ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට තවත් නවකයෙක්

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

4968

ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය සඳහා නවක තුන් ඉරියව් ක්‍රීඩක සුමින්ද ලක්ෂාන් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙන බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

පාදයේ ආබාධයකට ලක්ව සිටින වනිඳු හසරංග ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර අද (23) පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය සඳහා ක්‍රීඩා කරන්නේ නැහැ. කෙසේ නමුත් ඔහු එළඹෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා සූදානමින් සිටිය ද, හසරංග හට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් එයට පෙර සූදානමක් ලෙස සුමින්ද ලක්ෂාන්ව සංචිතයට කැඳවා තිබෙනවා.

24 හැවිරිදි ලක්ෂාන් පසුගිය දින කිහිපයේ දී ශ්‍රී ලංකා A සංචිතය සමඟ දඹුල්ලේ දී පුහුණුවීම් කටයුතු සිදු කරමින් පුහුණු තරග සඳහා සහභාගී වුනා. දැන ගන්නට ලැබෙන පරිදි ඔහු එම පුහුණු තරගවල දී  ඉතාමත් හොඳින් දස්කම් දක්වා තිබෙනවා. 

ලෙග්බ්‍රේක් ආකාරයේ පන්දු යවමින් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස සිය කණ්ඩායම සඳහා දායකත්වය දැක්වීමට හැකි ක්‍රීඩකයෙක් ලෙස ලක්ෂාන්ව හඳුන්වා දීමට හැකි අතර ඔහු කොළඹ De La Salle විද්‍යාලයේ ආදී සිසුවෙක් වෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හරහා පළමු පෙළ වරම් දිනා ගත් ඔහු, දැනට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා. දැනට පළමු පෙළ විස්සයි විස්ස තරග 11ක් ක්‍රීඩා කරමින් කඩුලු 5ක් දවාගෙන තිබෙන ලක්ෂාන් පිතිකරුවෙක් ලෙස ලකුණු 173ක් ලබාගෙන තිබෙනවා. List A තරග රටාව තුල කඩුලු 35ක් දවාගෙන තිබෙන ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 19ක් වැනි හොඳ මට්ටමක තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

ලක්ෂාන් පසුගිය වසරේ පැවති Army Commanders League ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාවය දිනා ගත් Southern Warriors කණ්ඩායම නියෝජනය කළා. ඊට අමතරව ඔහු සමඟ දිනේෂ් චන්දිමාල් (නායක), වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, වැනි ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද එම තරගාවලියේ දී Southern Warriors නියෝජනය කළා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 25, 27 සහ 29 යන දිනවල දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<