනන්දුවක් හා ප්‍රතිඵල නැඹුරුවක් වෙනුවෙන් උපායමාර්ගිකව, පළමු ඉනිම පන්දුවාර 60කට සීමා කරන ලද එකම වාර්ෂික දෙදින ක්‍රිකට් තරගයයි.

2021 මහා ක්‍රිකට් තරගයේ දී සාන්ත ජෝසප් කණ්ඩායම ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායක දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ විසින් මෙහෙයවනු ලබන අතර සාන්ත පීතර කණ්ඩායම 5 වැනි වසර වර්ණලාභියෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකු වන නිපුනක ෆොන්සේකාගේ නායකත්වය යටතේ තරග වදිනු ඇත.

 මෙවර සත්කාරකත්වය දරන කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති ගරු රෝහිත රොද්‍රිගූ පියතුමන් අදහස් දක්වමින්, “ගෝලීය වසංගතය ලෝකය අඩපණ කර ඇති නමුත් සම්ප්‍රදායන්, වටිනාකම් හා ඉතිහාසය ආරක්ෂා කිරීමට මෙන්ම සුරක්ෂිත කිරීමට උපකාරී වන ක්‍රිකට් ක්‍රීඩාවක් සමඟ බැඳුණු අද්විතීය සම්ප්‍රදායක් වැළඳ ගැනීමට අප වාසනාවන්ත වී තිබෙනවා”, යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පියතුමන්, “ජෝසප්- පීතර මහා ක්‍රිකට් තරගය, සහෝදරත්වය, එකමුතුකම, සාමය හා සහජීවනය පිළිබඳ අද්විතීය හැඟීමක් පෝෂණය කරන අතර මෙම වසරේ දී ක්‍රීඩාගාරවල ප්‍රේක්ෂකයන් නොමැති වුවද ජීවගුණය එලෙසම පවතිනු ඇත. වසංගතය තුළ අභියෝග ජය ගැනීම සඳහා ධෛර්යයෙන්, විනයකින් හා වගකීමෙන් යුතුව සටන් කළ සැමට මාගේ කෘතඥතාව පළ කරනවා. අපගේ ප්‍රබෝධමත් සන්නාමයට දක්වන සහයෝගයට ප්‍රධාන අනුග්‍රාහක Dialog Axiata සමාගම වෙත මාගේ අවංක ස්තූතිය පුදකර සිටිනවා”, යැයි පවසන ලදි.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති ගරු රන්ජිත් අන්ද්‍රාදි පියතුමන් අදහස් දක්විමින්, “පරම්පරා ගණනාවක් පුරා නොබිඳුනු දාමයකින් පවතින සහෝදරත්වයේ හා මිත්‍රත්වයේ ජීවගුණය එක්රැස් කරන්නා වූ තවත් ‘ජෝසප්- පීතර මහා ක්‍රිකට් තරගයක්’ සඳහා වේදිකාව සූදානම් කිරීමට දිව්‍යමය ආශීර්වාදයක් හා සමඟ බොහෝ දෙනාගේ දැඩි කැපවීම තුළින් අප සමත් වී තිබෙනවා. අපගේ සිසුන් වෙහෙස මහන්සි වී පුහුණුවීම් කටයුතු සිදු කළ අතර ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට මෙම සුවිශේෂී අවස්ථාව ලබා දීමට අප අදහස් කරනවා. අනුග්‍රාහකත්වය දරන Dialog Axiata සමාගමට මා ස්තූතිවන්ත වන අතර කණ්ඩායම් ද්විත්වයටම සුබ පැතුම් එක්කරනවා.”

සාන්ත ජෝසප් විද්‍යාලය ජයග්‍රහණ 12ක් සමඟින් මෙම තරගාවලි ඉතිහාසයේ පෙරමුණේ පසුවන අතර ඔවුන්ගේ අවසන් ජය වාර්තා වී තිබෙන්නේ 2008 වසරේ දී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වය යටතේය. 2016 වසරේ දී විනූ මොහොට්ටිගේ නායකත්වය යටතේ 10 වැනි ජයග්‍රහණය වාර්තා කළ සාන්ත පීතර විදුහල මේ දක්වාම ‘මෝරිස් ජේ ලෙගෝ පියතුමන්’ කුසලාන, තමන් සන්තකයේ රඳවා තබා ගන්නට සමත් වී තිබේ.

පාසල් ඉතිහාසය තුළ පළමු සීමිත පන්දුවාර මහා ක්‍රිකට් තරගය ලෙසින් 1975 වසරේ දී ආරම්භ වූ ‘ජෝසප් -පීතර’ පන්දුවාර 50 ක්‍රිකට් තරගය සෑමවිටම පාසල් එක්දින තරගයක් සඳහා ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයට හිමිකම් කියා ඇත.

 මෙම වසරේ දී වසංගත තත්ත්වය හේතුවෙන් අවදානම අවම කරගැනීම සඳහා ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වෙන නමුත් උද්‍යෝගීමත් ආදි සිසුන් හා වත්මන් සිසුන් විශාල පිරිසක් පුද්ගලික, දුරස්ථ ස්ථානවල සිට  ආරක්ෂිතව තරඟය නැරඹීමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි සෞඛ්‍ය අවශ්‍යතාවන් හා මාර්ගෝපදේශයන් අනුගමනය කරනු ඇත.

‘පීටර් ඒ. පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලානය’ වෙනුවෙන් දෙවිදුහල් තරග වදින සීමිත පන්දුවාර තරගය 1975 වසරේ ආරම්භ වූ අතර, පාසල් අතර පැවති ප්‍රථම එක්දින තරගය ද වේ.

පන්දුවාර 50 පාසල් ක්‍රිකට් තරගයක් සඳහා සහභාගි වන ඉහළම ප්‍රේක්ෂක පිරිස ආකර්ෂණය කරගැනීමට මෙම තරගය සමත්ව ඇති අතර, මෙවර විදුහල් දෙක අතර පන්දුවාර 50 තරගය දෙසැම්බර් 16 වැනිදා ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව කොළඹ SSC පිටියේ පැවැත්වීමට නියමිතය. සාන් ජෝසප් කණ්ඩායම එක්දින තරග වාර්තාව 23-20ක් ලෙස ජය ගනිමින් ඉදිරියෙන් පසුවන අතර, තරග 2ක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.

සාන්ත ජෝසප් කණ්ඩායම නියෝජනය කරන දුනිත් වෙල්ලාලගේ, ෂෙවෝන් ඩැනියෙල්, සදීෂ් ජයවර්ධන මෙන්ම සාන්ත පීතර විදුහල නියෝජනය කරන වනුජ සහන්, දනල් හේමානන්ද, ලහිරු දෙවැටගේ යන පාසල් ද්විත්වයේ ක්‍රීඩකයන් 6 දෙනකු පසුගිය සංචාරක බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායමට එරෙහි තරගාවලියට එක්වීම හා මේ වන විට පැවැත්වෙන සංචාරක එංගලන්ත 19න් පහළ කණ්ඩායමට එරෙහි තරගාවලියට ඉන් ක්‍රීඩකයන් 5 දෙනකු එක්ව තිබීම මෙවර තරගය වඩාත් උද්වේගතර බවක් ගෙනෙනු ඇත.

සාන්ත ජෝසප් විදුහලේ නායක දුනිත් වෙල්ලාලගේ මෙම සංචාර ද්විත්වයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්කළ අතර සාන්ත පීතර විදුහලේ වනුජ සහන් හා සාන්ත ජෝසප් විදුහලේ ෂෙවෝන් ඩැනියෙල් තරගාවලි දෙකේ දී ම නිත්‍ය තරග දිනවන්නන් බවට පත්විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන හා බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන සඳහා දෙසැම්බර් 19 වැනිදා පිටත්ව යන ශ්‍රී ලංකා සංචිතයට මෙම ක්‍රීඩකයන් පස්දෙනාම ඇතුළත් වීමට නියමිතය.

මෙම පාසල් ද්විත්වය බොහෝ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට දායාද කර තිබේ. වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, චමින්ද වාස්, තිසර පෙරේරා, ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන්ඩොට්, රොෂේන් සිල්වා, ප්‍රියමාල් පෙරේරා හා සධීර සමරවික්‍රම ශ්‍රී ලංකාව නියෝජනය කළ ආදි ජෝසප් ක්‍රීඩකයන් වන අතර රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, විනෝදන් ජෝන්, අමල් සිල්වා, රසල් ආර්නෝල්ඩ්, මලින්ද වර්ණපුර, කෞෂාල් ලොකුආරච්චි හා ඇන්ජලෝ පෙරේරා ජාතික කණ්ඩායම නියෝජනය කළ ආදි පීතර ක්‍රීඩකයන් වේ.

ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් ඩයලොග් ආසිආටා මෙම තරගය, ThePapare.com,  ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු සම්පාදනය කර ඇති අතර සියලුම වත්මන් සිසුන්, ආදි සිසුන්, දෙමාපියන්, දිරිගන්වන්නන්, සුබ පතන්නන්, ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි මහජනතාව ආරක්ෂිත ස්ථානවල සිට තරගය නැරඹීමෙන් ආරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූල වන බව සහතික කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙවර  ‘සාන්තුවරයින්ගේ සටන’ සඳහා සම අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කරනු ලබයි.

Dialog Axiata PLC ජාතික ක්‍රිකට්, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස ද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ඔලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම සහ ලෝක පැරාලිම්පික් තරගාවලිය බලගැන්වීමට කටයුතු කර ඇත.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<