පාකිස්තානයේ 92 කතාව, 2019 නැවත ලියැවේ!

347

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් නවසීලන්තය පැමිණි අපරාජිත ගමන අවසන් කිරීමට ඊයේ (26) පාකිස්තානය සමත් විය. එම ජයග්‍රහණයත් සමඟින් 1992 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව යම් කතාබහක් සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා පැතිර යමින් පවතී. ඒ 1992 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායම ලැබූ ජයග්‍රහණයන් හා පරාජයන් සියල්ල මෙවර ලෝක කුසලානයේ දී ද එලෙසම සිදුවීමයි. 

බාබර් අසාම් කිවියන්ගේ අපරාජිත බව විනාශ කර දමයි

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය අද ……

පාකිස්තාන ක්‍රිකට් වංශ කතාවේ උච්චතම ස්ථානය ලෙස 1992 ලෝක කුසලානය හැඳින්විය හැක. එතරම් අවධානයට යොමු නොවූ කණ්ඩායමක් වූ පාකිස්තානය, එම වසරේ ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් ලෝක ක්‍රිකට් ශූරයින් ලෙස කිරුළු පැලඳීමට සමත් විය. කෙසේ වෙතත් මෙම සමානකම් පාකිස්තාන ක්‍රීඩාලෝලීන්ව දැනටමත් දැඩි උද්‍යෝගයකට පත්කර හමාරය. 

1992 හා 2019 ලෝක කුසලානවල පළමු තරගය කොදෙව් කණ්ඩායම හමුවේ පාකිස්තානය පරාජය විය. 1992 වසරේ පාකිස්තානය මුහුණ දුන් දෙවන තරගය සිම්බාබ්වේ හමුවේ ජයග්‍රහණය කළ අතර මෙවර තරගාවලියේ තම දෙවන තරගයේ දී එංගලන්තය පරාජය කිරීමට පාකිස්තානය සමත් විය. තරගාවලි දෙකේ දී ම පාකිස්තානයේ තුන්වැනි තරගය වර්ෂාව නිසා ක්‍රීඩා කිරීමට නොහැකි විය. 1992 මෙන්ම 2019 වසරේ දී ද සිව්වැනි හා පස්වැනි තරග පරාජය වූ පාකිස්තානය හයවැනි හා හත්වැනි තරග ජයග්‍රහණය කිරීමට සමත් විය. 

මෙහි සුවිශේෂිතම කරුණ වන්නේ 1992 වසරේ දී මෙන් 2019 වසරේ දී ද නවසීලන්තය අපරාජිත කණ්ඩායමක් ලෙස පාකිස්තානය සමඟින් තරග වැදුණු අතර ඔවුන්ගේ අපරාජිත බව අවසන් කිරීමට පාකිස්තානය සමත්ව ඇත. 

“ඒක සමානයි. නවසීලන්තය එක්ක එකම තරග ප්‍රතිඵල හා ලකුණු තිබුණේ. අපිට අවශ්‍ය වෙලා තිබුණේ ඕස්ට්‍රේලියාව, කොදෙව් කණ්ඩායම පරාජය කරන්න. අපිට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්න.” මෙලෙස පවසා සිටියේ 1992 වසරේ ලෝක ශූර පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලම වේගපන්දු ‍යවන්නා වූ වසීම් අක්‍රම් ය. 

“ඊට පස්සේ අපි නවසීලන්තය පරාජය කළා. ඒ වෙනකොට ඔවුන් අපරාජිතව හිටියේ. සමානකම් ගොඩක් තිබෙනවා. මම හිතනවා අවසන් ප්‍රතිඵලයත් එහෙම වෙයි කියලා.” මේ වන විට රූපවාහිනී නිවේදකයෙකු ලෙස ලෝක කුසලානයට එක්ව සිටින වසීම් තවදුරටත් පැවසීය. 

ලෙඩ ඇඳේ ඉඳන් ලෝඩ්ස් ආව බෙහ්රෙන්ඩෝෆ්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියා …..

1992 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට වසීම් සමත් වූයේ කඩුලු 18ක් ලබා ගනිමිනි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවන ස්ථානයට පත්වීමට පාකිස්තාන වේගපන්දු යවන්නෙකු වන මොහොමඩ් අමීර් සමත්ව ඇත්තේ කඩුලු 16 ක් ලබාගනිමිනි. 

“මම දන්නේ නෑ ක්‍රීඩකයන් මේවා කතා වෙනවා ද කියලා. ඒත් මේක එයාලව උත්තේජනය කරන්න ඕන.” 

පාකිස්තාන නායක සර්ෆරාස් අහමඩ් මෙම සමානකම් පිළිබඳව එතරම් අවධානයක් යොමු කර නැත. 

“ඒ අතීතය. අපි නවසීලන්ත තරගය ජයග්‍රහණය කළාට පස්සේ මට කවුරුහරි කිව්වා අපි 1992 දී නවසීලන්ත ඉලක්කය හඹාගොස් ජයග්‍රහණය කළේ පන්දු 5ක් ඉතිරිව තියෙද්දී කියලා.” යයි සර්ෆරාස් අහමඩ් පැවසීය. 

පන්දුවාර 49යි පන්දු එකක් තුළ කඩුලු 4ක් පමණක් දැවී නවසීලන්තය ලබාදුන් ලකුණු 238ක ඉලක්කය පසුකර යමින් ජයග්‍රහණය කිරීමට පාකිස්තානය සමත් විය. පාකිස්තාන කණ්ඩායම මෙම සමානකම් සැබෑවක් කරමින් තරගාවලිය ජයග්‍රහණය කරාවි යැයි පාකිස්තාන ක්‍රීඩාලෝලීන්ගේ එකම පැතුම වී තිබේ. 

“1992 නායකයා ඉම්රාන් ඛාන්. ඔහු වසර 26කට පස්සේ ‍රටේ අගමැති වුනා. ඒ නිසා සර්ෆරාස් 2045 දී දේශපාලනයට ඒවි.” ලෙස සමාජ මාධ්‍යවල පළවී තිබිනි. 

1992 වසරේ පාකිස්තාන කණ්ඩායම නවසීලන්තය පරාජය කිරීමෙන් අනතුරුව අවසන් පූර්ව වටයට පිවිසි අතර එහි දී ඔවුන් නැවතත් නවසීලන්තය පරාජය කිරීමට සමත් වූයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගනිමිනි. අවසන් තරගයේ දී එංගලන්තය පරාජය කරමින් ක්‍රිකට් ලෝක කුසලානය හිමිකර ගැනීමට පාකිස්තානය සමත් විය. 

නුවන් ප්‍රදීප් හෙට සෙල්ලම් කරන්නේ නෑ?

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක නුවන් ප්‍රදීප් හෙට (28) ….

පාකිස්තානයට තවත් ඉතිරිව ඇත්තේ තරග දෙකක් පමණි. ඒ අනුව එළඹෙන 29 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟින් ද ජූලි මස 05 වැනිදා බංග්ලාදේශය සමඟින් ද ඔවුන් තරග වදිනු ඇත. 

පාකිස්තානය 1992 වසරේ ලෝක කුසලානය අනුව යමින් මෙවර ශූරතාවය ජයග්‍රහණය කළහොත් 1996 වසරේ ලෝක කුසලානය මෙන් 2023 වසරේ දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමි වේවි ද? ඔබේ අදහස් සඳහා විවෘතයි. 

2019 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.  

AFP ඇසුරෙනි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<