Tier A ශූරතාව රිච්මන්ඩ්වරුන් සතු කර ගනී

U 19 Division one Tournament 2023/24

58
U 19 Division one Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ ශූරයන් වීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අද (10) සමත් වූවා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයත් සමඟින් තෙදින තරගයක් ලෙසින් ක්‍රියාත්මක වූ මෙම අවසන් මහා තරගය කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැතියා.

එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් ත්‍රිත්ව විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 203ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් රිච්මන්ඩ් විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 304ක් ලබා ගනිමින් පළමු ඉනිමේ දී පෙරමුණ ගත්තා.

අනතුරු ව ලකුණු 101ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 38ක් ලබා සිටි අතර අද ඔවුන් තම දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 254ක් වෙද්දී අත් හිට වූවා.

ඒ අනුව ප්‍රතිවාදී රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 154ක ඉලක්කයක් ලැබුණ අතර තරගය අවසන් වන විට ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබා සිටියා. ඒ අනුව පළමු ඉනිමේ ප්‍රසාද ලකුණුත් සමඟින් මෙවර වයස අවුරුදු 19න් පහළ Tier A කොටසේ ශූරයන් වීමට රිච්මන්ඩ් විද්‍යාලය සමත් වූවා.  .

අවසන් තරගය, කොළඹ, 08-10 අප්‍රේල්, U 19 Division one Tier A Tournament 2023/24

o කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය

o ක්‍රීඩාංගණය – SSC, කොළඹ.

තරගයේ තෙවැනි දිනය ආරම්භ වූයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 38ක් ව තිබියදීයි. අනතුරු ව ඔවුන් එම ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 254ක් දක්වා රැගෙන ගියා.

එම ඉනිම වෙනුවෙන් සුපුන් වඩුගේ පන්දු 189කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 96ක් ලබා ගත්තා. ඊට අමතර ව තරණ විමලධර්ම ද පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 68ක සබඳතාවක් එක් කළා.

කඩුලු දවා ගැනීමේ දී යූරි කොත්තිගොඩ, කවීෂ ඉඳුවර, සිහත් රාමනායක සහ ශැරොන් අභිශේක් කඩුලු 2ක් බැගින් බිඳ හෙළූ අතර නායක මල්ෂ තරුපතිට හිමි වූයේ කඩුල්ලක් පමණයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 154ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල ලකුණු 36 දී දැවී ගියා. එම දැවී යෑමත් සමඟින් ම තරගයේ අවසානය ද සිදු වූවා.

ඒ වෙද්දී චෙහාන් සුබසිංහ පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 17ක් ලබා සිටි අතර තමිඳු ප්‍රදීප්ත පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා සිටිය දී දැවී ගියා.

දැවී ගිය කඩුල්ලේ හිමිකාරීත්වය දිනුක තෙන්නකෝන් සතු වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (89.5) දිමන්ත මහවිතාන 54, විදුක ධම්මගේ 31, සුපුන් වඩුගේ 40, තරණ විමලධර්ම 19, කවීෂ ඉඳුවර 2/46, සිහත් රාමනායක 3/38, ශැරොන් අභිශේක් 4/71

රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 304 (89.1) චෙහාන් සුබසිංහ 31, නිකිල් ජයවීර 139, සෙනෙත් සිසාන් 39, ශෙහාන් ද සොයිසා 50, තරණ විමලධර්ම 4/82, සුපුන් වඩුගේ 2/16

ත්‍රිත්ව විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 254 (99.2) දිනූෂ පීරිස් 20, සුපුන් වඩුගේ 96, මනුල කුලරත්න 23, තරණ විමලධර්ඹ 57, සිහත් රාමනායක 2/66, කවීෂ ඉඳුවර 2/49, ශැරොන් අභිශේක් 2/68, යූරි කොත්තිගොඩ 2/31

රිච්මන්ඩ් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 36 (11.2) චෙහාන් සුබසිංහ නොදැවී 17, තමිඳු ප්‍රදීප්ත 15, දිනුක තෙන්නකෝන් 1/01

තරගයේ විසඳුමක් නෑ.

දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<