ලිට්ල් මාස්ටර් ඉදිරියේ අසරණ වූ ස්පාර්ටන් සන්නාමය

93
Sachin Tendulkar

ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් පිති නිෂ්පාදන සමාගමකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සැලසුම් කොට තිබූ හිටපු ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ඔවුන්ට එරෙහිව ගොනු කළ තිබූ නඩුවක් ඉවත් කර ගැනීමට පසුගිය දා කටයුතු කොට තිබුණේ දෙපාර්ශවයම මේ සම්බන්ධයන් එකඟතාවකට පැමිණීමත් සමඟිනි.

>> කොරෝනා දසත පැතිරෙද්දී කොදෙව්වෝ අලුත් සෙල්ලමකට

ස්පාර්ටන් ක්‍රීඩා සමූහය තම සන්නාමය වඩාත් හොඳින් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතරට ගෙන යාමේ අරමුණින් 2016 වසරේ දී සචින් තෙන්ඩුල්කාර් සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කටයුතු කළ අතර එම ගිවිසුම්ගත කාලසීමාව 2018 වසර අග භාගයේ දී අවසන් වීමට නියමිතව තිබූ බව ද වාර්තා වේ. 

කෙසේ නමුත් ඔවුන් තම ප්‍රවර්ධන කටයුතු සඳහා අවසරයකින් තොරව තෙන්ඩුල්කාර්ගේ නාමය යොදා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාව අයැද සිටින බව සඳහන් කර සිටින්නේ ගිවිසුමෙහි සඳහන් කර තිබූ නීති රෙගුලාසිවලට පටහැනිව කටයුතු කළ බවට පැහැදිලිවම සනාථ වී ඇති නිසාවෙනි.

පසුගිය වසරේ සිඩ්නි නුවර දී මේ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් අතරතුර දී තම කීර්තිනාමයට සිදු වූ කැළල සැලකිල්ලට ගනිමින් ඊට සරිලන වන්දි මුදලක් තමන් හට හිමි විය යුතු බව තෙන්ඩුල්කාර් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ව්‍යාපාර සමූහයක් වශයෙන් තමන් අතින් සිදු වූ වරද නිවැරදි කිරීම සඳහා ස්පාර්ටන් සමූහයේ ප්‍රධානීහූ ඩොලර් මිලියන ගණනක මුදලක් තෙන්ඩුල්කාර් හට ලබා දීමට ක්‍රියා කළ බවට ද මින් පෙර අවස්ථාවක දී විශ්වාසවන්ත ආරංචි මාර්ග කිහිපයක්ම වාර්තා කොට තිබුණි. 

>> බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරුට කොරෝනා

එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස් ගැල්බ්‍රෙත් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ තමන් ඇතුළු තම කණ්ඩායම අතින් සිදු වූ මෙම අත්වැරදීම සම්බන්ධයෙන් ඉතාමත් කනගාටු වන බවත්, ගැටලුව පිළිබඳ නිවැරදි අවබෝධයකින් යුතුව ඉතා ඉවසිලිමත්ව ක්‍රියා කළ තෙන්ඩුල්කාර් මහතාට විශේෂයෙන්ම ස්තූතිවන්ත විය යුතු බවත්ය.

මෙහි දී තෙන්ඩුල්කාර්ගේ පාර්ශවය නියෝජනය කරමින් නඩු විභාගය සඳහා පෙනී සිටි නීතිඥ සියබෝන් ස්ටීට් මහතා පෙන්වා දුන්නේ සචින් වැනි ලෝක පූජිත ක්‍රිකට් තරුවකගේ ප්‍රතිරූපයට හානි වන අයුරින් යම් අයෙකු කටයුතු කරන්නේ නම් ඊට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමට සෑමවිටම කටයුතු කළ යුතු බවයි. තවද මෙම ගැටලුව සාමකාමී අයුරින් විසඳා ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් ද සතුටු වන බව ඒ මහතා සඳහන් කර සිටියේය.

2013 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් තෙන්ඩුල්කාර් එක්දින සහ ටෙස්ට් ආකෘතීන් ද්විත්වයේ දී ම ලකුණු 34,000කට ආසන්න සංඛ්‍යාවක් රැස් කිරීමට සමත් වී තිබෙන්නේ අදටත් බිඳ හෙළිය නොහැකි ශතක 100ක අසමසම වාර්තාවක් තම නම ඉදිරියේ සටහන් කර ගනිමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<