මධ්‍යම හා දකුණු පළාතට ජය

789

වයස අවුරුදු 23න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් ඊයේ (19) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී ආරම්භ වූ අතර, එහි තවත් තරගයක් අද (20) ආරම්භ විය.

අද දිනය තුල පන්දු යැවීමෙන් ලහිරු සමරකෝන් වැඩි දස්කම් දක්වද්දී පිතිකරණයෙන් සංජික රිද්ම, දිනෙත් තිමෝද්‍ය යන ක්‍රීඩකයින් වැඩි දස්කම් දැක්වීමට සමත් විය.

චන්ද්‍රගුප්ත, අසලංක හා සිතාර ශතක අතරට

අන්තර් පළාත් වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද (19) දිවයින පුරා ….

උතුරු පළාත හා මධ්‍යම පළාත

A කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවැත්වූ මෙම තරගය කොළඹ බී. ආර්. සී පිටියේ දී ඊයේ (19) ආරම්භ විය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ මධ්‍යම පළාත් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

උතුරු පළාත් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 93කි. එහි දී රාජු කජානත් නොදැවී ලකුණු 28ක් සහ මොහොමඩ් ශිරාස් පන්දු යවමින් ලකුණු 40කට කඩුලු 6ක් දවා ගත්තේය.

මධ්‍යම පළාත් පළමු ඉනිමට රොන් චන්ද්‍රගුප්ත ලකුණු 137ක් වාර්තා කළේය. ඔවුන් අද දිනයට තරගය ආරම්භ කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 282ක් ලබාගෙන සිටි‍යේය.

එතැන් සිට ක්‍රියාත්මක වූ වනිඳු හසරංග ලකුණු 64ක් ලබා ගැනීමට සමත් විය. කඩුලු 7ක් දැවී ලකුණු 368ක් ලබාගෙන සිටිය දී තම පළමු ඉනිම අත්හිටුවීමට ඔවුන් තීරණය කළ අතර, එහි දී නුවනිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 53*ක් රැස්කර ගන්නා ලදි. පන්දු යැවීමේ දී තිලාන් නිමේෂ් කඩුලු 2යි.

උතුරු පළාත් කණ්ඩායමට ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 275ක් ලබා ගැනීමට නියමිතව තිබුණ ද, ඔවුන්ට තම දෙවන ඉනිමට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 108ක් පමණි. එහි දී වී. ජතුශන් නොදැවී ලකුණු 23*යි. පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන් කඩුලු 5යි.

මෙම තරගයෙන් ඉනිමක හා ලකුණු 167ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායම සමත් විය.

උතුරු පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී 93 (25.4): රාජු කජානාත් 28*, රිසිත් උපමාල් 22, මොහොමඩ් ශිරාස්  6/40, ලහිරු සමරකෝන් 3/22

මධ්‍යම පළාත පළමු ඉනිම  – 368/7 dec (58.4): රොන් චන්ද්‍රගුප්ත 137, වනිඳු හසරංග 67, නුවනිඳු ප්‍රනාන්දු 53*, ඩිලාන් නයනජිත් 40, නිමේෂ් ගුණසිංහ 26, තිලාන් නිමේෂ් 2/75.

උතුරු පළාත් දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 108 (30.2): වී.ජතුශන් 23*, ලහිරු සමරකෝන් 5/22, ලක්ෂාන් ප්‍රනාන්දු 2/13.


බස්නාහිර පළාත් දකුණ හා දකුණු පළාත

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වූ මෙම තරගය B කාණ්ඩයේ තරගයකි. කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු පළාත් කණ්ඩායම පන්දුවට පහර දීමට ප්‍රතිවාදී කණ්ඩායමට ඇරයුම් කළේය.

බස්නාහිර පළාත් දකුණු කණ්ඩායමට සිය පළමු ඉනිම එතරම් සාර්ථක කර ගැනීමට නොහැකි විය. මින්හාජ් ජලීල් ලකුණු 36යි, ඔහුට සහය දුන් මාධව නිමේෂ් හා මලිඳු මදුරංග පිළිවෙළින් නොදැවී ලකුණු 27*ක් හා ලකුණු 24ක් රැස්කර ගන්නා ලදි. පන්දු යැවීමේ දී දකුණු පළාත වෙනුවෙන් අදීශ තිලංචන ලකුණු 23කට කඩුලු 5යි.

අද දිනය ආරම්භ වන විට දකුණු පළාත් කණ්ඩායම තම පළමු ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 243ක් රැස්කරගෙන සිටිය දී ඔවුන් තම පළමු ඉනිම අත්හිටුවන ලදි.

ලකුණු 126ක් අවාසියක් ඇතිව තම දෙවන ඉනිම දියත් කළ බස්නාහිර පළාත් දකුණ කණ්ඩායමේ මලිඳු මදුරංග ලකුණු 87යි. සඳකැන් පතිරණ ලකුණු 43ක් ලබාගෙන සිටිය දී දැවී ගිය අතර, පන්දු යැවීමේ දී මලිත් මහේල ලකුණු 61ක් තුල කඩුලු 4ක දවා ගත්තේය. අවසානයේ බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම සියල්ලන්ම දැවී තම දෙවන ඉනිමට රැස්කර ගත්තේ ලකුණු 228ක් පමණි.

ලකුණු 103ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු පළාත් කණ්ඩායමේ චරිත් අසලංක ලකුණු 55ක් රැස්කර ගන්නා ලදි. ඔහුට අගනා සහයක් දුන් ලසිත් ලක්ෂාන් ලකුණු 21යි. අවසානයේ ලකුණු 103ක ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගත් දකුණු පළාත් කණ්ඩායම මෙම තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කරන ලදි. පන්දු යැවීමේ දී මිශේන් සිල්වා කඩුලු 2ක් දවා ගන්නා ලදි.

බස්නාහිර පළාත් දකුණ පළමු ඉනිම  – සියල්ලන්ම දැවී 117 (41.4): මින්හාජ් ජලීල් 36, මාධව නිමේෂ් 27*, මලිඳු මදුරංග 24, අදීශ තිලංචන 5/23, චරිත් අසලංක 2/29, තිලංග උදේශන 2/44.

දකුණු පළාත පළමු ඉනිම  – 243/2 dec (45): සිතාර ගිම්හාන 101*, චරිත් අසලංක 100, මිශේන් සිල්වා 2/39.

බස්නාහිර පළාත් දකුණ දෙවන ඉනිම  – සියල්ලන්ම දැවී 228 (66.2): මලිඳු මදුරංග 87, සඳකැන් පතිරණ 43, මාධව නිමේෂ් 37, මලිත් මහේල 4/61, තිසර භානුක 2/44.

දකුණු පළාත් දෙවන ඉනිම  – කඩුලු 3ක් දැවී 103 (17.5): චරිත් අසලංක 55, ලසිත් ලක්ෂාන්  21, පසිඳු ඉසිර 20*, මිශේන් සිල්වා 2/16.


බස්නාහිර පළාත් මධ්‍යම හා උතුරු මැද පළාත

කොළඹ බ්ලුම්ෆීල්ඩ් තණතීරුව මත ඊයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ උතුරු මැද පළාත් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද , පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට උතුරු මැද පළාත් කණ්ඩායම සමත් විය.

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම වෙනුවෙන් අකීල් ඉන්හාම් ලකුණු 73ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී උතුරු මැද පළාත් කණ්ඩායම වෙනුවෙන් සදීප නිස්සංක ලකුණු 9ක් තුල කඩුලු 3යි. අවසානයේ බස්නාහිර පළාත් මධ්‍යම පළමු ඉනිම ලකුණු 204කට සීමා විය.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ උතුරු මැද පළාත් කණ්ඩායම ඊයේ දිනය අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 49ක් ලබා ගන්නා ලදි.

අද දිනයේ දී නොදැවී ක්‍රීඩා කරමින් සිටි දිනෙත් තිමෝද්‍ය ලකුණු 136ක් රැස්කර ගැනීමට සමත් විය. තිමෝද්‍යට අනගි සහයක් දුන් කවිඳු මදරසිංහ හා අජිත් රාජපක්ෂ පිළිවෙළින් ලකුණු 51ක් හා 43ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී ජනිත් ලියනගේ හා සහන් නානායක්කාර කඩුලු 3 බැගින් දවාලන ලදි.

බස්නාහිර පළාත් මධ්‍යම  පළමු ඉනිම – සියල්ලන්ම දැවී 204 (55.3): අකීල් ඉන්හාම් 73, අනුක් ප්‍රනාන්දු 37, ලහිරු විමුක්ති 30, සංදීප නිස්සංක 3/09, චන්දුල වීරරත්න 2/21, චතුරංග අබේසිංහ 2/32, ජගත් සඳරුවන් 2/45.

උතුරු මැද පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී 339 (98.4): දිනෙත් තිමෝද්‍ය 136, කවිඳු මදරසිංහ 51, අජිත් රාජපක්ෂ 43, හෙලක්මාල් නානායක්කාර 41, යොහාන් මෙන්ඩිස් 29, ජනිත් ලියනගේ 3/44, සහන් නානායක්කාර 3/50, ලහිරු විමුක්ති 2/41, ලසිත් ඇඹුල්දෙණිය 2/80.

බස්නාහිර පළාත් මධ්‍යම  දෙවන ඉනිම – 102/5 (21.1): අකීල් ඉන්හාම් 46, හශාන් දුමිඳු 27, ලහිරු විමුක්ති 20


නැගෙනහිර පළාත හා ඌව පළාත

මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේ දී අද (20) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නැගෙනහිර පළාත් කණ්ඩායම පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගත්තේය. B කාණ්ඩයේ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 105ක් ලබා ගැනීමට ඌව පළාත් කණ්ඩායම සමත් විය.

නැගෙනහිර පළාත වෙනුවෙන් විශිෂ්ට පිතිකරණය නිරත වූ සංජික රිද්ම නොදැවී ලකුණු 152*ක් වාර්තා කළේය. ඔහුට සහය දුන් රමිඳු නික්ලේෂල ලකුණු 92යි. පන්දු යැවීමේ දී හශාන් විමර්ශන කඩුලු 5යි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ ඌව කණ්ඩායම වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටින හර්ෂ රාජපක්ෂ ලකුණු 43*යි

නැගෙනහිර පළාත පළමු ඉනිම – 384/9 dec (73): සංජික රිද්ම 152*, රමිඳු නික්ලේෂල 90, සචිත ජයතිලක 32, ප්‍රමුද් හෙට්ටිවත්ත 32, නිමේෂ් විමුක්ති 27, රමේෂ් නිමන්ත 22, හශාන් විමර්ශන 5/61, හර්ෂ රාජපක්ෂ  2/76.

ඌව පළාත පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 105/2 (25): හර්ෂ රාජපක්ෂ  43*, ලිසුල ලක්ෂාන් 30, සමායි ගුණසේකර 29.

පළමු දිනයට පැවැත්වූ මෙම තරගයේ දෙවන හා අවසන් දිනය හෙට (21) එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට